Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා වෛරස නව ප්‍රභේදය භයානක ද? බෝ වන වේගය වැඩි ද? එන්නත් ක්‍රියා කරයි ද?

New variant of Coronavirus
ඡායාරූප ශීර්ෂ වැකිය,නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට , එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ.

එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම හෙට (දෙසැම්බර් 23) සිට තාවකාලිකව අත්හිටුවන බවය.

එංගලන්තයේ සමහර ප්‍රදේශවල නොපැවති දෙයක් මාස කීපයක් ඇතුළත සුලභ වෛරසයක් බවට පත් වී ඇත්තේ කෙසේද?

නව ආසාදනය වෙනත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයේ උපදේශකයන්ට ඇත්තේ “මධ්‍යස්ථ” විශ්වාසයකි.

වෛරසය සම්බන්ධයෙන් සියලුම කාර්යයන් තවමත් මුල් අවධියේ පවතින අතර දැඩි අවිනිශ්චිතතා සහ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ලැයිස්තුවක් තිබේ.

වෛරස් සෑම විටම වෙනස් වීමට භාජනය වන නමුත් වෛරසයේ හැසිරීම වෙනස් වේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙම ප්‍රභේදය ගැන සැලකිලිමත් වීමට හේතුව කුමක්ද?

මෙයට කරුණු තුනක් බලපා තිබේ:

  • එය කොරනාවෛරසයේ අනෙකුත් ප්‍රභේදයන් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි.
  • එය කොරනාවෛරසයේ වැදගත් විය හැකි කොටස් කෙරෙහි බලපාමින් වෛරසය විකෘති කර තිබේ.
  • විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙසේ වෙනස් වූ සමහර වෛරස සෛල ආසාදනය කිරීමේ වැඩි හැකියාවක් පවතී.

මේ සියල්ලම එකට එකතු වී වඩාත් පහසුවෙන් පැතිර යා හැකි වෛරසයක් ගොඩනැඟෙනු ඇත.

කෙසේවෙතත්, අපට කිසිවක් නිශ්චිතව කිව නොහැක. එමෙන්ම, නියමිත වේලාවට සුදුසු තැනක රැදීම මගින් නව වෛරසය වඩාත් ව්‍යාප්ත විය හැකිය. මෑතක් වන තුරුම ලිහිල් සීමාවන් පමණක් ක්‍රියාත්මක වූ ලන්ඩන් වැනි ස්ථානයක එය පැතිරීම පහසු වී ඇත.

නමුත් දැනටමත් ප්‍රභේදය පැතිරීම අවම කිරීම සඳහා පැනවූ දැඩි සීමාවන් සාධාරණීකරණය කිරීම සිදු වෙමින් තිබේ.

“රසායනාගාර අත්හදා බැලීම් අවශ්‍යයි. නමුත් ඔබට සති හෝ මාස ගණනක් බලා සිටීමට අවශ්‍යද (ප්‍රතිඵල බැලීමට සහ පැතිරීම සීමා කිරීමට පියවර ගැනීමට)? මේ තිබෙන තත්ත්වය මත ඒක කරන්න බැහැ,” මහාචාර්ය නික් ලෝමන් පැවසුවේය.

New variant of Coronavirus
ඡායාරූප ශීර්ෂ වැකිය,රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක සීමා පනවා තිබේ

මෙය කොතරම් වේගයෙන් ව්‍යාප්ත වේද?

මෙය ප්‍රථම වරට අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේ ලන්ඩනයේ කොරෝනාවෛරස රෝගීන්ගෙන් හතරෙන් එකක පමණ නව ප්‍රභේදය වාර්තා විය. මෙය දෙසැම්බර් මැද භාගයේදී තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය.

මිල්ටන් කීනස් ප්‍රදේශයේ සමහර මධ්‍යස්ථානවල පරීක්ෂණ ප්‍රතිඵලවලින් මෙම ප්‍රභේදය කෙතරම් දුරකට ආධිපත්‍යයක් දරන්නේ ද යන්න ඔබට දැක ගත හැකිය.

ගණිතඥයෝ විවිධ ප්‍රභේදවල පැතිරීමේ සංඛ්‍යා දත්ත ලබාගනිමින්, සංසන්දනය කර, මේ වෛරසයේ ප්‍රභලත්වය ගණනය කිරීමට උත්සහ කරති. නමුත් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේ හැසිරීම නිසාද නැත්නම් වෛරසය නිසාද යන්න පැහැදිළි කර ගැනීම දුෂ්කර කරුණක් වී ඇත.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළ පරිදි නම්, මෙම ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ ප්‍රවණතාව 70%කි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය එරික් වොල්ස්ගේ ඉදිරිපත් කිරීමක ද මෙම 70% සංඛ්‍යාව ගැන සඳහන් විය.

