Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා රෝගී කළ දේශපාලන ලෝකය.

කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් දෙසියයක පමණ ව්‍යාප්ත ව තිබේ. මරණ ප්‍රමාණය තිස් අටදහසක් පමණ වන අතර රෝගීන් ගණන ලක්ෂ අටකට ආසන්න ය. මේ අතර ප්‍රකට දේශපාලනඥයින් හා ඔවුන්ගේ ස්වාමි – බිරින්දෑවරුන් ද ඥාතීන් ද සැලකිය යුතු ගණනකින් සිටින බව පෙනේ. 

1.මේ වන විට ප්‍රසිද්ධ ම කොරෝනා රෝගියා බවට පත් ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමාරයා ය. ඔහු මේ බව තහවුරු කරගෙන තිබෙන්නේ මාර්තු මස 25 වන දින ය. 71 වන වියේ පසු වන ඔහුට සුළු රෝග ලක්ෂණ කිහිපයක් තිබුණ ද, සමස්තයක් වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන බව පෙනේ. අද වන විට චාල්ස් කුමරුන් ස්කොට්ලන්තයේ රාජකීය නිවසක හුදෙකලා ව පසු වන අතර ඔහුගේ බිරිඳ වන කැමිලා කුමරියට රෝගය වැළඳී නොමැති බව තහවුරු කරගෙන ඇත.

2.ස්පාඤ්ඤයේ උප අගමැතිවරිය වන මාරියා ඩි කාර්මෙන් කැල්වෝ පොයාටෝ හට ද කොරෝනා රෝගය වැළඳී ඇති බව සඳහන් වේ. 62 වන වියේ පසු වන ඇය මේ වන විට නිවසේ සිට රාජකාරියේ නිරත වන බව පෙනේ.

3.එක්සත් රාජධානියේ සෙනට් සභාව තුළින් වාර්තා වූ ප්‍රථම කොරෝනා රෝගියා වූයේ රෑන්ඩ් පෝල් ය. වයස 57ක් වන ඔහු කෙන්ටකි ප්‍රදේශයේ ප්‍රධානියා වේ.

4.මොනාකෝ රාජ්‍යයේ දෙ වන ඇල්බට් කුමරු ද රෝගී වී තිබේ. 62 වන වියේ පසු වන ඔහු මෙම පරීක්ෂණයට මුහුණ දී තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ය. කෙසේ වුවත් පරීක්ෂණ ප්‍රතිඵලය හැරුණු කොට ඔහුට රෝගය වැළඳී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර මේ වන විට කුමරු රජ මාලිගාවේ ම පෞද්ගලික කාමරයකට වී සිය නිළ රාජකාරියේ අඛණ්ඩ ව නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

5.පසුගිය මාර්තු 18වන දින සිය ට්විටර් ගිණුමේ අදහස් දැක් වූ බ්‍රසීලයේ ඔගස්ටෝ හෙලේනෝ, තමා කොරෝනා රෝගියෙකු බව සහතික කළේ ය. එරට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයවරයා වන ඔහුට ද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව කියවේ. විශ්‍රාමික හමුදා නිළධාරීවරයෙකු වන ඔගස්ටෝ, එරට ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු ද වෙයි. මේ වන විට සිය නිවසේ හුදෙකලා වෙමින් දෙවන පරීක්ෂාවක් වෙනුවෙන් කල්යල් බලමින් සිටින ඔහු 72 වන වියේ පසු වෙයි.

6.බ්‍රසීල පාර්ලිමේන්තුවේ දෙ වන රෝගියා වන්නේ පතල් සහ බලශක්ති ඇමතිවරයා වන බෙන්තෝ ඇල්බකර්කි ය. 61 වියැති ඔහු ද මෙ වන විට නිවසේ සිට නිරෝධායනය වෙමින් සිටියි.

7.ජර්මනියේ ඊශ්‍රායල තානාපතිවරයා වන ජෙරමි ඉසාකරොෆ් ද රෝගී වී ඇති බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. ඒ මාර්තු 17වන දා ය. ඔහුට මෙම රෝගය වැළඳී ඇත්තේ ජර්මනියේ නියෝජිතවරයෙකු සමඟ නිළ සාකච්ඡාවකට සහභාගී වීමෙන් අනතුරුව ය. එහෙත් එම නියෝජිතයා කවුරුන්ද යන්න හෙළි වී නැත.

8. ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෆ්‍රීඩ්රිච් මර්ස් ද රෝගියෙකි. ඔහු ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකයෙකු වන අතර එම සංගමයේ කොන්ග්‍රසයක් පිහිටු වීම සඳහා මේ දින වල වෙහස වෙමින් සිටියි. එසේ ජනතාව සමඟ සම්බන්ධ වන අතර ඔහුට රෝගය වැළඳෙන්නට ඇති බව සැක කෙරෙයි.

9.මැසොවුමාහ් එබ්ටේකර්, එනම් ඉරානයේ උප ජනාධිපතිවරියට කොරෝනා රෝගය වැළඳී ඇති බව සැළ වේ. නොදැනුවත්කමින් ඇය හරහා එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා ද රෝගී වී ඇත. 

10.නයිජීරියානු ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වන අබා ක්යාරි යනු තවත් රෝගියෙකි. වයස 71ක් වන ඔහු මේ බව දැනගෙන තිබෙන්නේ මාර්තු මස 24 වන දින ය. ඔහු නොමැති වීමෙන් ජනාධිපති මුහම්මදු බුහාරි ඇතුළු එම මන්දිරයේ සියලුදෙනා බොහෝ ගැටලුවලට මුහුණ දෙමින් සිටිති.

යුරෝපියානු සංගමයේ ප්‍රධානියා වන මයිකල් බාර්නියර් පසුගිය දිනක සිය ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ ප්‍රකාශයක් කරමින්, තමා කොරෝනා රෝගියෙකු බව තහවුරු කර තිබේ. මේ හැරුණු විට ජපානයේ පාපන්දු සංගමයේ ප්‍රධානියා වන කොසෝ තෂිමා, එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිනි නදින් ඩොරිස්, ඕස්⁣ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමති වන පීටර් ඩට්න්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩේව් හා ඔහුගේ බිරිඳ, ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සන්චේස් හා ඔහුගේ බිරිඳ, ස්පාඤ්ඤයේ කැටලොනියාහි නායක කිම් ටොරා, එහි උප ප්‍රධානී පේරේ ඇරගොන්ස්, ස්පාඤ්ඤ ඇමතිවරියක වන ඉරේන් මොන්ටෙරෝ, ප්‍රංශ ඇමති ෆ්‍රෑන්ක් රිස්ටර් ඇතුළු ලොව පුරා වෙසෙන තවත් දේශපාලනඥයින් විසි පස් දෙනෙකු පමණ කොරෝනා රෝගීන්  බවට පත් වී තිබේ. එසේ ම ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරිය, එම රෝගය හේතුවෙන් මිය ගිය ලොව ප්‍රථම රාජකීයයා ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author