2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් වසංගතය සමඟ වැඩි වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය.

සාමාන්‍යයෙන් ලොව පුරා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අතින් මුල් තැන උසුලන්නේ අප්‍රිකාව, අරාබිය සහ දකුණු ආසියාව යි. නැගෙනහිර ආසියාව, අග්නිදිග ආසියාව හා දකුණු ඇමරිකාව දෙවන ස්ථානය ගන්නා අතර ඉතිරි රටවල් ඊට අඩු ය. එහෙත් මේ වන විට ඇති වී තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඉහත කී රටවලින් පමණක් නොව ලොව බොහෝ ස්ථානවලින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි ලැබෙමින් පවතී. 

 ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ රට වසා දැමීම හෙවත් “ලොක්ඩවුන්” කිරීම ය. අප්‍රිකානු, අරාබියානු හා ආසියානු පුරුෂයින් පිළිබඳ සැලකූ විට ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට නිවසේ රැඳෙමින් බිරිඳ හා දරුවන් සමඟ සතුටු වී පුරුදු නැත. වැඩිමනක් ඔවුන්ගේ ජීවිත ගත වන්නේ කාර්යාලයේ හා මහමඟ ය. අනෙකුත් රටවල පුරුෂයින්ට ද සිය පවුල සමඟ බොහෝ වේලාවක් ගත කිරීමට අවකාශ නොලැබේ. එහෙයින් විවාහ වුව ද සැමියා, බිරිඳ මෙන් ම දරුවන් ද ජීවත් වනුයේ තම තමාගේ ලෝකවල ය. එක්වර ම පවුල එකතු වූ විට අනෙකා සමඟ ඉවසීමෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන කිසිවෙකුටත් නිවැරදි වැටහීමක් නොමැති වීමෙන් මෙවැනි ගැටලු ඇති වේ.

තව ද, පුරුෂ පාර්ශවය පිළිබඳ සැලකීමේ දී, සාමාන්‍යයෙන් පවුලක ගෘහ මූලිකයා ඔහු ය. සියලු සාමාජිකයින්ට ආහාර, ඇඳුම් ඇතුළු මූලික අවශ්‍යතා සියල්ල සැපයිය යුත්තේ ඔහු ය. එවිට හදිසියේ රට වසා දැමීමෙන් පුරුෂයාගේ මනස පීඩනයකට ලක් වේ. තව ද ඔහුට සිය රැකියා සුරක්ෂිතතාව ගැන ද ඇති වන්නේ අවිනිශ්චිත බවකි. එය ද පීඩනයට හේතුවක් වේ. ස්වාභාවිකව ම පිරිමියා නිවසන් බැහැර ව, එළිමහනේ ජීවත් වීමට ප්‍රියතාවක් දක්වන්නෙකි. නිවෙස් තුළට කොටු වී සිටීමට සිදුවීමෙන් ඔහු මහත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙයි. වරද වන්නේ මේ සියලු මානසික ආතතිය ඔහු පිට කරනුයේ තමා අසල සිටින බිරිඳ හා දරුවන් මතින් වීම යි.

ලොව පුරා සිදු කර ඇති සමීක්ෂණවලින් ලැබී ඇති දත්ත වාර්තා අනුව කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 70%කින් ඉහළ ගොස් තිබේ. චීනයේ පමණක් පසුගිය වසර තුළ මසකට 47ක් වූ පැමිණිලි සංඛ්‍යාව මේ වන විට මසකට 175ක් දක්වා වැඩි වී ඇත. එයින් 90%කට ම හේතු වී ඇත්තේ වසංගතය සමඟ රට වසා දැමීම ය. ස්පාඤ්ඤයේ රට වසා දමා මුල් දින කිහිපය ඇතුළත ලැබී ඇති මෙවන් පැමිණිලි ප්‍රමාණය 20%කින් වැඩි වී තිබේ. 

 ඕස්ට්‍රේලියාවේ මෙම තත්ත්වය 75%කින් පමණ ඉහළ ගොස් ඇත. එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසන්නේ කොවිඩ් වසංගතය පසෙක තබා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන සියයක් වෙන්කිරීමට තමාට සිදු ව ඇති බව යි. එංගලන්තයත් ජර්මනියත් මෙම තත්ත්වය වැළැක්වීම සඳහා හිස් හෝටල් කාමර ආරක්ෂිත නිවාස බවට පත් කොට තිබේ. 

සිය සහකරු සමඟ ශාරීරික සම්බන්ධතාවක් නොමැති වුව ද, ඔහු අකැමැති වන ඕනෑම කරුණක් නිසා (ඊට ඔබ වගකිව යුතු ද නැද්ද යන්න අදාළ නොවේ. නිදසුනක් ලෙස කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාම) ඔබට පහර කෑමට වෙතැයි බියෙන් දිනපතා අවදි වීමට සිදු වන්නේ නම්, එය කෙතරම් ඛේදවාචකයක් ද? ඕස්ට්‍රේලියානු කතුවරියක වන “ලියානි මොරියාටි”ගේ “බිග් ලිට්ල් ලයිස්” වැනි ග්‍රන්ථවල මෙම තත්ත්වය වඩාත් තාත්ත්වික ලෙස විස්තර කොට තිබේ. අන් දිනවල දී මෙවැනි වින්දිතයෙකුට නිවසින් පිට ව යාමට හැකියාව ලැබුණ ද, හදිසි නීතිය හේතුවෙන් ඇයට සිදු ව තිබෙන්නේ අපයෝජකයා සමඟ ම ජීවත් වීමට යි. ආරක්ෂාව පතා එවැන්නියකට හා ඇගේ දරුවන්ට කළ හැකි උපරිම දේ වන්නේ නිවස තුළ ම ඇති කාමරයකට ගොස් දොර වසා ගැනීම පමණි. 

 වඩාත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙන්නේ ළමා වින්දිතයින් ය. මන්දයත් ඔවුනට මෙම ගැටලුව සාකච්ඡා කළ හැකි කිසිවෙකු (ගුරුවරයෙකු, නෑදෑයෙකු) හමු විය නොහැකි වී ඇති අතර සාමාන්‍යයෙන් ඔවුන් පිළිබඳ සොයා බලනා සමාජ සේවකයින් හට ද අදාළ නිවෙස් බැහැදැකීමට යා නොහැකි වී තිබෙන බැවිනි. 

මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති සී.එන්.ඒ. නාලිකාව, ඇති වී තිබෙන ඛේදජනක තත්ත්වයෙන් වින්දිතයින් බේරා ගැනීම වෙනුවෙන් මහත් වෑයමක් ගන්නා බව පෙනී යයි. එම නාලිකාව හරහා සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් එක්සත් රාජධානියේ බ්‍රස්ටල් විශ්ව විද්‍යාලයේ පූර්ව ළමාවිය රැකවරණය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය මහාචාර්ය ජීන් ෆෙඩර් මහතා පවසනුයේ ගෘහස්ථ හිංසනයෙන් බැට කන අසරණයින් හට සමාජ දුරස්ථකරණය යනු අතිභයානක සිහිනයක් බව ය. අනෙකුත් දිනවල කාර්යාලය, පාසල යනාදී ස්ථානවල දී වින්දිතයින් සැනසීම ලැබූවත් රට වසා දැමීමත් සමඟ එම සැනසුම ගිලිහී ගොස් ඇත. මෙම තත්ත්වය කෙතරම් බරපතල ද යන්න කියතොත් සමහර වින්දිතයෝ අවම වශයෙන් දුරකථනයකින්වත් සිය අපහසුතාව හිතවතෙකුට ප්‍රකාශ කෙරුමට උත්සාහ නොකරති . ඒ, අපයෝජකයාට ඇසෙතැයි බියෙනි. ඔවුන්ගෙන් බොහෝමයක් මෙම අවස්ථාවෙන් මොහොතකට හෝ ගැලවී ගත නොහැකි ව ලත වන අතර කොරෝනා සෑදුණත් කමක් නැතැයි සිතා නිවසින් ඉවතට දිවීමට තරම් නොඉවසිලිමත් වී සිටිති. 