කතාව අතරතුර ඔහු මෙසේ පැවසීය: “එය කීමට ඇත්තෙන්ම කල් වැඩියි… නමුත් අප මෙතෙක් දුටු දෙය අනුව එය ඉතා ඉක්මණින් වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා. එය පෙර පැවති ප්‍රභේදයකට වඩා වේගයෙන් පැතිර යනවා. මේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා.”

ප්‍රභේදය කොතරම් දුරට බෝවිය හැකිද යන්න “නිශ්චිතව ම” කිව නොහැක. විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් තවමත් සිය වැඩ කටයුතු ප්‍රසිද්ධ කර නොමැති අතර, බෝ වන වේගය 70% ට වඩා ඉහළ මෙන්ම අවම සංඛ්‍යාවක් ද ගත හැකි බවට පරස්පර මත ඉදිරිපත් වී ඇත.

නමුත් එය තව දුරටත් සම්ප්‍රේෂණය වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්න ද පවතී.

“වෛරසය සැබවින්ම සම්ප්‍රේෂණය වීම වැඩි වී තිබේද යන්න පිළිබඳව ප්‍රබල හෝ ස්ථිර මතයක් දැරීමට පොදුවේ ඇති සාක්ෂි ප්‍රමාණවත් වන්නේ නැහැ,” නොටිංහැම් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේය.

New variant of Coronavirus
ඡායාරූප ශීර්ෂ වැකිය,නත්තල් සමය තුළ සිය ඥාතීන් දැකීමට නොහැකි වීමත් සමග ඔවුන් වෙත පාර්සල් යැවීමට තැපැල් හල් ඉදිරියේ පෝලිම් ගැසුණු පුද්ගලයන් දැකිය හැකිය

මෙය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද?

මෙම ප්‍රභේදය එක්සත් රාජධානියේ රෝගියෙකු තුළ මතුවී ඇත්ද නැත්නම් කොරෝනාවෛරස වෙනස් වීම් නිරීක්ෂණය කිරීමේ අඩු හැකියාවක් ඇති රටකින් ඇවිත් තිබේද යන්න ගැන පැහැදිළි නැත.

නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි නමුත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේය.

ලොව පුරා වෛරස් සාම්පලවල ජාන කේත අධීක්‍ෂණය කරන නෙක්ස්ට්ස්ට්‍රේන් හි (Nextstrain) දත්තවලට අනුව ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරසය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. නෙදර්ලන්තයෙන්ද මේ හා සමාන රෝගීන් වාර්තා වී තිබේ.

දකුණු අප්‍රිකාවේ මේ හා සමාන ප්‍රභේදයක් මතු වී ඇති නමුත් මේ සමඟ සම්බන්ධයක් නැති බව පැවසේ.

මෙය මීට පෙර සිදුවී තිබේද?

ඔව්.

ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප්‍රථම වරට හමුවූ වෛරසය නොවේ.

පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප්‍රභේදය පසුව ලෝකයේ ප්‍රමුඛ වෛරසය බවට පත්විය.

A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය.

නව ප්‍රභේද ගැන අප දන්නේ මොනවාද?

නව ප්‍රභේදය පිළිබඳ මූලික විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වැදගත් වෙනස් වීම් 17 ක් හඳුනාගෙන තිබේ.

වෛරසයේ තිබෙන උල් හැඩැති ප්‍රෝටීනයේ වෙනස්කම් සිදුව ඇත – අපගේ ශරීරයේ සෛලවලට ඇතුළුවන දොර ඇරීමට වෛරසය භාවිත කරන යතුර මෙයයි.

N501Y නම් එක් ප්‍රභේදයක වෛරසයේ උල් හැඩැති කොටසේ වැදගත්ම අංගය වෙනස් කර ඇති අතර, එය “ප්‍රතිග්‍රාහක-බන්ධන ප්‍රදේශය (receptor-binding domain)” ලෙස හැඳින්වේ. වෛරසයේ උල් හැඩැති කොටස අප ශරීරයේ සෛල මතුපිට සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ මෙහිදීය. වෛරසයට ඇතුළුවීම පහසු කරවන ඕනෑම වෙනස්කමකට එය අවස්ථාව ලබා දෙනු ඇත.

“මෙය වැදගත් අනුවර්තනයක් වගේ පෙනෙනවා, දැනෙනවා,” මහාචාර්ය ලෝමන් පැවසීය.

‘H69 / V70 ඩිලීෂන්’ නම් තවත් ප්‍රභේදයක උල්වලින් කුඩා කොටසක් ඉවත් වී තිබෙන අතර, මීට පෙර කීපවතාවක් එය මතුවී තිබේ. මෙය පසුගිය සමයේ ප්‍රසිද්ධ පුවතක් බවට පත් වූ ආසාදිත මින්ක් සතුන් තුළ දැකිය හැකි විය.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සිදු කරන ලද පරීක්ෂණ කටයුතු අනුව මෙම ප්‍රභේදය රසායනාගාර පරීක්ෂණවලදී ආසාදනය වීම දෙගුණයකින් වැඩි කර පෙන්වා ඇත.

