Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොවිඩ් මර්ධනය – ආණ්ඩුව පාස් ද ? ෆේල් ද? ඕස්ට්‍රේලියානු ආදර්ශය හා ශ්‍රී ලංකාව

කෝවිඩ් ව්‍යසනය සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ වෙසෙන වෛද්‍ය ක්‍රිශාන්ත කුමාර පියදාස මහතා සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවෙන් පසු පහත කරුණු ලිවීමට සිත් විය. අද දිනය වන විට පුරා සති තුනක කාලයක් කෝවිඩ් ආසාධිතයන්‍ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා නොවීම පිළිබඳව, එම ජයග්‍රහණය කුඩා හෝ දායකත්වයක් දැක්වූ වෛද්‍යවරයෙකු ලෙස ඔහු තුළ වූ සතුටත්, අප රටේ තත්ත්වය පිළිඹඳව වූ කණස්සල්ලත් ඔහුගේ හඬ තුළ පැහැදිලිව දක්නට ලැබිණ.

ඕස්ට්‍රේලියාව ඉදිරි මාස දෙකත් පිටස්තරයන්ට වහලා

ඉදිරි දින හැටක කාලය තුළ කිසිදු හේතුවක් මත විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුල්වීම ඔවුන් විසින් වාරණය කරනු ලැබ ඇත්තේ සිය රටේ ජනතාව කෙරෙහි ඔවුන්ගේ ඇති සැලකිල්ල පෙන්නුම් කරමිනි. ඕස්ට්‍රේලියාව ප්‍රමාණයෙන් අති විශාල වූවත් ජනගහනය අතින් අපගේ කුඩා දිවයිනට සමානය. ඕස්ට්‍රේලියාව ඔවුනගේ පිවිසුම් දොරටු වසා දැමූවත් පළමු කොරෝනා රැල්ලෙන් අනතුරුව ලක් රජය සංචාරක ප්‍රවර්ධන කටයුතු සදහා අති විශාල වියදමක් කරමින් විදේශිකයන්ට අත වැනුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවන කොරෝනා රැල්ල ඇතිවීමේ අනතුරු ඇඟවීම් ශත පහකට මායිම් නොකරමිනි. අග්‍රාමාත්‍යවරයා පසුගියදා කොරෝනා මර්ධනයට රුපියල් මිලියන හැත්තෑදහසක් වැය වී ඇතැ’යි කියත්දී ඇතැමුන් මුහුණු පොතේ ප්‍රශ්න කර සිටියේ එතරම් මුදලක් වැය වුනේ කොරෝනා සල්ලි දී ගත්ත හින්දාද කියාය.

කොරෝනා මර්ධනයේදී ඕස්ට්‍රේලියානු හමුදාවේ කාර්‍ය භාරය

ලංකාවේදී මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද කොරෝනා මර්ධනය සඳහා හමුදාවේ සහාය දැඩිව භාවිත කළා පමණක් නොව මැද පෙරදිග රටවල කොරෝනා මර්ධනය සඳහාද නේටෝ හමුදා ක්‍රියාන්විතය තුළ ද ඔවුනගේ දායකත්වය කැපී පෙනෙන්නකි. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාව තම හමුදාවන්ට හා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ඉහළ අවධානයකින් කටයුතු කළ අතර එම කටයුතු සඳහා සෞඛ්‍ය දැනුමක් සහිත අයවලුන් පමණක් යොදා ගත්තා පමණක් නොව සියලු ක්‍රියාන්විතයන් අවසානයේ ඔවුන්ව පරීක්ෂා කිරීමද නොවරදවා සිදු කරන ලදී. ඕස්ට්‍රේලියාව මේ වනවිට ඔවුන්ගේ මිලියන විසිදෙකක ජනගහනයෙන් ලක්ෂ 77ක පිරිසක් PCR පරීක්ෂණයට ලක් කිරීම මෙම කොරෝනා මර්ධනයේ ප්‍රධානම රහස බව ඉතා පැහැදිලි ය.

පරීක්ෂණ, පරීක්ෂණ, පරීක්ෂණ, හඳුනාගැනීම්, පරීක්ෂණ, හඳුනාගැනීම්

මේ, ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තර දුන් උපදේශයයි. මෙම උපදෙස් නිසියාකාරව පිළිපැදි රටවල් ලෙස ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ඇතුළු රටවල් සිය ජනතාව මෙම ව්‍යසනයෙන් බේරාගැනීමට සමත්ව ඇතත්, දෙවන කොරෝනා රැල්ලක් ගැන කිසිඳු අවධානයක් යොමු නොකළ අප රට පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර් යන්ත්‍ර එකක් හෝ මිළදී නොගත්තා පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාජික රටවල කොරෝනා මර්ධනය සදහා ලබාදුන් ඩොලර් මිලියන ගණනක සෞඛ්‍ය ආධාර පවා ප්‍රතික්ෂේප කිරීමට තරම් ලක් රජය තකතීරු වී තිබීම කණගාටුදායකය. මෙම ආධාර මුදල ඕස්ට්‍රේලියාව පවා ලබාගත් බවද මෙහි ලා සඳහන් කළ යුතුමය.

