Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුරුලු වෙදැදුරෝ.

පෞරාණික ඇමරිකාව බොහෝ අමුතු විද්‍යාත්මක ක්‍රමවලින් පිරිපුන් රටක් විය. ඔවුන් රෝගීන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිගමනයන්ට එළඹීම සඳහා භාවිත කරන එක් ක්‍රමයක් වූයේ කුරුල්ලන් ය. ස්වදේශීය ඇමරිකානුවන්ට අනුව යමෙකු පහත දැක්වෙන කුරුල්ලන් හැබැහින් හෝ බොහෝ විට සිහිනයෙන් දුටුවහොත් වෛද්‍යවරුන් හට රෝගියා පිළිබඳ යම් යම් පූර්ව නිගමනයන්ට එළඹීමට පහසු වන අතර ඒ අනුව අදාළ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කෙරිණි. මෙය ඇතැම්විට දැනුදු දක්නට ලැබේ.

1.කාක්කා.

අප රටෙහි නම් කාක්කන් සෑම විටක ම, සෑම ස්ථානයක ම පාහේ බහුල වශයෙන් දක්නට ඇත. එහෙත් අප කාක්කෙකු සිහිනයෙන් දකින්නේ ඉතා අඩුවෙනි. ස්වදේශීය ඇමරිකානු විද්‍යාවට අනුව යමෙකු එම පක්ෂියෙකු දැක්කොත් එහි අදහස වන්නේ ඔහු තමා අවට සිදු වන වෙනස්වීමක් පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ය. ඒ අනුව අනතුරක් අත ළඟ ය. අයහපත් පාරිසරික වෙනස් වීමක් නිසා ඇතිවිය හැකි එය, බරපතල අසනීප තත්ත්වයක් හෝ මරණය දක්වා වුව ද දුරදිග ගිය හැකි ය. 

තත්ත්වය මෙසේ නම් වෛද්‍යවරු එවැනි රෝගියෙකු සඳහා ශක්තිජනක ආහාර වඩ වඩාත් නියම කරති. 

2.තාරාවා.

මෙම පක්ෂියා ජලය හා එක් වන අතර, එවැන්නකු දුටුවහොත් සිය ඇතුළාන්තයේ ඇති වන ගැඹුරු හැඟීම් සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරන ලෙස රෝගීන්ට උපදෙස් දෙනු ලැබේ. බැරි වීමකින් හෝ ඔබේ නිවසට තාරාවෙකු ඇතුළු වුවහොත් වහාම රෝගියාගේ රෝග මූලය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. 

එසේ ම රෝගියාගේ මනස, ඔහුට අතීතයේ විඳීමට සිදු වූ යම් යම් අත්දැකීම් හේතුවෙන් කඩා වැටී ඇති බව නිගමනය කරනු ලැබේ. එවිට ඔහුට නැවුම් සුන්දර අත්දැකීම් ලබා දෙමින් මනස සුවපත් කිරීමට ද උත්සාහ කෙරෙයි.

3.රාජාලියා.

අප දන්නා පරිදි මෙම පක්ෂියා හට අහස හා පොළොව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැඟීමේ නිසඟ හැකියාවක් ඇත. යමෙකුගේ හිසට ඉහළින් රාජාලියෙකු කැරකෙමින් සිටියහොත් එහි අදහස වන්නේ රෝගියා සුව වන ලකුණු පෙන්වන බවයි. ඒ අනුව රෝගියාගේ ආත්මය, ශරීරය සුව කිරීමේ පළමු පියවර තැබීමට තරම් ශක්තිමත් වී ඇති බව නිගමනය කරනු ලැබේ. 

එවිට වෛද්‍යවරුන් දෙගිඩියාවකින් තොර ව රෝගියා වෙනුවෙන් මෙතුවක් කරමින් තිබූ  යම් යම් ප්‍රතිකාර වෙනස් කිරීම, නැවැත්වීම හෝ අලුතින් ආරම්භ කිරීම සිදු කරනු ඇත. 

4.උකුස්සා.

මෙම පක්ෂියා වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඉවසීම ගැන ය. යම් පුද්ගලයෙකු උකුස්සකු සිහිනෙන් දුටුවහොත් එය කිසියම් අනතුරු ඇඟවීමක් බව නිගමනය කෙරෙයි. ඒ අනුව රාජාලියා දුටු විට මෙන් නිදහස් මනසකින් නොව, ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍යවරු දනිති. 

මෙවන් විටක වෛද්‍යවරුන් රෝගියා වෙනුවෙන් ගන්නා කවර පියවරකින් වුව ද නියත මරණය හිමි විය හැකි ය. එබැවින් නිවැරැදි ව සිතා බලා, රෝගියා වෙනුවෙන් වඩාත් ම යහපත් ප්‍රතිකර්මය සිදු කිරීමට උත්සාහ කරනු ඇත. 

5.සියක්කාරයා

සියක්කාරයා හෙවත් ෆ්ලෙමින්ගෝ පක්ෂියාගේ රෝස පැහැය, හදවත හා සම්බන්ධ වන බව පිළිගැනේ. එබැවින් මෙවැනි පක්ෂියෙකු දුටුවහොත් ඔබේ රෝගී තත්ත්වය හදවතට සම්බන්ධ කිසියම් අපහසුතාවක් නිසා සිදුවේ යැයි වෛද්‍යවරු නිගමනය කරති. එබැවින් හෘදයේ පූර්ණ පරීක්ෂාවක් කෙරෙනු ඇත.

තවත් ආකාරයකින් ගතහොත් සියක්කාරයෙකු දැකීම ඔබගේ හිත ලෙඩ වී ඇති බවට ඉඟියක් සපයයි. එවන් විටක සියලු පරීක්ෂණ හා ප්‍රතිකාර නවත්වා, රෝගියාගේ සිතට වධ දෙන කාරණය සොයා බැලීමට වෛද්‍යවරු උත්සාහ දරති. එම ගැටලුව විසඳා ලූ පසු බොහෝ දුරට රෝගියා සුවපත් වී සිටිනු හෝ බරපතල තත්ත්වයෙන් මිදී සිටිනු දක්නට ලැබේ. 

6.පිළිහුඩුවා.

මෙම පක්ෂියා මාළුන් හා ජලය ඇසුරේ බොහෝ ඥානවන්ත අන්දමින් ගොදුරු සොයා ගන්නා බව අපි දනිමු. එබැවින් යම් රෝගියෙකු පිළිහුඩුවෙකු දකින්නේ නම්, එහි අදහස ඔහු මීට වඩා ශක්තිසම්පන්න විය යුතු බවය. විශේෂයෙන් ම මනස ශක්තිමත් කර ගත යුතු බවය. 

තව ද අදාළ රෝගී තත්ත්වයෙන් අත් මිදීම සඳහා ඔහු සිය පුරුදු වාසස්ථානය හැරදා යා යුතුවෙයි. පාරිසරික මෙන් ම ජීවිත වෙනසක් ද ඇති කර ගැනීම වඩාත් වැදගත් වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි