Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාවේ නව ප්‍රභේද.

මේ වන විට කොවිඩ් 19 වෛරසය හඳුනාගෙන වසරක් පමණ ගත වී තිබේ. එහෙයින් අද වන විට මෙම රෝගයේ නොයෙකුත් විකෘති සහවෙනස්වීම් අලුතින් ඇති වී තිබෙන බව පෙනේ. මෙහි පුදුම වීමට කිසිවක් නැත. මන්දයත් ඕනෑ ම වෛරසයක් කලක් ගත වන විට පළමු තත්ත්වයට වඩා වෙනස් වන බැවිනි. ලොව පුරා රෝගය පැතිර යාම තවමත් වැළැක්විය නොහැකි වී තිබෙන්නේ ද මෙම නව විකෘතිතාවල ස්වභාවය අලුතින් හඳුනා ගනිමින්, ප්‍රතිකාර ද අලුතින් ම සකස් කළ යුතු ව තිබෙන බැවිනි.

මෙයිනුත් ඇතැම් ප්‍රභේද එතරම් ගැටලුකාරී නොවේ. ඒවායින් කෙරෙන්නේ රෝගය පැතිරවීම පමණි. එනමුත් සැලකිය යුතු ප්‍රමාණයේ ප්‍රභේද ගණනක් තත්ත්වය වඩාත් දරුණු අතට හරවමින් සිටියි. නිදසුනක් ලෙස එක්සත් රාජධානියෙන් හා දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද නව විකෘතිතා දෙක දැක්විය හැකි ය. ඒවා ප්‍රතිකාර සොයා ගත නොහැකි තරම් බලවත් නොවන බව සැබෑවකි. එහෙත් ගැටලුව වී ඇත්තේ ඒවා පෙර වෛරසයට වඩා අතිවිශාල වේගයකින් වර්ධනය වීම යි.

රෝග වැළැක්වීම හා පාලනය කිරීම

පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය (European Centre for Disease Prevention and Control) ප්‍රකාශ කරන පරිදි මහලු වියට පත් වූ පුද්ගලයින් හා වෙනත් රෝගවලින් පෙළෙන රෝගීන් මෙම නව කොවිඩ් 19 ප්‍රභේදයට හසු වුවහොත් නියත වශයෙන් ම මිය යනු ඇත. ඔවුනට බේරීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩක් පමණි. අද වන විට එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදවල ස්පයික් ප්‍රෝටීනවලින් විකෘති වූ ජානමය වෙනස්කම් පවතියි. ඒවා විශාල මට්ටමින් ආසාදනය වන්නේ එම ප්‍රෝටීනය නිසාවෙනි. 

මේ වන විට පෙර තිබූ තත්ත්වය අනුව සකසා ගත් එන්නත් බෙදා හරිමින් පවතී. එබැවින් විද්‍යාඥයන් උත්සාහ කරන්නේ නව විකෘතිතා එම එන්නත්වලට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? යන්න සොයා බැලීමට ය. කෙසේ වුවත් දැනට බෙදා හරිමින් යන එන්නත විසින් නව විකෘතිතාව ද අවම වශයෙන් මාස කිහිපයකටවත් පාලනය කරනු ඇති බවට විශ්වාස කෙරේ. වෛරස විශේෂඥවරුන් සඳහන් කරන්නේ හදිසියේවත් එම විකෘතිය අපගේ පාලනයෙන් ගිලිහුණහොත්, දැනට සකස් කොට ගෙන ඇති එන්නත වැඩි දියුණු කිරීමෙන් එම තත්ත්වය පාලනය කිරීමට හැකි වනු ඇති බව යි. 

සාමාන්‍යයෙන් ආසාදිතයෙකුගේ නාසයෙන් හා උගුරෙන් ලබා ගත් සාම්පල මඟින් වෛරසයේ ජාන හඳුගැනීමට හැකියාවක් ඇත. එසේ ම අදාළ පරීක්ෂණය තව දුරටත් ඉදිරියට කරගෙන යාමෙන් ජාන විකෘතියේ ස්වභාවය පෙර ස්වභාවයත් සමඟ සංසන්දනය කිරීමට ද හැකියාව ලැබේ. විශේෂඥයින් එක්සත් රාජධානියේ විකෘති වෛරසය ඉතා ඉක්මනින් හඳුනාගෙන තිබෙන්නේ එසේ ය. මේ වන විට එරට පමණක් නොව යුක්‍රේනයෙන් ද නව වෛරස ප්‍රභේද පහක් හඳුනාගෙන ඇති බවට ආරංචි පළ වේ. එහි දී ද සිදු කර තිබෙන්නේ වෛරසයේ ජාන වගා කොට, විකෘතිතා සංසන්දනය කිරීම යි. 

කෙසේ වුවත් මෙලෙස හඳුනා ගන්නා ලද නව විකෘති ජාන සාමාන්‍ය පී.සී.ආර්. පරීක්ෂණවලට හසු නොවනු ඇති බවට ද ඇතැම් පර්යේෂකයෝ සැක පළ කරති. එසේ වුවහොත් වෛරසය අප නොදැනුවත්ව ම බොහෝ දෙනෙකුට පැතිරී යාමේ අවදානම පවතී. කුමක් සිදු වුවත් ජනතාව බේරා ගැනීමට හැකි එක ම ක්‍රමය වන්නේ කෙටි කාලීන අගුලු දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීම පමණක් වන බව එම විද්‍යාඥයෝ ප්‍රකාශ කර සිටිති.

එනමුත් දිගු කාලීන ගැටලු පිළිබඳ කල්පනා කිරීමේ දී නියත වශයෙන් ම සියලු රටවලට අනාගතයේ දී අමුතු උණ රෝගයකට මුහුණ දීමට සිදු වනු ඇති බව පර්යේෂකයින්ගේ අදහස යි. දැනට ලබා දෙමින් සිටින එන්නත් මඳින් මඳ වෙනස් කරමින් දීර්ඝ කාලයක් පුරා උණ සඳහා වන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට සියලු දෙනාට ම සිදු වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවා සිටිති. එහෙයින් වැඩි වැඩියෙන් විකෘතිතා ඇති වන තරමට එන්නත් ද වැඩි වැඩියෙන් නිපදවීමට සිදු වනු ඇත. ජනතාවට ද අදාළ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා එක් එන්නතක් පමණක් ලබා ගනිමින් සිත සනසා ගැනීමට හැකි නොවනු ඇත. 

වෛරසයේ පැතිරීමට මිනිසුන්ගේ නොසැලකිලිමත්කම ද ඉවහල් වන බව නොකිව මනා ය. කෙසේ වුවත් මෙම නව විකෘතිතාවලට පවා මුඛ ආවරණ හා සමාජ දුරස්ථභාවය අභිබවා ගොස් යමෙකු තුළට ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව දැන ගැනීම සතුටට හේතුවක් වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.