2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගාලු කොටුවේ පරංගි, මිනිසුන් මරා කෑ බව හෙළිවෙයි!

අතීතයේ ගාලු යුද බළකොටුවේ විසූ ‘පෘතුගීසීන්ගේ’ ආහාර රටාව බොහොම කුතුහලය දනවන තරම් ය. ඔවුන් සිය ආහාර වේලට එළු, කුකුළු, බැටළු, ගං ඌරු ආදී ගොඩබිම වෙසෙන ගෘහාශ්‍රිත සතුන් ද, මුහුදු මාළු ද එක්කර ගෙන තිබේ. එකල්හි ගාල්ලේ ‘පෘතුගීසි කොටුව’ තුළ ඔවුන් කුකුළු කොටු, බැටළු කොටු සහ ගං ඌරු කොටු ආදිය පවත්වා ගෙන ගිය බව පෙනී යයි!

එකල පෘතුගීසි නැව්වල ‘ඌරු කොටු’ පැවති බවත්, ගාලු කොටුවේ ඉදි කළ ඔවුන්ගේ ජනාවාසයට ‘ගං ඌරන්’ (චීන ඌරන්) එයින් රැගෙන එන්නට ඇති බවත් අනුමාන කෙරේ. පෘතුගීසීන් මස් පිණිස ‘ගං ඌරන්’ මරාගෙන ඇත්තේ වෙඩි තැබීමෙන් නො වේ. ඌරු හිසට ‘පොරොවෙන්’ කෙටීමෙනි!

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මගින් මේ දිනවල ගාලු කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ එහි කෙරෙන පුරාවිද්‍යා කැණීම් ඔස්සේ ය.

වර්තමානයේ අක්කර අනූහයක පමණ භූමියක පැතිර ඇති ‘ගාලු කොටුව’, ඉදිකර ඇත්තේ ‘ගාල්ල සමුද්‍ර තුඩුව’ මුල්කර ගනිමිනි. එය, දකුණු ආසියාවේ විශාලතම පුරාවිද්‍යා ස්මාරක අතරට ගැනෙන ‘යුද බළකොටු නගරයකි’. ගාලු ‘සමුද්‍ර බොක්ක’ අතීතයේ දී උඩරට සිංහල රජවරුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ වරායක් විය. කොහු නිෂ්පාදන, මැණික්, කුළුබඩු, අලි ඇතුන් සහ ඇත් දළ, කැටයම් භාණ්ඩ ආදිය ගාලු වරාය ඔස්සේ නැව් මගින් අපනයනය කෙරිණි. එකල එහි ආනයන-අපනයන වෙළෙඳාම සියතට ගෙන සිටියෝ ආරාබියානු නාවික වෙළෙන්දන් ය. ඔවුහු ආනයනික මිදි යුෂ, චීන සේද රෙදි, පෝසිලේන් භාණ්ඩ ආදී වෙළෙඳ බඩු ගාල්ලෙන් ගොඩ බා අලෙවි කළහ.

පෘතුගීසි නාවික සෙන්පතිවරයෙකු වූ ප්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්, ‘ලොරෙන්සෝ ද අල්මේදා’ නමැති නාවිකයා වර්ෂ 1505 දී අහම්බෙන් ගාල්ලට ගොඩ බැස්සේ ය. ඉන් පසුව වර්ෂ 1518 දී අරාබි වෙළෙන්දන් පලවා හරිමින් ලොරෙන්සෝ ද අල්මේදා ගාල්ල ආක්‍රමණය කළේ ය. ඒ වන විට ගාල්ල වරායේ පාලනය පැවතියේ සීතාවක පළවැනි රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1593) යටතේ ය. රජුගේ හමුදා පැරදිණි. පෘතුගීසීහු ගාල්ල අල්ලා ගත්හ.

