Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ කොමිසම් සභා වලට රාජතාන්ත්‍රික මට්ටමේ විරෝධතාවක්

ජනාධිපති කොමිෂන් සභා යුක්තියට එරෙහිව යාමක් බව මානව හිමිකම් ක්‍රියාකාරිනී, රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනීයක මෙන්ම නීතිඥවරියකද වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ ‍ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇති අතර එහි සම්පූර්ණ සිංහල පරිවර්තනය පහතින් දැක්වෙනවා.

“දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම සහ එහි වාර්තාව සලකා බැලීම සඳහා මෑතදී පිහිටුවන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම ගැන මම වචන කිහිපයක් කියන්න කැමතියි. මෙම වාර්තාවල එකිනෙකට එරෙහි කරුණු තුනක් තිබෙනවා. පළමුවැන්න මෙම දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ඉවත් කර ගන්නා ලෙස නියෝග කරනු ලැබ තිබීමයි. කොමිසමක් විසින් මෙවැන්නක් කරන ලද ලෝක ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. මෙය සැබැවින්ම දැඩි අන්ධකාර පරිකල්පනයක පිළිබිඹුවක්. එහි ප්‍රතිඵලයක් ලෙස ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ, කරන්නාගොඩ, ජාලිය වික්‍රමසූරිය වැනි සිදුවීම්වලට අදාළ නඩු විභාගයන් සියල්ල ඉවත් කර දැමෙනවා. කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව විත්තිකරුවන් නිදහස් කර හැරෙනවා. මෙය අතිශයෙන්ම අසාමාන්‍ය තත්වයක්.

දෙවැනි කරුණ වන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට, අධිකරණය හමුවේ සිටින මෙම පුද්ගලයින් නිදහස් කිරීමට පමණක් නොව සාක්ෂි නිර්මාණය කළේයැයි පොලිස් විමර්ශන නිලධාරීන්ට සහ රජයේ නිලධාරීන්ට දඬුවම් ලබාදීමටද අවශ්‍ය වී තිබෙනවා. මේ නඩු ජාත්‍යන්තර අවධානය දිනා ගෙන ඇති, රටේ ප්‍රතිරූපයට සම්බන්ධ වැදගත්කමක් ඇති නඩුයි. මෙලෙස දඬුවම් නොලබා සිටීමට හැකිවීම මුළුමනින්ම නීතියේ පාලනයේ දෘෂ්ටි කෝණයට අනුව අන්ධකාරය වෙතට ගමන්කිරීමක් වනවා.

තුන්වෙනුව දේශපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වෙනුවෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටුවනු ලැබ තිබෙනවා. 1977දී බණ්ඩාරනායක මහත්මියටත් මෙම දෙයම සිදුකරනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතාද කොටස්කරුවෙකු වී සිටි ශ්‍රීලනිපයද සිවිල් සමාජය සමග එක්ව එම කොමිසමට එරෙහිව නැගී සිටියා. එක්ව හඬනැගුවා. ලක්ෂ්මන් වික්‍රමසිංහ බිෂොප්තුමා ඔහුගේ ප්‍රසිද්ධ ලිපියෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස ජේආර්ගෙන් ඇයැද සිටියා. දේශපාලන විරුද්ධවාදීන් පිටුදැකීම සඳහා ව්‍යාජ නීතියේ පාලන ක්‍රමවේදයන් පාවිච්චි නොකරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මෙන්ම ඒ යටතේ පිහිටු වන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම සැබැවින්ම යුක්තියට එරෙහිව යාමක්. ඒවා නීතියේ හිස මත නැග සිටිනවා. එවා සැබැවින්ම නීතියේ පාලනය පිළිබඳව විශ්වාස කරන, ජනතාවට යුක්තිය ලැබිය යුතු බව සිතන ඕනෑම අයෙකුට නපුරු හීනයක්.”

© Lanka truth