2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චැනල්වලට මරු – තරුවලට මරේ මරු

එක්සත් රාජධාණියේ ඔෆ්කොම් (Ofcom) කියන්නේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ඇති ඉතා බලවත් ආයතනයක්. රූපවාහිනී සහ ගුවන් විදුලි රියැලිටි වැඩසටහන්වලට සහභාගීවන්නන් ආරක්ෂා කිරීම සඳහා ඔෆ්කොම් නව නීති රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔවුන්ගේ ආරක්ෂාව හා සුභසාධනය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අඛණ්ඩව ඉහළ යාමත් සමඟයි අදාළ ක්‍රියාමර්ග ගෙන ඇත්තේ. ඔෆ්කොම් අවධාරණය කරන්නේ විකාශකයින් සිය වැඩසටහන්වල්ට දායකවන්නන් “නිසි ලෙස රැකබලා ගත යුතු” බවයි.

පසුගිය වසරේදී ITV නාලිකාවේ “The Jeremy Kyle Show” වැඩසටහනට සහභාගීවීමෙන් සතියකට පසු Steve Dymond නමැති 67 හැවිරිදි පුද්ගලයෙකු සියදිවි හානිකර ගෙන තිබුණා. එමෙන්ම “Love Island” නම් වැඩසටහනේ තරගකරුවෙකු වූ  Mike Thalassitis ලංඩන්හිදී ගෙල සිරකරගැනීමෙන් දිවිනසා ගෙන තිබුණේ ඊට මසකට පෙරයි. මීට පෙර එම වැඩසටහනටම සහභාගීවූ Sophie Gradon නම් තරගකාරියද ඒ ආකාරයටම දිවිනසාගත්තේද පසුගිය වසරේයි.

රියලිටි වැඩසටහන්වල ඇති තරගකාරීත්වයත් අති මහත් අපේක්ෂාත් මෙකී අනුවේදනීය සිදුවීම්වලට හේතුවිය හැකියි. ඒ වගේම අදාළ නාලිකා එවැනි පරිසරයක් නිර්මාණය කරදීමත් යම් පමණකට සැලකිල්ලට ගතයුතු කරුණක්. එනිසාම ඔෆ්කොම් ආයතනය විකාශකයින්, වැඩසටහන් සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ වැඩසටහන්වලට සහභාගීවූවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙකී නව නීති රීති හඳුන්වා දී තිබෙනවා.

එහිදී විකාශකයින්ගේ නිර්මාණාත්මක නිදහස මෙන්ම සහභාගීවන්නන්ගේ ආරක්ෂාව හා සුබසාධනය සමබර ලෙස සලකා බැලුන බවද ඔෆ්කොම් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ රියලිටි වැඩසටහන්වල මෙතෙක් මේ ආකාර බරපතල සිද්ධීන් වාර්තාවී නැතත් ඒවාට සහභාගීවන්නන් විවිධ දුෂ්කරතා සහ දුක්ගැහැට විඳින බව නම් නොඅනුමානයි. දුර ඈත ප්‍රදේශවල සිටින තරු සිහින ඇති දෙමාපියන් සිය දූදරුවන් රැගෙන කොළඹට එන ගමන කිසිසේත්ම පහසු එකක් විය නොහැකියි. ඔවුන් මුහුණ දෙන ආර්ථික අපහසුතා ගැන හෝ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදීම ගැන හෝ අදාළ නාලිකා අවධානය යොමුකරන්නේදැයි මා නම් දන්නේ නැහැ. එය එසේ වුවද එම වැඩසටහන්වලට ලබා ගන්නා SMS ඇතුළු වාණිජ ප්‍රචාරණ අනුග්‍රහයෙන් ඔවුන් මිලියන ගණනින් උපයාගන්නා බව නම් නොරහසක්.

අපගේ මිතුරු නීතිඥ කපිල මුණසිංහ “සිරස ලක්ෂපති” වැඩසටහනට සහභාගීත්වය උදෙසා දරා තිබූ මහත් පරිශ්‍රමය නොබෝදා සිය මුහුණු පොතේ ලියා තිබුණා මතකයි. “ඇඳුම් කූට්ටම් කිහිපයක් රැගෙන ආයුතුයි. ගමෙන් වාහනයක් කුලියට ගෙන ප්‍රේක්ෂකයන් පිරිසක් කැටුව අයුතුයි. වැඩසටහන පැය ගණනක් පටිගත වෙද්දී බඩගිනි දරාසිටිය යුතුයි.” මේ එහි සාරාංශයක්. විවිධ නාලිකාවල අනෙක් වැඩසටහන්වලට සහභාගී වන්නන්ගේ තත්ත්වයද මීට වඩා වෙනස් වෙන්න බැහැ.

තරු සිහින හෝ මාධ්‍යයේ පෙනී සිටීමේ ආසක්තභාවයෙන් එන, මෙවැනි දුක්ගැහැට විඳින හෝ අවසන චිත්ත පීඩාවට පත්වන්නන් වෙනුවෙන් ලංකාවේ සරණක් තිබේද? වෙනත් රටවල මෙන් ඒ පිළිබඳ සොයා බලන ආයතනයක් හෝ එවැනි ව්‍යුහයන් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවක් බව නම් හැඟේ.

© මහින්ද රුබසිංහ