Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා ඖෂධයෙන් ලොව ජය ගනිමු! ජනපතිට, සෞඛ්‍ය ඇමතිට පුරවැසි ලිපියක් – නීතිඥ සංජීව සෙනෙවිරත්න

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි දෙපලට පුරවැසි ලිපියක්!!

මා, ඔබ දෙපලට පහත යෝජනා දහය ගෞරවයෙන් යුතුව යොමුකරන්නේ රටේ ජනාධිපතිවරයා ලෙස හා සෞඛ්‍ය ඇමතිනිය ලෙස මෙම යෝජනා ඉදිරිපත් කළ යුතුම හා සුදුසුම දෙදෙනා ඔබ නිසාය.

කොරෝනා මර්ධනය සදහා රජය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින අවස්ථාවක මෙම ව්‍යසනයෙන් වහා ගැලවීමටත්,රටේ ජන ජීවිතය යථාවත් කිරීමටත්, රටේ පවත්නා විදේශ විනිමය හිඟය පියවාගෙන රටට අමතර හා සුවිශාල ආදායමක් උපයා ගැනීමටත් ලක් රජය කඩිනමින් ගත යුතු සරල ක්‍රියාමාර්ග කිහිපයක් පහත යෝජනා දහයේ ඇතුලත් කොට රටේත්, සමස්ථ ජනතාවගේත්, ලෝක වාසී ජනතාවගේත් සුව සෙත පිණිස ඔබගේ අවධානයට යොමු කරන්නේ මේ සම්බන්ධව ක්‍රියාත්මක විය හැකි බලධාරීන් ඔබම වන නිසාය.

කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වීමත් සමග රටේ විවිධ ප්‍රදේශ වලින් විවිධ මට්ටමේ අයවලුන් විවිධ ඖෂධ වර්ග හා වෙනත් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන තිබූ බවත්, මෑතකදී වඩාත් කථා බහට ලක් වූ, සෞඛ්‍ය අමාත්‍යතුමිය ජනමාධ්‍ය සමග ගොස් රටටම ප්‍රසිද්ධ කරවා පානය කොට පෙන්වූ කෑගල්ලේ කොරෝනා පැණිය ද එවන් එක් ප්‍රතිකාරයක් බවත් සිහිපත් කරවමි.

ඉහත ප්‍රතිකාර ක්‍රම සොයාගත් කිහිපදෙනකුගේ ඡායාරූප අඩංගු සමාජ මාධ්‍ය පෝස්ටුවක් ඔබගේ පහසුව පිණිස මේ සමග පළකරමි.

එමෙන්ම සමහර වෙදමහතුන් රටටම නොමිලයේ බෙහෙත් සැපයීමට පවා ඉදිරිපත්ව ඇති අවස්ථාවක රටේ ජාතික ධනය වැයකරමින් PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරමින් කාලය කා දැමීම වෙනුවට ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක් සමාධියෙන් මැවූ කොරෝනා පැණිය හෝ, කොරෝනා වැළදීම වලක්වන, මේ වන විට පිටරටකට විකුණා ඇතැ’යි කියන කුඩා ගැජට්ටුව හෝ, කොරෝනා ව හෙම්බිරිස්සාවක් තරම් සරළව ගෙන වෙදකම් කරන බව කියන මහතාගේ ප්‍රතිකාරකය හෝ, රටම සුව කරන හෙළ ඔසුව ලෙස නම් කළ ඖෂධය හෝ, ආණ්ඩුවේ අමාත්‍ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කළ සුදර්ශන පැණිය හෝ, කුවේණියගේ හෙළයන් සතු මහානර්ඝ බෙහෙත හෝ නොපමාව ප්‍රයෝජනයට ගෙන මෙම ව්‍යසනය අවසන් කළ හැකිය. එසේත් නැත්නම් ඉහත චායාරූපයේ දැක්වෙන තමන් නිසා කොරෝනා පළමු රැල්ලේ බලපෑම අප රටට අවම වූ බව කියන මහත්මිය හෝ සෞඛ්‍ය අමාත්‍යතුමිය විශ්වාසයෙන් යුතුව ගඟට විසිකළ ඒලියන්ත වයිට් ගේ කුණ්ඩලිනි ශක්තිය යොදා හෝ මෙම වසංගතය අවසන් කළ හැකිය.

මෙය රටටත් ජනතාවටත් ප්‍රයෝජනවත් ලෙස සිදු කරගැනීමට පහත යෝජනා දහය ඉදිරිපත් කරමි.

