Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති නෝන්ඩි කරන ආර්ථික ඝාතකයෙකු සමග තවත් තිදෙනෙකුගේ කල්ලියක් ගැන විමල් හෙළිකරලා.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන අභ්‍යන්තර හා බාහිර බලවේගයන්ට එරෙහිව අත්වැල් බැඳ ගැනීමට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10 ක් එකඟතාවයට පැමිණ ඇති බව ජාතික නිදහස් පෙරමුණ තහවුරු කරනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී පසුගියදා (30) පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණයට එළඹ ඇති බවයි වාර්තාවන්නේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,  නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,  ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ,  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම කවයේ නායක ගෙවිඳු කුමාරණතුංග යන මහත්වරුන් මෙන්ම අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි සහ ලංකා වතු කම්කරු සංගමයේ  නියෝජිතයින්ද මෙම රැස්වීමට එක්ව තිබෙනවා. 

එක්සත් මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්  කිසියම් අසනීප තත්වයක් නිසාත්, ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද යාපනයේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් නිසාත් මෙම සාකච්ජාවට එක්ව නැතත්, එහිදී ගනු ලැබූ සියලු තීන්දු තීරණවලට එකඟතාවය පළකර ඇති බවයි වාර්තාවන්නේ.

නැගෙනහිර වරාය ජැටිය විදෙස් රටකට විකිණීමේ ක්‍රියාමාර්ගය මුළුමනින්ම පරාජය කිරීමට මෙම පක්ෂනායක හමුවේදී ඒකමතිකව තීන්දුකර ඇති අතර වරාය නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමකට සියයට 49 ක කොටස් ලබාදෙන බව  ජනාධිපතිවරයා ලවා ප්‍රසිද්ධ මහජන රැස්වීමකදී ප්‍රකාශ කරවා, ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගෙන විට ජනාධිපතිවරයාව ලවාම එම යෝජනාව හකුලා ගැනීමට සලස්වා ජනාධිපතිවරයා හැල්ලුවට ලක්කිරීම ‘හතර දෙනාගේ කල්ලියේ’ කුමන්ත්‍රණයක් බව අමාත්‍ය විමල් විරවංශ මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔහු විසින්  ‘හතර දෙනාගේ කල්ලිය’ ලෙස හඟවා ඇත්තේ, ‘බැසිල් රාජපක්ෂ – මිලින්ද මොරගොඩ – පී.බී ජයසුන්දර – ක්‍රිෂාන් බාලේන්ද්‍ර’  යන මහත්වරුන් සිව්දෙනා බවයි පැවසෙන්නේ.

ක්‍රිෂාන් බාලේන්ද්‍ර යනු ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමේ වත්මන් සභාපතිවරයා වන අතර  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර ඇති මිලින්ද මොරගොඩ මහතාගේ මස්සිනා කෙනෙකු බවද සඳහන්.

ජනාධිපතිවරයා හෑල්ලුවට හා අප්‍රසාදයට ලක්කර, පටු දේශපාලන වාසි අත්කර ගැනීමට ආණ්ඩුවේ ඇතැමුන් දරන උත්සාහය මෙම සාකච්ජාවේදී බරපතල ලෙස විවේචනයට ලක්ව ඇති අතර මින් ඉදිරියේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ආරක්ෂාකර කර ගෙන 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට ද තීන්දු කර ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මාස ගණනාවකින් නොකැඳවීම සම්බන්ධයෙන් ද මෙහිදී දැඩි විවේචනයට ලක්ව ඇති අතර  එම තත්වය තුල ආණ්ඩුව නියෝජනය කරන ඉහත දේශපාලන පක්ෂ 12, මින් ඉදිරියට වෙනම සංවිධානයක් ලෙස මාසිකව රැස්වීමටත් තීන්දු කර තිබෙනවා.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ පිල සහ විමල් වීරවංශ පිල අතර බරපතල විරසකයක් නිර්මාණය වී තිබෙන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙනවා.

© මුලාශ්‍රය – The Leader

About The Author