 මේ වන විට හැඬූ කඳුළින් දින ගණනාවක් ගත කර ඇති පීඩිතයින් තවදුරටත් එය ඉවසා සිටීමට එක් හේතුවක් වී ඇත්තේ, තමා ඔහුට ණය බවට ඇති වැරදිකාරී සිතිවිල්ල යි. තවත් කෙනෙකු එය සිය යුතුකම බව සිතන අතර, ඇතැමෙකුගේ ආගමින් කුමන හේතුවක් නිසාවත් සිය පුරුෂයා අත්හැර නොයාමට බල කෙරෙයි. සමහර දෙනෙකුට පුරුෂයා හැරුණුකොට වෙනත් ආදායම් මාර්ගයක් නැත. ඇතැමෙකු දරුවන් නිසා ඉවසා සිටින අතර සමහරුන් වඩාත් සැලකිලිමත් වන්නේ සිය සමාජ තත්ත්වය රැක ගැනීමට මිස හිංසනයෙන් බේරීමට නොවේ. 

ගෘහස්ථ හිංසනය මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස ජාත්‍යන්තර නීතියෙන් පිළිගැනේ.  මුල් කාලීන ජාත්‍යන්තර ගිවිසුම් මගින් ගෘහස්ථ හිංසනයට එරෙහිව ආරක්ෂාව සපයනු ලැබුවද, 1990 ගණන්වලදී ගෘහස්ථ හිංසනය වඩාත් පැහැදිලි අවධානයක් ලබා ගැනීමට පටන් ගත්තේ කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම තුරන් කිරීමේ කමිටුව (1992) සහ පොදු ප්‍රකාශය අංක 19 සම්මත කිරීමත් සමඟ ය.  එනම්, කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම (1993) පණතිනි. පසුගිය දශක දෙක තුළ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ යෝජනා ගණනාවක්ම දැක තිබේ.  ගෘහස්ථ හිංසනය මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරන මූලික ක්‍රම තුනක් කෙරෙහි අවධානය යොමු කරමින් ගෘහස්ථ හිංසනයට බලපාන ජාත්‍යන්තර ගිවිසුම් සහ යෝජනා ද සම්මත වී තිබේ. එම ක්‍රම තුන නම්,  ජීවත්වීමේ අයිතිය සහ පුද්ගලයාගේ ආරක්ෂාව වැනි මූලික නිදහස උල්ලංඝණය කිරීමක් ලෙස, අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස හා  සමානාත්මතාවයට සහ වධහිංසාවට එරෙහි තහනම උල්ලංඝණය කිරීමක් ලෙස යනාදී වශයෙනි. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම කාරණාව සම්බන්ධයෙන් මුල් තැනගෙනක්‍රියා කරයි. එනමුත්, පවත්නා වසංගත තත්ත්වය හමුවේ ඔවුන් ද අසරණ වී ඇති බව පෙනේ. එබැවින් අදාළ කාරණය සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ප්‍රමාණය අවම වී අරති අතර, වැඩි වෙමින් යන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට උත්සාහ ගැනීම ද ගඟට කැපූ ඉනි බවට පත් වී ඇත.

“ගෙදර” යන වචනය ඇසෙන විට ඔබටත් මටත් සිහි වන්නේ නිදහස හා සැනසීම විය හැකි ය. එහෙත් ඇතැම් කාන්තාවන් හා දරුවන් හට සිය නිවස යනු, මතක් වන විටත් හිසරදය ඇති කරවන අපායක් ම පමණකි. එම තත්ත්වය අප වෙසෙන සමාජයේ ක්‍රෑරත්වය මනාව පෙන්වන කැඩපතක් නොවන්නේ ද? 

ශ්‍රීනි ලංකා ජයකොඩි