2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා එන්නත සාර්ථකයි ද?

පසුගිය වසරේ අග භාගයේ සිට ලොව ම බිලි ගැන්මට පටන් ගත් කොවිඩ් 19 වසංගතය මේ වන විට සිතා ගත නොහැකි තරමට ව්‍යාප්ත වී තිබේ. ගෝලීය වසංගතයක් වශයෙන් නම් කොට ඇති මෙම අනතුරෙන් තවමත් බේරී සිටින්නේ ඉතා සුළු රටවල් ගණනක් පමණි. අද වන විට මුළු මරණ ගණන 814,135කි. ආසාදිතයින් 23,811,687කි. කොවිඩ් 19 පළමු රැල්ල අවසන් ව, මේ ගෙවී යන්නේ දෙ වන රැල්ලේ වකවානුව යි. එහෙත් මෙහි අවසානයක් ඇති බවක් පෙනෙන තෙක්මානයකවත් නොමැති ය. 

වෛරසය ශරීරගත නොවීම පිණිස නොයෙකුත් උපක්‍රම ඇතත්, ආසාදිතයෙකුට මෙන් ම නීරෝගී පුද්ගලයෙකුට ද මෙයින් බේරීමට ඇති සාර්ථක ම ක්‍රමය වන්නේ එන්නතක් ලබා ගැනීම යි. මේ වන විට ලොව පුරා පර්යේෂණාගාර අතිවිශාල ගණනක් කොවිඩ් 19 වසංගතය දුරලීම සඳහා එන්නතක් සොයා ගැනීමේ දැඩි වෑයමක නිරත වී සිටිති.

1.බාර්ඩා විශ්ව විද්‍යාලය  – පර්යේෂණ මට්ටම 3 වන අවධිය.

2. වූහාන්හි බීජිං විශ්ව විද්‍යාලය – 3 අවධිය

3. ඉන්දියානු විශ්ව විද්‍යාලය – 3 වන අවධිය

4. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය – 2 හා 3 අවධිය.

5. කොරියාව – 1 හා 2 අවධිය

6. ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලය – 1 අවධිය

7. කැනඩාව – 1 අවධිය.

මේ හැර තවත් බොහෝ පර්යේෂණාගාර හා විශ්ව විද්‍යාලවල දී සිදු කරමින් යන මෙම පර්යේෂණවල වඩාත් සාර්ථක මට්ටමට ළඟා වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ රුසියානු විශ්ව විද්‍යාලයේ දී සිදු කෙරෙමින් යන පර්යේෂණ යි. එයිනුත් රුසියානු එන්නත අතිසාර්ථක බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. රෝගය ආරම්භ වු දිනයේ සිට අද දක්වා ම එන්නත් විස්සකට වැඩි ප්‍රමාණයක් අත්හදා බලමින් සිටින අතර ඔක්ස්ෆර්ඩ් හා රුසියානු පර්යේෂකයින් එයින් එන්නත් දෙකක් සාර්ථක මට්ටම දක්වා ගෙනැවිත් ඇති බව පෙනේ. විශේෂයෙන් රුසියාවේ ජනාධිපතිවරයා වන ව්ලැඩ්මීර් පුටින් මහතා සිය රටෙහි ශිෂ්‍යයන් විසින් සොයා ගන්නා ලද එන්නත පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු කිරීමට සිය සම්පූර්ණ සහාය ලබා දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ය. එසේ ම වඩාත් සාර්ථක වී ඇති මෙම එන්නත වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරිමට මෙන් ම ලොව පුරා බෙදා හැරීමටත් ඔහුගේ පෞද්ගලික ධනය වුව ද වියදම් කිරීමට සූදානම් ව සිටින බවත් ප්‍රකාශ කර තිබේ. මෙම කරුණු හේතුවෙන් රුසියානු එන්නත ලොව පුරා හැකි ඉක්මනින් බෙදා හැරීමට හැකි වනු ඇති බවට අනාවැකි පළ කළ හැකි ය. කෙසේ වෙතත් එය ඔවුන් පවසන අන්දමින් ම සාර්ථක ද යන්න සොයා ගැනීමට සිදු වන්නේ ස්වෙච්ඡාවෙන් වෛරසය එන්නත් කර ගැනීමට කැමැති වන පුද්ගලයින් අදාළ වෛරසයට නිරාවරණය වීමෙන් පසුව වුව ද අසනීප නොවී සිටියහොත් පමණි. 

මිනිස් දේහ තුළ එන්නත් විස්සක් පමණ අත්හදා බැලව ද, වෙනත් පර්යේෂණ ක්‍රම ඇසුරින් තවත් එන්නත් 140ක් පමණ පිළිබඳ පර්යේෂණ කරමින් පවතින බව පෙනේ. තව ද ඉන්දියාව පවසන්නේ ඔවුන් මේ වන විට එන්නත නිපදවීමේ අවසන් අදියරේ සිටින බව ය. එහෙයින් මෙම වසර අවසාන වීමට ප්‍රථම නියත වශයෙන් ම සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවට එරට සෞඛ්‍ය සහ පවුල් සුභසාධන අමාත්‍ය, හර්ෂ් වර්ධන් මහතා පෙන්වා දෙයි. මෙම එනේනත පිළිබඳ ද ශ්‍රී ලංකා රජය විශාල වශයෙන් බලාපොරොත්තු තබාගෙන සිටියි.