  1. ඉහත චායාරූප වල සිටින සියළුදෙනා සමග කෑගල්ලේ වෙද මහතා හා ඒලියන්ත වයිට් මහතා කොළඹට කැඳවා ඉස්තරම් හෝටලයක නවත්වන්න. ප්‍රවාහන පහසුකම් හා අවශ්‍ය අනෙක් පහසුකම් නොඅඩුව සලසා අපගේ වැඩ පිළිවෙළ පහදන්න.
  2. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයෙකු හා සියලු ජනමාධ්‍ය ( දේශීය/විදේශීය ) කැඳවා අපගේ කොරෝනා ඖෂධය පිළිබඳව දැනුවත් කරන්න.
  3. ඉහත ඖෂධ නිපදවූවන් හා වෙනත් බලවේග වල සහාය සහිත ඒලියන්ත වයිට් යන අයට වෙන් වෙන් වශයෙන් වැලිකඩ, මහර, මීගමුව, අනුරාධපුර ආදී ලෙස සියලු බන්ධනාගාරත්, IDH, මහරගම ආදී කොරෝනා රෝගීන් බහුල රෝහලුත්, කන්දකාඩු ආදී නිරෝධායන මධ්‍යස්ථානත් බෙදා දෙන්න.
  4. ජනමාධ්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයන් ඉදිරියේ කෑගල්ල වෙද මහතාගේ ජීවිත කාලයටම යළි කොරෝනා නොසෑදෙන පැණියේ සිට සියලු ඖෂධ මෙන්ම ඒලියන්ත වයිට් ගේ කුණ්ඩලිනි ශක්තිය යොදා ආදී ලෙස කොරෝනා මර්ධනය කර පෙන්වන ලෙස රටේ ජාතියේ නාමයෙන් ඉල්ලා සිටින්න.
  5. දින තුනක් හෝ හතරක් (වෙදැදුරාණන් ඉල්ලා සිටින තරම් කාලයක්) රෝගීන් අධීක්ෂණයේ තබා අනතුරුව PCR පරීක්ෂණයක් කරන්න.
  6. එම පරීක්ෂණ ප්‍රතිඵල ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කරවා වඩාත් සාර්ථක බෙහෙත හෝ බෙහෙත් මොනවාදැයි ප්‍රසිද්ධ කරන්න. මේ සියලු කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයන් ඉදිරියේ හා දෙස් විදෙස් ජනමාධ්‍ය ඉදිරියේ සිදුකිරීම මගින් අපට නැවත වතාවක් දෙස් විදෙස් ඇස් මවිත කරවීමටද අවස්ථාව උදා වනු ඇත.
  7. අපගේ පරීක්ෂණයෙන් සමත් ඖෂධ විශාල තොග නිෂ්පාදනයට අවශ්‍ය මිළ මුදල් හා සියලු පහසුකම් මෙන්ම අවශ්‍ය අයට හමුදා අනු ඛණ්ඩ පවා ලබා දී කඩිනමින් ඖෂධ නිපදවන්න. ඖෂධ නිපදවීමේ පටිපාටිය කිසිඳු මාධ්‍යයකට විවෘත නොකළ යුතු අතර එසේ නොකළහොත් අපගේ ඖෂධ වට්ටෝරු විදේශිකයන් සොරා ගනු ඇත.
  8. ඉන් අනතුරුව වහාම රට විවෘත කරන්න. ගුවන් තොටුපල, වරාය මෙන්ම පාසල්, විශ්ව විද්‍යාල, කර්මාන්ත ශාලා, අමාත්‍යාංශ, මාළු වෙළෙඳපොළ ආදී සියළු කටයුතු නැවත සාමාන්‍ය පරිදි කළ හැකි වන අතර ඔබගේ කැබිනට් රැස්වීම පවා නැවත තේ කෝපි පානය කරමින් සතුටින් පැවැත්වීමට හැකි වනු ඇත.
  9. අපගේ ඖෂධ මුළු ලෝකය පුරා විකිණීම ආරම්භ කරන්න. අපගේ පැණි බෝතලයක් රුපියල් විසිදහසකට පිටරටුන්ට අලෙවි කළද, එක බෝතලයකින් බොහෝ මේස හැඳි ප්‍රමාණයක් බෙදිය හැකි නිසා ඔවුනගේ එන්නත් වලට වඩා ලාභදායක මෙන්ම එන්නන් කිරීමේදී වන වේදනාව ද නොමැති නිසා වඩා ලාභදායි මෙන්ම පහසු ප්‍රතිකාර ක්‍රමය බවට මෙය පත්වනු නිසැකය.
  10. ණය බර නැති ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ඇති සුදුසුම ආයෝජනය බවට මෙය පත් කරගන්න.

මෙම සරල හා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම තුළින් රට විවෘත කොට, පාසල් අධ්‍යාපනය අරඹා, ගොවි, ව්‍යාපාරික හා වෘත්තික සියලු ජනයාට පිහිට වන ලෙසත් ඊට අමතරව ඩොලර්, යූරෝ, රූබල්, යෙන් ආදී විදේශ විනිමය ප්‍රකෝටි ගණනින් ඉපැයීමටත් පමා නොවන ලෙස කාරුණිකව ආයාචනා කොට සිටිමි. තවද, පළමු කොරෝනා රැල්ලේදී ලැබූ දෙවන ස්ථානය වෙනුවට ලෝකයේම අංක එක බවට පත්වීමේ ගෞරවය ද ඔබගේ රජයට ලැබෙනු ඇත.

රටේ ජනාධිපතිවරයා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසත් මෙම ව්‍යසනය තුළ ඔබ වෙත ආ චෝදනා අවසන් වනු ඇත. තවද, සෞඛ්‍ය අමාත්‍යතුමිය ට නැවත චීනන් ඉඹීමට හා මුට්ටි විසිකිරීමට හෝ පැණි බිබී ඇවිදීමට අවශ්‍ය නොවීම ම ඇයටද මහත් සහනයක් වනු ඇත.

එසේ නැතහොත් විදේශීය එන්නත්, PCR කට්ටල, ඇන්ටිජන් කට්ටල (ඒව ගෙන්නල අහගන්න උන කතන්දර) ගෙන්වීමට රටේ මුදල් වැය නොවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමුකොට දින තුන හතරක සරල ක්‍රියාමාර්ග ගෙන රටත්, ජාතියත් ලොවේ ඉහළටම ඔසවා තැබීමට භාග්‍යය හා හැකියාව ලැබේවා.

ප. ලි.
කෑගල්ලෙ පැණිය සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රසිද්ධියේ බිව්ව හින්ද ඒක හොදයි කියල මිනිස්සු විශ්වාස කරනව. නමුත් විශ්වාස නොකරන අයටත්, රෝහල්වල දැන් ඉන්න රෝගීන්ටත් මේක දෙන්න ඔය පරීක්ෂණ කරන්න.

© නීතිඥ සංජීව සෙනෙවිරත්න

About The Author