Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාවෙන් සුවය ලැබූ දැවැන්ත චරිත

කොවිඩ් 19 වසංගතය මෙලොවින් තුරන් වන ලකුණු පෙනෙන මානයකවත් නැත. මේ වන විට ලක්ෂ තිහකට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් බවට පත් ව තිබෙන අතර ලක්ෂ දෙකකට වැඩි ජීවිත ගණනක් ලොවට අහිමි ව තිබේ. ඒ, මහල්ලන් ද? බාලයන් ද? යන්න අදාළ නැත. සියල්ල ජීවිත ය. එකිනෙකාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අඩු වැඩි ප්‍රමාණය හා ප්‍රතිකාර ලබා ගැනීමේ වේගය අනුව සියල්ල තීරණය වේ.

කොවිඩ් ආසාදිතයන් අතර වැඩි අවධානයක් යොමු ව තිබෙන්නේ එක් එක් රටවල රාජ්‍ය නිළධාරීන් කෙරෙහි ය. එයිනුත් පසුගිය දිනෙක සම්පූර්ණ සුවය ලබා නැවත සිය රාජකාරියට වාර්තා කිරීමට යෙදුණු බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් යනු වඩාත් කතාබහට ලක් වූ චරිතයකි. එයට හේතු කිහිපයක් වෙයි. ඔහු සංවර්ධිත රටක ප්‍රධානියෙකි; වයස පණහට වැඩි ය. එනම්, තරමක් අවදානම් ය. ඔහු බරපතල ලෙස රෝගී වූ අතර දැඩි සත්කාර ඒකකයට ද ඇතුළත් කරනු ලැබිණි. එබැවින් බොරිස් ජොන්සන්ගේ සුව වීම තරමක අරුමයක් බව කිව මනා ය. 

ඔහුගේ සුවය ලැබීම කෙරෙහි වඩාත් දායක වූයේ රෝහල් කාර්යය මණ්ඩලය යි. ඇතැම් රටවල රාජ්‍ය නිළධාරීන් මෙන් නොව බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා කිසිදු දෙගිඩියාවකින් තොරව ඇතුළත් වූයේ රජයේ රෝහලට යි. එනම්, ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට යි. අප්‍රේල් මස 5 වන දින රෝහල් ගත වූ ජොන්සන්, පසුදින ම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි. දින තුනක් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි ඔහුගේ පිහිටට සිටියවුන් අතරින් නවසීලන්ත ජාතික ජෙනී මැක්ගී සහ පෘතුගාලයේ සිට පැමිණි ලුයිස් පිටාමා යන හෙදියන් විශේෂ වේ. තමා දැඩි සත්කාර ඒකකයේ සිටි මුළු කාලය පුරා ම වරින් වර හෙදියන් දෙදෙනාම තමාගේ දෑත් අල්ලා ගනිමින් පැය ගණනාවක් ගත කළ බව ජොන්සන් මහතා පවසයි. පවුලේ කිසිදු හිතවකෙු නොමැති ව අනාථයෙකු මෙන් ගත කළ රෝගී දින කිහිපය තුළ දී එම හෙදියන් ලබා දුන් සහය තමාගේ ඉමහත් අස්වැසිල්ලට හේතු වූ බවත් එමගින් හාස්කමකට මෙන් තම ගතට ශක්තියක් ලැබී, රෝගය හා සටන් කිරීමට හැකියාවක් ලැබුණු බවත් ඔහු ඉතා කෘතවේදී ව සිහිපත් කරයි. 

මරණයෙන් ගැලවී නිවසට ගිය පසු ජොන්සන් තම ආචාරය පුද කරනු පිණිස වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් “එන්.එච්.එස්. ” (ජාතික සෞඛ්‍ය සේවය) කාර්යය මණ්ඩලයට හා විශේෂයෙන් ම ඔහු අසල සිටි හෙදියන් දෙදෙනාට ස්තූති කර තිබේ. එහි දී ඔහු තමාට වඩාත් සමීප වූ ජෙනී මැක්ගී හඳුන්වා දී ඇත්තේ “නිව්සීලන්ඩ් ජෙනී” යන සුරතල් නාමයෙනි.