මෙතුවක් කල් කිසිදු එන්නතක් නිවැරැදි ව සූදානම් කර ගැනීමට අපහසු වූයේ කොවිඩ් 19 වෛරසයේ ස්වභාවය හේතුවෙනි. එය සබන් යොදා දෑත් සේදීම, විෂබීජයට නිරාවරණය නොවන සේ මුඛ ආවරණ පැලඳී⁣ම වැනි අතිශය සුළු ක්‍රමවේදයක් ඔස්සේ යමින් පාලනය කර ගත හැකි වෛරසයක් වුව ද, එන්නතක් සොයා ගැනීමට මෙතරම් කල් ගත වන්නේ මන්ද යන්න පිළිබඳ ජනතාවට ඇත්තේ ගැටලු සහගත බවකි. ඊට හේතුව නම් මෙම වෛරසයේ ඇතුළාන්ත හැසිරීම වරින් වර වෙනස් වීම යි. එක් එන්නතක් නිවැරදි ව අත්හදා බැලීමෙන් පසු, එය සාර්ථක යැයි සිතා එන්නත් කරමින් ගිය ද, තවත් පුද්ගලයෙකුට එය ඵලක් නොවිය හැකිය. අදාළ පුද්ගලයාගේ ශරීර ස්වභාවය හා විශේෂයෙන් ඔහු වෛරසයට නිරාවරණය වී කොපමණ කල් ගත වී ඇද්ද යන සාධක මත වෛරසයේ අභ්‍යන්තරය වෙනස් වේ. වෛරසය එය විසින් ම එන්නතට එරෙහි ව යාමේ කිසියම් ප්‍රතිරෝධයක් සාදා ගන්නේදැයි සිතේ. එ් අනුව, අද දින එන්නත ශරීරගත කළ පුද්ගලයාට අනුව වෛරසය හැඩ ගැසෙන අතර, හෙට දින ශරීරගත කරන එන්නත වෛරසයට විරුද්ධ ව ක්‍රියා නොකරයි. මෙම ⁣වෛරසයේ විවිධ මාදිලි ද පවතින අතර, ඒ එක් එක් මාදිලියට අනුව වෙන වෙන ම එන්නත් අත්හදා බැලීමට අවශ්‍ය ය. එහෙත් විශේෂයෙන් රුසියානුවන් උත්සාහ ගන්නේ සියලු මාදිලිවලට සරිලන එක් එන්නතක් සකසා ගැනීමට ය. සාමාන්‍ය ඉන්ෆ්ලුඑන්සා වෛරසය සඳහා භාවිත කෙරෙන එන්නත කොවිඩ් 19 සඳහා යොදා ගත නොහැකි ය. එම දෙවර්ගයේ රෝග ලක්ෂණ කෙතරම් සමාන වුව ද, වෛරසයේ අභ්‍යන්තර ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වේ. 

මෙහි අතුරු ආබාධ පැවැතීම තවත් එක් ගැටලුවකි. සෑම ප්‍රතිකාරයකට ම අතුරු ආබාධ පැවතීම ස්වභාවය යි. කොවිඩ් 19 වසංගතය මැඬ පැවැත්වීමේ එන්නතට අදාළ අතුරු ආබාධ නම් ඉතා සුළු කොට තැකිය හැකි ඒවා වෙයි. කැරකිල්ල, වමනය, එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම ආදිය එතරම් ගණනකට ගැනීමට හේතුවක් නොමැත. කෙසේ වෙතත් මේ වන විට පළ වන අදහස්වලට අනුව කිසියම් එන්නතක් නිපදවා වෛරසයේ බලය අඩු කළ ද, එය වැළඳුණු පුද්ගලයින් හට අනාගතයේ දී ආයුෂ අඩු වීම, හෘද රෝග ඇති වීම, පිළිකා ඇති වීම ආදී අවදානම් සහගත තත්ත්ව ද තිබෙන බව පෙනී යයි. එසේ ම අවයව බද්ධ කිරීමකට ලක් වූ පුද්ගලයෙකුට මෙම එනනත් ලබා දීමේ දී අතිශයින් සැලකිලිමත් විය යුතු වේ. 

එන්නත් තොගයක් නිපද වුව ද එහි පළමු තොගය ලබා දීමේ දී මූලිකත්වය දෙනුයේ කවරෙකු හට ද යන්න පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතී. ඇමරිකාවේ වේවා, ඉන්දියාවේ වේවා පළමු තොගය නියත වශයෙන් ම කොවිඩ් 19 ආසාදිතයින් සමඟ ඍජුව ම කටයුතු කරමින් සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිළධාරීන් හට ලබා දිය යුතු බවට බොහෝ රටවල් එකඟ වී තිබේ. කෙසේ වෙතත්, කුමන ආකාරයේ සාර්ථක ප්‍රතිඵල ලබා දුන්න ද දෙතුන් වරක් නොව, විසි තිස් වරක් හෝ අත්හදා බැලීමකින් තොර ව කිසිදු එන්නතක් සමාජගත කිරීමට කිසිදු රටක් උත්සහ නොකරනු ඇති බවට නොඅනුමාන ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.