පෘතුගීසීහු වර්ෂ 1589 දී පමණ ගාලු සමුද්‍ර තුඩුව කෙළවරේ යුද බළකොටුවක් ඉදි කරන්නට පටන් ගත්හ. පැරණි තොරතුරුවල දැක්වෙන අන්දමට, එය සිදු වූයේ ‘පෙරදිග රටවල් පිළිබඳ පෘතුගීසි ප්‍රධානි, මතියස් අල්බර්කර්ක්ගේ නියෝගයෙනි. ඔවුන් මුලින්ම ඉදි කළ කොටුව, වර්තමානයේ හැඳින්වෙන්නේ ‘කළු කොටුව’ යනුවෙනි. මැටි, කොරල් ගල් යොදා ගෙන තැනූ එහි ආයුධ තැනීමේ ‘කම්හලක්’ ද පවත්වා ගෙන ගියෝ ය. පසුව ඔවුහු ‘ස්ටාර්’ (තරු), ‘චන්ද්‍ර’ (සඳු) සහ ‘සූර්ය’ (හිරු) යන ‘මුර අට්ටාල’ තුන ද සහිතව, බැම්මක් බඳිමින් යුද බළකොටුව පුළුල් කළහ. මුර අට්ටාල තුන ඇතුළත් කොටස පෘතුගීසි බසින් ‘පෝටලේසා’ විය. ‘පෝටලේසාවේ’ බැමි ඉදිකිරීමේ දී ද මැටි සහ කොරල් ගල් ඇතුළත් ‘සක්ක බැම්මක්’ භාවිත කෙරිණි. ‘පෝටලේසාව’ ආශ්‍රිතව එකල පෘතුගීසි පවුල් 275ක් පදිංචිව සිටියහ. එහි ක්‍රිස්තියානි දේවස්ථාන, වෙළෙඳ බඩු ගබඩා, උසස් හමුදා නිලධාරීන්ගේ නිල නිවාස, හමුදා භටයන්ගේ බැරැක්ක සහ රෝහල් පහසුකම් ද සකසා ගෙන තිබිණි.

පසුව වර්ෂ 1640 දී පෘතුගීසීන් පලවා හැර ‘ලන්දේසීන්’ (ඕලන්ද) ගාල්ල අල්ලා ගත්හ. ඔවුහු ගාලු වරායේ වෙළෙඳාම් පාලනය ද සියතට ගත්හ. පෘතුගීසීන් හැදූ යුද බළකොටුව තවදුරටත් විශාල කළහ. දියුණු කළහ. වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් (බ්‍රිතාන්‍යයන්) මුහුදින් පැමිණ ලන්දේසීන් පලවා හැර, ගාලු යුද බළකොටුව සහ වරාය අල්ලා ගත්හ. ඔවුන් ද ගාලු කොටුව තවදුරටත් පුළුල් කළහ. නවාංග එකතුකර වැඩි දියුණු කළහ. වර්තමානයේ අප දකින්නේ මේ ආකාරයට ආක්‍රමණික යුරෝපීය ජාතීන් තුනක් විසින් වරින් වර නිර්මාණය කළ යුද බළකොටුවකි. දැන් එහි ‘කොටු බැම්ම’ කිලෝ මීටර් දෙකහමාරක් පමණ දිගින් යුක්ත ය. බැම්මේ පළල අඩි පණහකි. උස, ඇතැම් තැනක අඩි පණහක් පමණ ද, ඇතැම් තැනක අඩි හැත්තෑවක් පමණ ද වන්නේ ය. එහි මුර අට්ටාල ද දාහතරක් දැකිය හැකි ය.

ගාලු කොටු බැම්ම දැන් අවුරුදු 431ක් පමණ පැරණි ය. පිටතින් ඉතා ශක්තිමත් යයි පෙනුණ ද, එහි ඇතැම් කොටස් කාලයේ ප්‍රහාරයන් හමුවේ ගරා වැටෙමින් තිබේ. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය ගාලු කොටුව පිළිසකර කොට, සංරක්ෂණය කරන්නට මුල පුරන්නේ එවන් පසුබිමක ය. සංරක්ෂණ කටයුත්ත සිදු වන්නේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ‘උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය’ ඔස්සේ ය. ඔවුන් එය ‘ගාලු කොටු පවුර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ යයි හඳුන්වති.

එහි ප්‍රධාන උපදේශක, වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ පවසන අන්දමට, මේ යටතේ ප්‍රධාන කටයුතු දෙකක් සිදු කෙරෙයි. ඉන් එකක් වන්නේ, ගාලු කොටු පවුර පිළිසකර කොට මතු පරපුරට දායාද පිණිස සංරක්ෂණය කිරීමයි. අනෙක, මං පෙත්, භූ දර්ශන, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයත් කාලතුවක්කු සහ අනෙකුත් අවි ආයුධ සහ වෙනත් නිර්මාණ ‘අනුරූ’ මගින් මහජන ප්‍රදර්ශනයට සැකසීමයි. ආචාර්ය කුරේ පවසන අන්දමට, මෙම වැඩපිළිවෙළ සංවිධානය කර ඇත්තේ ‘සංචාරක ආකර්ෂණය’ අරමුණුකර ගනිමිනි.