තමා යටතේ ප්‍රතිකාර ලැබූයේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වන බැවින් අනිවාර්යයෙන් ම රෝහල් කාර්යය මණ්ඩලය ඔහු වෙත ගරු සැලකිලි දක්වන්නට ඇතැයි යන සිතිවිල්ලක් ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකි ය. එහෙත් මේ සියල්ල පිළිබඳ “නිව්සීලන්ඩ් ජෙනී”ගේ ආකල්පය නම් ඇදහීම වටී.

“බොරිස් ජොන්සන් කියන්නේ රටේ ඉහළ ම පුටුවක ඉන්න කෙනෙක් තමයි. හැබැයි රෝහලට ඇතුළත් වුණාට පස්සෙ එයා අපට තවත් එක රෝගියෙක් විතරයි. ජොන්සන් මහත්මයාට අපි විශේෂයෙන් ප්‍රතිකාර කළ බව ඇත්ත. හැබැයි ඒ, එයා හුඟක් අනතුරුදායක අවස්ථාවක හිටිය නිසා මිසක් තනතුර නිසා නම් නෙවෙයි.”

ඇයට අනුව රෝහල ජොන්සන් මහතා වෙනුවෙන් වෙනම කාමරයක්වත් වෙන්කොට දී නැත. එහෙත් විශේෂයක් නොකරයි නම් ඔවුන් ඔහුගේ අත් අල්ලාගෙන රැය පහන් කරයි ද? 

“ඔව්, අපි අයි.සී.යූ. එකේ ඉන්න හැම ලෙඩෙකුගේ ම අත් අල්ල ගන්නවා. මේ වගේ රෝගියෙක් ස්පර්ශ කිරීම බොහොම භයානක වුණත් අපි ඒ අවස්ථාව මඟ හරින්නේ නෑ. දැඩි සත්කාර ඒකකයට එන රෝගියෙක් එතනින් පිට වෙයි ද කියලා කාටවත් කියන්න බෑ. ඒක ඒ රෝගියාත් දන්නවා. ඒක ම ඇති එයාගේ හිත දුර්වල වෙන්න. විශේෂයෙන් ම කොරෝනා ආසාදිතයන් මිය යන්නේ පවුලේ කිසිම කෙනෙකුගේ මුහුණක්වත් නොදැක. ඒ නිසා අපි අපේ රාජකාරියේ කොටසක් විදිහට ඔවුන්ගේ අත් අල්ලාගෙන, ඔවුන්ට රෝගයත් එක්ක සටන් කරන්න උදව් කරනවා. එහෙම කරලත් එයාලා මැරෙන එක අපට බලාගෙන ඉන්න වෙලා. ඒක තමයි මගේ රැකියාවේ දුෂ්කර ම කාර්යය”.

මුළු රාත්‍රිය පුරාවට ම ඔවුහු රෝගීන් පිළිබඳ සොයා බලමින්, ඔවුන්ගේ ජීවිත රැක ගැනීමට උත්සාහ ගන්නා බවත්, ඒ සඳහා විශේෂ ප්‍රශංසාවක් තමා ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය බලාපොරොත්තු නොවන බවත් ජෙනී පවසන්නී ය. 

අගමැතිවරයා ප්‍රසිද්ධියේ ඇගේ නම පවසමින් ස්තූති කළ බව ජෙනීට දන්වා ඇත්තේ යහළුවෙකි. මුලින් ඇය එය විශ්වාස කොට නැත.

“මං හිතුවෙ යාළුවෝ මට විහිළු කරනවා කියලා. මං බැන්නත් එක්ක, ලෝකෙ මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී ඕගොල්ලො විහිළු කරනවද? කියලා. පස්සෙ තමා මං වීඩියෝ එක දැක්කෙ. ඒක දකින කල් මටවත් හිතුණෙ නෑ මං ඇත්තට ම වීරවරියක් කියලා. ජොන්සන් මහත්මයාට ස්තූතියි, මාව ඒ තරම් උසස් තැනක තිබ්බට.”

පසු ව නවසීලන්තයේ අගමැතිනිය වන “ජසින්ඩා ආඩෙන්” ද ඇයට පණිවුඩයක් එවමින් පෞද්ගලිකව ස්තූති කොට තිබේ. එය තමාගේ හදවතට සමීප ව දැනුණු බවත්, මෙම ව්‍යසනය හා සටන් කිරීමට තව තවත් ශක්තිය ලැබුණු බවත් ජෙනී පවසන්නී ය.

