Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ විශ්වවිද්‍යාලය සම්ප්‍රදායික රාමුවෙන් එළියට පනී – විද්‍යාත්මක පර්යේෂණ වලට අපමණ අගයක් සොයයි 

පිළිකා නසන පෝෂක ඖෂධයත් එහි ප්‍රතිඵලයක්

මෙරට විශ්වවිද්‍යාල බොහොමයක් මගින් සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ කිසිදු ප්‍රතිඵලයක් අත් කර නොගෙන අත හැර දමන සහ වෙනත් රටවලින් ඒවායේ අයිතිය අත්පත් කරගන්නා අවධියක කොළඹ විශ්වවිද්‍යාලය සිය පර්යේෂණ ඔස්සේ නිෂ්පාදනය කරන ලද නිපැයුම් වෙළඳපොළට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ සදහා පුද්ගලික අංශය සමඟ ද හවුල්කාරිත්වයක් ඇති කරගනිමින් නව වැඩසටහන් රැසක් දියත් කිරීමට ඔවුන්ට හැකිවී තිබෙනවා.

මේ වන විට ඒ සඳහා එම විශ්වවිද්‍යාලය තුළ විශ්ව විද්‍යාලය සහ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනම ඒකකයක් ද පිහිටුවා ඇති අතර ඒ හරහා සම්බන්ධීකරණය සිදුකරමින් පසුගිය කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කර්තෘ භාගය පිරිනැමීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදු කළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල හිමිව තිබෙනවා.

1.      Vernolac – පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය.

2.      Satiny – අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය.

3.      Ortho Shield – බොහෝ දෙනෙකු මුහුණ දෙන සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මක ව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය.

4.  Bio Shape – ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය,

මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟින් ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන  ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන  ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගමයි.

ඔවුන් අදාළ නිෂ්පාදන අළෙවිකොට ලද ලාභයෙන් කොළඹ විශ්වවිද්‍යාලට හිමි කර්තෘ භාගය ට අදාළ මුදල පසුගියදා (27) කොළඹ විශ්ව විද්‍යාලය වෙත පිරිනැමීමට කටයුතු කර තිබුණා.

ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එච්.ඩී කරුණාරත්න මහතා වෙත අදාළ මුදල භාර දී තිබෙනවා.කොළඹ විශ්ව විද්‍යාලය නිෂ්පාදනය කළ මෙම නිෂ්පාදන අතර පිළිකා සෛල නසා දැමීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධයක් ද පවතින අතර විශ්වවිද්‍යාලයට ලද අදායමෙන් කොටසක් තව දුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත පිළිකා පිළිබඳ පර්යේෂණ අරමුදල වෙනුවෙන් යෙදවීමට පියවර ගැනීම ද විශේෂත්වයක්.

About The Author