‘අපි මේක පටන් ගත්තේ 2017 වර්ෂයේදි. මේ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 600ක්. අපේ ව්‍යාපෘතියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ලැබෙනවා. මෙයින් පුරාවිද්‍යා පර්‌යේෂණත් කෙරෙනවා. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් තමයි ඒවා කෙරෙන්නේ. මේ වෙන කොට අපේ සංරක්ෂණ වැඩවලින් සියයට හැටක් විතර හමාරයි’, ඔහු කියන්නේ ය. පුරාවිද්‍යා කැණීම් භාරව සිටින ආචාර්ය නිමල් පෙරේරා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයෙකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය ‘ජූඩ් පෙරේරා’ අපේ රටේ සුප්‍රකට ‘අස්ථි අවශේෂ’ විශ්ලේෂකවරයෙකි. පුරාවිද්‍යා කැණීම්වල දී හමුවන ඕනෑම ‘ඇටකටුවක්’, කුමන සතෙකුගේ ද, එය උගේ කවර අස්ථියක කොටසක් ද, නැතිනම් එය මානව අස්ථියක් ද යන්න විග්‍රහකොට හඳුනා ගැනීම ඔහුගේ කාරියයි. ඒ විෂය සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් වසර තිහ ද ඉක්මවයි. මේ දිනවල ඔහු අස්ථි විශ්ලේෂණය කරමින් ගාලු කොටුවේ පුරාවිද්‍යා කැණීම්වලට එක්ව සිටින්නේ ය.

ආචාර්ය නිමල් පෙරේරා ඇතුළු කණ්ඩායම පෘතුගීසීන් විසින් මුලින් ම ඉදි කළ ‘ස්ටාර්’, ‘චන්ද්‍ර’ සහ ‘සූර්ය’ යන මුර අට්ටාල තුන ආශ්‍රිත භූමියෙහි ද, ආරුක්කු පිවිසුම් භූමියෙහි ද කැණීම්කර තිබේ. මෙයින් ‘ස්ටාර්’ සහ ‘චන්ද්‍ර’ පිහිටියේ පැරණි ඔර්ලෝසු කණුව අවට එනම්, වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සමනල පාලමට මුහුණලා ගෙන ය. බාලදක්ෂ මාවත ඔස්සේ ගාලු කොටු දොරකඩ දෙසට එන විට, හමුවන මහාචාර්ය සෙනරත් පරණවිතාන පිළිරුවට සමීපයෙන් ‘සූර්ය මුර අට්ටාලය’ දැකගත හැකි ය. එය ඉදිකර ඇත්තේ කොටු දොරකඩ සහ ගාලු වරායේ (පැරණි වරායේ) ආරක්ෂාව ඉලක්ක කර ගනිමිනි. සූර්ය මුර අට්ටාලය, ගාලු කොටුවට ගොඩබිම දෙසින් පැවති ප්‍රධාන මුර කඳවුරයි. එහි කාලතුවක්කු පහළොවක් සවිකර තිබුණු බව පැරණි ලේඛනවල එයි.

පෘතුගීසීන් මුර අට්ටාල ඉදිකර ඇත්තේ ‘කාලතුවක්කු’ සවි කිරීම අරමුණුකර ගනිමිනි. අට්ටාලවල වහලය ආරුක්කුවක හැඩයට, ගඩොලින් නිමකර ඇත. ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට, එයින් සමහර ගඩොල් කැට ලංකාවේ නිෂ්පාදනය කෙරුණු ඒවා නො වේ. එම ගඩොල් කැට ගෙන්වා ගෙන ඇත්තේ ඕලන්දයෙනි. කැණීම්වලින් ගාලු කොටුව සම්බන්ධයෙන් මෙබඳු අලුත් තොරතුරු රැසක් හෙළිකර ගෙන තිබේ.

පෘතුගීසි සමයේ ‘ආහාර අපද්‍රව්‍ය අවශේෂ’ සහිත පස් ස්තරය එයින් සුවිශේෂ ය. පොරෝ පහරින් ඝාතනය කෙරුණු ‘ගං ඌරන්ගේ’ හිස් කබල්වල කොටස් එහි දී ජූඩ් පෙරේරාට හමුවී තිබේ. ඒවායෙහි ඇති පොරෝතල වැදුණු සලකුණු ද ඔහු විසින් නිරීක්ෂණයකර ඇත. ඒ සමගම, එළු, කුකුළු, බැටළු ආදී ගෘහාශ්‍රිත සතුන්ගේ ඇටකටු ද, මුහුදු මාළු කටු ද ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් නිරීක්ෂණය විය.