සුවය ලද බොරිස් ජොන්සන් මහතා රෝහලෙන් පිට වූයේ පසුගිය 12 වන දින ය. ඉන් පසු ඔහු හා දූරකථනයෙක් කතාබහ කළ ඇමරිකාවේ ජනාධිපතිවරයා වන “ඩොනල්ඩ් ට්‍රම්ප්” ද ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඌනපූරණයක් එක් කොට තිබේ. 

“ඔහුට හොඳට ම හොඳයි. මම පුදුම වුණා බොරිස්ගෙ කටහඬ අහලා. මෙච්චර අමාරු ලෙඩකින් ගොඩ ආවට පස්සෙ කෝල් එකක් දුන්නම මං හිතුවා එයා බොහොම දුර්වල කටහඬකින් කතා කරලා ‘හලෝ ට්‍රම්ප්, ඉතින් ඉතින් …’ වගේ මොකක්හරි අහයි කියලා. හැබැයි බොරිස් කතා කළේ හිතා ගන්න බැරි තරම් උද්යෝගයකින්. මට නිකං හිතුණෙ එයා ජීවිතේට අසනීප වෙලා හිටියෙ නැති කෙනෙක් කියලා.”

සුවය ලද බොරිස් සතු ව අතිවිශාල ජවයක් මෙන් ම ජීවයක් ද තිබුණු බව ට්‍රම්ප්ගේ අදහසයි. රාජකාරීමය වශයෙන් මෙන් ම හිතමිතුරෙකු වශයෙන් ද තමා හා සමීප ව ඇසුරු කරන බොරිස් ජොන්සන් මහතා, පැරැණි ක්‍රියාශීලිභාවයෙන් යුතු ව නැවත හමු වීම සතුටට කරුණක් බව ද ට්‍රම්ප් පැවසී ය.

චාල්ස් රාජකාරියේ…

මේ අතර එංගලන්තයේ ඔටුන්න හිමි කුමරු වන චාල්ස් කුමාරයා ද සුවය ලබා, නැවතත් සිය රාජකාරියේ යෙදෙමින් සිටින බවට ආරංචි පළ වේ. 

මාර්තු මස 26 වන දින කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වූ පසු, චාල්ස් කුමරුන් හුදෙකලා වූයේ ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය නිවසක ය. මේ වන විට සම්පූර්ණයෙන් සුව වී ඇති වයස අවුරුදු 71 වන ඔහු, එසේ සුවය ලැබූයේ කෙලෙසක ද යන්න පිළිබඳ විවිධ මත පළ වී තිබේ.

ඇතැම් ඉන්දියානු නිළධාරීන්ට අනුව චාල්ස් කුමරුන් ආයුර්වේදීය සහ හෝමියෝ පෙති ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඔහුට ප්‍රතිකාර කොට තිබෙන්නේ “බෙන්ගලූරු” ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන “අයිසැක් මාතායි” ය. අප්‍රේල් මස දෙවන දින ඉන්දියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දියාවේ “ආයුෂ්” (ආයුර්වේදීය, යෝගා, නැචුරෝපති, යුනානි, සිද්ධ හා හෝමියෝපති) ඇමතිවරයා වන “ශ්‍රීපද් නායික්” මහතා ය. ඔහු පවසන අන්දමට යට කී වෛද්‍යවරයාගෙන් ඔහුට දූරකථන ඇමතුමක් ලැබී ඇති අතර, තමා මේ වන විට චාල්ස් කුමරුන්ට ප්‍රතිකාර කරන බවත්, එම ප්‍රතිකාර සියල්ල සාර්ථක වී ඇති බවත් වෛද්‍යවරයා තහවුරු කර තිබේ.

කෙසේ වුවත් රාජකීය පවුල මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව පෙනේ. ඔටුන්න හිමි කුමරුන් සම්පූර්ණ කාලය පුරාවට අනුගමනය කළේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රතිකාර පමණක් බවත්, එයින් තොර ව කිසිදු ඖෂධයක් ඔහු ලබා නොගත් බවත් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පැහැදිලිව ම ප්‍රකාශ කොට ඇත. සත්‍යය දන්නේ චාල්ස් කුමරුන් ම පමණි.

About The Author