බ්‍රැන්ඩික්ස් පොකුර මිනුවන්ගොඩ පොකුර බවට නාමකරණය කිරීම

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය තුළ පැතිරී ගිය කොරෝනා වසංගතයේ නාමකරණය වෙනස් කිරීමට රජයට අවශ්‍ය වූයේ මහජන සෞඛ්‍ය නිළධාරී සංගමය අදාල ආයතනයට ඉන්දියාවේ සිට පැමිණි කිසිවෙකු තම අධීක්ෂණය යටතේ නිරෝයාධනයට ලක් නොකළ බව ප්‍රකාශ කිරීමත් සමගය. සිදු නොවිය යුත්තක් සිදු වුවා නම් රටක් ලෙස අප කළ යුත්තේ වැරදිකරුවා සෙවීමේ පහත් දේශපාලනයකට යොමු වීම වෙනුවට එක්ව මෙම ව්‍යසනයට මුහුණ දී අවසානයේදී අවශ්‍ය නම් වැරදිකරුවන් සොයා ගැනීමය. කෙසේ වෙතත්, සිය ගණනින් රෝගීන් මතුවන අතිශය සංවේදී ඇඟලුම් කර්මාන්තය වැනි රට පුරා පැතිරුණු සේවක පිරිස් සිටින ස්ථානයක පැතිරීම පාලනයට අවශ්‍ය වසා දැමීම් හා අනෙකුත් පරීක්ෂණ කඩිනම් කරනවා වෙනුවට සමාජ පැතිරීමක් නැතැ’යි බේගල් ඇද බාමින් ආණ්ඩුව ව්‍යවස්ථාවේ 20 කණුව පැනගත්තේය.

අප ඉන්නේ කොතැනකද??

කොරෝනා මර්ධනයෙන් අප කප් ගැසූ බවත්, ලෝකෙන්ම දෙවන ස්ථානය අප සතු බවත්, කොරෝනා සහමුලින් තුරන් කළ බවත් කියමින් කොරෝනාවෙන් දේශපාලනය කළ ආණ්ඩුව කොරෝනා මර්ධන අරමුදලෙන් වට්ටක්කා ගොවියන්ගේ වට්ටක්කා මිලට ගත් බවත්, වෙනත් භාණ්ඩ සඳහා සහන පියවීමට වැය කළ බවත් ආණ්ඩුවේ නියෝජිත වරියක් රූපවාහිනී සංවාදයකදී කියනු මම අසා සිටියෙමි. මෙවන් බරපතළ ලෝක සෞඛ්‍ය ව්‍යසනයක් මර්ධනයට පළමු කොරෝනා රැල්ලෙන් පසු ආණ්ඩුවේ මැදිහත්වීම එලෙස නම් මෙම අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වලට හෝ හමුදාපතිවරයා ප්‍රමුඛ හමුදා සොල්දාදුවන්ට වරද පැටවීමට කටයුතු කිරීමෙන් පලක් නැත. අති දැවැන්ත මුදලක් වැය කරමින් හෙලිකොප්ටර් යොදවා දිනකට නිරෝයාධන නීති උල්ලංඝනය කරන අයවලුන් දහයක් පහලොවක් අල්ලා ගැනීමට වඩා ඒ මුදල් යොදවා දිස්ත්‍රික්ක මට්ටමින් අහඹු පරීක්ෂණ සිදු කොට රට ඇත්තේ කිනම් මට්ටමේ අර්බුදයකද යන්න පිළිබඳව විද්‍යානුකූල නිගමනයකට එනවා වෙනුවට ඒලියන්ත මාදිලියේ රටේ වෙද්දුන් යොදවා ගංඟා ජලයට අහවල් ශක්තිය මැතිරූ මැටි කලගෙඩි අතහැරීම පිළියමක් නොවන්නේ රට පුරා මැරී වැටෙන මිනිසුන් ගණන ඉහළ යාමත්, ඉදිරියේදී රට මුහුණ දෙන සීත දේශගුණික තත්ත්වය මත මෙම රෝගයේ ව්‍යාපෘතිය වැඩිවීමට ඇති හැකියාවත්, සීත දේශගුණය නිසා මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගැනීමට ඇති හැකියාවත් නිසාය.

ගල්කිස්සෙන් වැලි මුහුදට දමා වැල්ලවත්තෙන් යළි ගොඩ ගසනු ඇතැ’යි උඩ බලා සිටින මරි මෝඩ උපක්‍රම වෙනුවට ඕස්ට්‍රේලියානු උදාහරණය අප බරපතළ ලෙස සැලකිය යුත්තේ අහිමිවන සෑම ජීවිතයක්ම අන් කවරෙකුට කෙසේ වූවත් ලක් මවට වටිනා නිසාය.

© නීතීඥ සංජීව සෙනෙවිරත්න