‘සාමාන්‍යයෙන් ගාලු කොටු බැම්ම දිහා පිටතින් බලන කොට අපට පේන්නේ ඒක තනි කළු ගලෙන් බැන්දා වගේ. ඒත් ඒක ඇත්තක් ම නෙවෙයි. ඔය තනි බැම්ම ඇතුළේ තව පැති බැමි තුනක් තියෙනවා. ඒවා හදලා තියෙන්නේ මැටි සහ කොරල් ගල්වලින් ‘සක්ක බැම්මක්’ බැඳීමෙන්. ඒකට භාවිතා කෙරුණු තාක්ෂණයට දේශීය සහ විදේශීය කාරණා මිශ්‍ර වෙලා තියෙනවා. බැමි මැදට ‘පස්’ පුරවලා තියෙනවා. පස් ගෙනත් තියෙන්නේ පිටස්තරයෙන් පිහිටි ජනාවාස ප්‍රදේශයකින්. ගාලු කොටුව බඳින්න පස් කියුබ් මිලියන ගාණක් ගේන්න ඇති. ශ්‍රමිකයන් දහස් ගණනක් වැඩ කරන්න ඇති. ඒ අයගේ ලේ, කඳුළු-දහඩිය තමයි කොටු බැම්මෙන් පේන්නේ’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.

එකල පෘතුගීසීහු ‘වහල් වෙළෙඳාමෙහි’ ද නියැළුණහ. ඔවුන් දකුණු අප්‍රිකානුවන් අල්ලා ගෙන ‘වහලුන්’ සේ ගාල්ලට ගෙන වුත් තිබේ. කොටු බැම්ම බැඳීම සඳහා ඔවුන් ද යොදවා ගෙන තිබේ.

පෘතුගීසි සමයේ දී, කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (ක්‍රි. ව. 1551-1597) වෙනුවෙන් ගාලු වරාය භාරව සිටියේ රණ ශූරයෙකු සේ සැලකෙන ‘මාතර සමරකෝන් මුදලි’ ය. ධර්මපාල රජු විසුවේ පෘතුගීසීන්ගේ තුරුලේ ය. ‘සමරකෝන් මුදලි’ ද කටයුතු කළේ පෘතුගීසීන්ට පක්ෂපාතව ය. සීතාවක පළවැනි රාජසිංහ රජුගේ හමුදාවන්ට සහ සිංහල ජනයාට එරෙහිව ය. පැරණි තොරතුරුවල එන හැටියට, කොටු බැම්ම බැඳීම පිණිස පෘතුගීසීන්ට ‘සමරකෝන් මුදලිගේ’ උදව් ලැබී තිබේ!

කැණීම්වල දී හමුවූ පස් ස්තරවලින් විවිධ මාදිලියේ මැටි බඳුන් කැබලි සහ පෝසිලේන් බඳුන් කැබලි ආදිය සොයා ගැනුණි. බැමි පිරවීම පිණිස රැගෙන ආ පස්, ජනාවාස ප්‍රදේශයකින් ලබා ගත් බවට එයින් සාක්ෂි සැපයිණි. අනෙක, ගාල්ල අවට එකල ‘වත් පොහොසත්කම් සහිත’ ප්‍රජාවක් වාසය කළ බවට ඉඟියක් ද එයින් ලැබේ. හමු වුණු පුරාවස්තු අතර, ආනයනික පෝසිලේන් බඳුන් කොටස් ද තිබීමෙන් ඒ බව ගම්‍ය වේ. එයින් ඇතැම් බඳුන් කොටස් ආනයනික සුඛෝපභෝගී ‘චීන පෝසිලේන්‘ ය!

කැණීම්වලින් මතු කෙරෙන පස් ස්තර විශ්ලේෂණය කරන ජූඩ් පෙරේරාට, පැරණි ‘මිනිස් අස්ථි කොටස්’ ද හමුවී තිබේ. මිනිසුන් හතර පස් දෙනෙකුගේ අස්ථි ඒ අතර වේ. ඒවා සුවිශේෂ ය. ඊට හේතුව වන්නේ මේ ඇටකටු පෘතුගීසීන්ගේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවලින් හමුවී තිබීමයි!