එම කණ්ඩායමේම අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ කුඩා කොටසක් ඉවත් වූ ප්‍රභේදය ශරීරගත වී දිවි ගලවා ගත් අයගේ රුධිරයෙන් ලැබෙන ප්‍රතිදේහවල වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය අඩු බවය.

“මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා,” මහාචාර්ය රවී ගුප්තා පැවසුවේය.

Police officers speak to a driver in one of lorries parked on the M20 motorway after France closed its border
ඡායාරූප ශීර්ෂ වැකිය,ප්‍රංශ – එක්සත් රාජධානිය දේශ සීමා වසා දැමීමත් සමග විවිධ භාණ්ඩ රැගත් ලොරි 1500කට අධික ප්‍රමාණයක් මායිමේ දින දෙකක පමණ කාලයක් සිර වී තිබේ.

මෙය පැමිණියේ කොහෙන්ද?

නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත.

මෙම තත්ත්වයට ආසන්නතම පැහැදිලි කිරීම නම් වෛරසය පරාජය කිරීමට නොහැකි වූ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගියෙකු තුළ මෙම ප්‍රභේදය මතු වී ඇති බවය.

අදාළ ශරීරය වෛරසය වෙනස් වී බිහිවීමේ ස්ථානයක් බවට පත් වී ඇත.

මෙය ආසාදනය වඩාත් මාරාන්තික වනු ඇත්ද?

එසේ සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් මෙය තවදුරටත් අධීක්ෂණය කිරීමට අවශ්‍ය වේ.

කෙසේවෙතත්, බෝවීම වැඩි වීම පමණක් රෝහල්වල ගැටලු ඇති කිරීමට ප්‍රමාණවත් වේ.

නව ප්‍රභේදය වැඩි පිරිසකට ඉක්මණින් ආසාදනය වීමෙන් සිදුවන්නේ වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමය.

නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ක්‍රියා කරයිද?

නිසැකවම එය එසේ වනු ඇත. අවම වශයෙන් දැනට හෝ එය ක්‍රියා කරනු ඇත.

ප්‍රමුඛ පෙළේ එන්නත් තුනම දැනට පවත්නා කොරෝනාවෛරසය ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කර තිබීම මෙම ප්‍රශ්නය පැන නැගීමට හේතු වේ.

වෛරසයේ විවිධ කොටස් කීපයකට පහර දීම සඳහා, එන්නත් මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන අතර උල් හැඩැති කොටස වෙනස් වී ඇතත්, එන්නත් තවමත් ක්‍රියාත්මක විය යුතුය.

“නමුත් අපි එයට තවත් වෙනස් වීම් එකතු කිරීමට ඉඩ දුන්නොත්, ඔබ කනස්සල්ලට පත් වීමට පටන් ගනීවි,” මහාචාර්ය රවී ගුප්තා පැවසීය.

“මෙම වෛරසය එන්නතෙන් ගැලවීමේ මාවතක ගමන් කරනවා විය හැකියි. එය ඒ සඳහා පළමු පියවර කීපයක් ගෙන තිබෙනවා.”

වෛරසය වෙනස් වූ විට එන්නතෙන් ගැලවී යාමක් සිදු වන අතර එමඟින් එන්නතෙහි සම්පූර්ණ බලපෑමෙන් මිදී දිගින් දිගටම මිනිසුන්ට ආසාදනය වෙයි.

වෛරසයට කුමක් සිදුවන්නේ දැයි යන්න පිළිබඳ වඩාත් සැලකිල්ල යොමුවන මූලිකාංගය මෙය විය හැකිය.

අප වැඩි දෙනෙකුට ආසාදනය වෙමින් වෛරසය අඛණ්ඩව අනුවර්තනය වන බව පෙන්වන නවතම ප්‍රභේදය මෙය වී තිබේ.

“මේ වෛරසයට බොහෝ විට එන්නත්වලින් මිදී යා හැකි වෙනස් කිරීම් සිදු කිරීමට හැකි වනු ඇත,” යැයි ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් රොබට්සන්ගේ ඉදිරිපත් කිරීමක නිගමනයේ සඳහන් විය.

මෙය අපව උණ රෝගය හා සමාන තත්ත්වයකට පත් කරනු ඇත. එහිදී එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුය. වාසනාවකට මෙන් අප සතුව ඇති එන්නත් වෙනස් කිරීමට පහසුය.

(බීබීසී හි සෞඛ්‍ය හා විද්‍යා තොරතුරු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් පදනම් කරගත් ලිපියකි.)

© B.B.C News – සිංහල

About The Author