Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගම හදන්න බැසිල් රට වටේ – ඩිජිටල් තාක්ෂණයට, කෘෂිකර්මාන්තයට මුල් තැන

ග්‍රාම සංවර්ධන සමිතිවල මුදල් සීමාව වැඩි කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ ඊයේ (16 වැනිදා) ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය රඳා පවතින්නේ ජීවනෝපාය හා ආදායම් ඉහළ නැංවීම මත බැවින් මෙවර අයවැයෙන් ඒ සඳහාද රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇතැයි හෙතෙම පැවැසුවේය.

‘ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට’ ජාතික වැඩසටහනේ උතුරු මැද පළාත් කමිටු රැස්වීමට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුර, උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මේ බව සඳහන් කළේය.

අයවැය යෝජනාවලට අනුව බහුතරයකට ප්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඒ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

‘‘එළඹෙන 21 හා 22 දිනවලදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සියල්ල රැස් කරන්න. එම කමිටු කැඳවා එක් ග්‍රාම සේවා වසමකට අවම වශයෙන් ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන් එකක් හෝ පවත්වා ගම් මට්ටමින් යෝජනා ලබාගන්න.

මේවා ක්‍රියාත්මක කිරීමේදි ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමට පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තිබෙනවා.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ජනාධිපතිවරයා වෙහෙසෙනවා. ඒ අනුව ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට අවශ්‍ය සන්නිවේදන මාර්ග සකස් කර දෙනවා.

මෙවරත් මාර්ග කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා. ඒ වගේම ‘සැමට ජලය’ ව්‍යාපෘතිය මගින් සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලනවා. මේ සියල්ල කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.

රටේ සංවර්ධන ව්‍යාපෘති සිදු කරන අතරේ නාගරික වන රොදවල් (urban forest) ඇති කරනවා. වනජීවීන්ගෙන් ගොවීන්ට වන හානි අවම කරන්නත් විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

මෙවර අයවැයෙන් ව්‍යවසායිකාවන් බිහිකිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ගමට විදුලි බලය දෙන්න ට්‍රාන්ස්ෆෝමර් 5000ක් නිෂ්පාදනය සඳහා සූර්ය බලය දෙන්න විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

නොමිලේ පොහොර සහ ජල පහසුකම් ලබා දෙන්න රජය විශාල මුදලක් ගොවියන් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එවැන්නක් කර කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් දෙන්නත් රජය කටයුතු කරනවා.

නමුත් ඒ හා සමානව පාරිභෝගිකයාට ඒ සහනය ලැබෙනවා ද යන්න ගැටලුවක්. රජය සතුව ස්ථිර වී තොග නොමැති වීම ඊට හේතුවයි. ඊළඟ කන්නයේ සිට හැම ගොවියෙකුගෙන් සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක් වී මිලදී ගන්න රජය කටයුතු කරනවා.

ගම් මට්ටමින් ධාන්‍යාගාර ස්ථාපිත කරන්න කටයුතු කරනවා. ඒ සඳහා සමුපකාර හා ගොවි සමිති සඳහා සුදුසු ගබඩා සකස් කළ යුතුයි. එවැනි ධාන්‍යාගාර වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදලක් වෙන්කර තිබෙනවා.

වී මිලට ගන්න අවශ්‍ය මුදල් ද රජය මේ වන විටත් වෙන් කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරයට සමුපකාරයට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. අද සමුපකාර විශාල ප්‍රමාණයක් වැසී තිබෙනවා.

ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි පරිදි ලබාදෙන්න රජය පියවර ගෙන තිබෙනවා. මේ රජය අවශ්‍ය තරම් පොහොර ගෙන්වා තිබෙනවා.

ගොවියාට අවශ්‍ය වෙලාවට පොහොර නොලැබෙන්නේ නම් නිසි ප්‍රයෝජන ගන්න බැහැ. පොහොර වෙනුවෙන්ම රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. පොහොර කාර්යාංශයක් තිබෙනවා.

පොහොර ගෙන්වීම වෙනුවෙන් වැඩිම මුදලක් වෙන්කරනවා.

වරායෙන් සෘජුවම මේ පළාතට පොහොර එවනවා. ප්‍රජා මූල සංවිධාන හරහා ගමේ කටයුතු සිදුවෙනවා.

ගම තුළ ධාන්‍යාගාර නිර්මාණය කිරීමටත් බල පොරොත්තු වෙනවා ” යනුවෙන්ද පැවසීය.

About The Author