යටත් විජිත පාලන සමයෙහි ගාලු කොටුව ඇතුළේ සුසාන භූමි කිහිපයක් ද පැවතුණි. ඒවායෙහි භූමිදානය කළ මළ සිරුරුවල ඇටකටු, මීට ඉහත ද පුරාවිද්‍යා කැණීම් සහ යම් යම් ඉදි කිරීම් පිණිස පොළොව කැණීමේ දී හමුවී තිබේ. ඒවා යම් ආගමික පිළිවෙත් අනුව භූමිදානය කළ අවස්ථාවන් ය. එහෙත් ජූඩ් පෙරේරාට නිරීක්ෂණය වී ඇති මිනිස් ඇටකටු භූමිදානය කරන ලද ඒවා නොවේ. ඒවා තිබී ඇත්තේ ‘ආහාර අපද්‍රව්‍ය‘ සහිත පස් ස්තරවල ය. එය මහත් කුතුහලයක් දනවයි!

‘මේ මිනිස් ඇටකටු අතර ‘කලවා අස්ථි’ සහ අනෙකුත් අස්ථිත් තියෙනවා. ඒවායේ ‘කැපුම් සලකුණුත්’ තියෙනවා. විශේෂයෙන් කලවා අස්ථිවල කැපුම් සලකුණු පේන්න තියනවා. හරියට කඩුවක් වගේ තියුණුවට කැපෙන ආයුධයකින් කළා වගේ. ඒවා දකිද්දී හිතෙන්නේ, ‘මස් කෑම පිණිස’ මනුස්සයෙක් කැපුවා වත් ද කියලයි’, ජූඩ් පෙරේරා කියන්නේ ය.

පෘතුගීසීන් එන විට ගාල්ල පැවතියේ සීතාවක සහ කෝට්ටේ රාජධානි යටතේ ය. ඔවුන්ගේ හමුදා පෘතුගීසීන්ට එරෙහිව දිගින් දිගට ම සටන් කළහ. සටන් කොතරම් දැඩි ද යන්න, ගාලු කොටුවේ ‘සූර්ය’ මුර අට්ටාලයේ සවිකළ පෘතුගීසි කාලතුවක්කු පහළොවක් ඔවුන් ගොඩ බිම දෙසට මානා තිබීමෙන් ම පැහැදිලි වේ!

‘මේක සටන් භූමියක්. ඒ කාලේ බොහොම දරුණු සටන් පැවතිලා තියෙනවා. සටන්වල දී මිනිස්සු සිය ගණන් මැරෙන්න ඇති. සමහර දෙනෙක් සිරකරුවන් හැටියට අල්ලා ගන්නත් ඇති. ඒ අය අතිශයින් ම ක්‍රෑර වධ බන්ධනවලට ලක් වෙන්නත් ඇති. කැපුම් සලකුණු සහිත මිනිස් ඇටකටු ඒ වගේ අවස්ථාවන් පෙන්නුම් කරනවා ද කියා සොයා බැලිය යුතුයි’, ආචාර්ය නිමල් පෙරේරා කියන්නේ ය.

ජනප්‍රවාද කතාවල එන හැටියට, සීතාවක පළවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ සේනා කොළඹ පෘතුගීසි යුද බළකොටුව වටලා දුන් පීඩනය නිසා එහි මහත් ආහාර අහේනියක් ඇති විය. දිවි රැක ගැනීම සඳහා එහි ඉතිරිව සිටි පෘතුගීසි සොල්දාදුවන්ට ‘බළල් මස්’ පවා කන්නට සිදු වුණු බව කියැවේ. ගාලු කොටුවේ ද එවැනි ආහාර අහේනියක් හට ගෙන, දිවි රැක ගැනීම පිණිස පෘතුගීසි සෙබළුන් යුද සිරකරුවන් හෝ තමන් එකිනෙකා මරා ගෙන ආහාරයට ගත්තා ද? යන්න, පැහැදිලි නැත!

(ගාලු කොටුවේ ඉතිහාසය සහ මුර අට්ටාල සම්බන්ධයෙන් මෙහි එන ඇතැම් තොරතුරු ලබා ගත්තේ ‘ගාලු උරුමය පදනමෙනි’.)

© ක්‍රිෂ්ණ විජේබණ්ඩාර – සති අග අරුණ