2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුණාටුවක් නිසා වෙනස් වුණු ඇමරිකාව.

2020 වසරේ ලොවට මුහුණ දීමට සිදු ව ඇති භයානක ම සුළි කුණාටුව වන “හයිශෙන්” මේ වන විට දින කිහිපයක් පුරා ජපානය, දකුණු කොරියාව ආදී රටවලට පහර දෙමින් සිටියි. මෙයට වසර ගණනාවකට පෙර හඹා ගිය මෙවැනි සුළි කුණාටු හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය බෙහෙවින් වෙනස් වී තිබේ. සෑම වසරක ම සාමාන්‍යයෙන් සුළි කුණාටු දෙකක් පමණ එක්සත් ජනපදයට පහර දෙන බව පෙනේ. ඇමරිකාවේ සුළි කුණාටු ඉතිහාසය පිළිබඳ කතුවරයෙකු වන “එරික් ජේ.ඩොලින්” පවසන පරිදි, මෙම ප්‍රබල කුණාටු හේතුවෙන් ඩොලර් බිලියන ගණනක දේපල හානි සිදුවී ඇති අතර 1800 ගණන්වල අග භාගයේ සිට මේ දක්වා 30,000 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත. සුළි කුණාටු විසින් භූමිය මත ඉතිරි කර ගොස් ඇති කැළැල් සහ විනාශ කරනු ලැබ ඇති අසංඛ්‍යාත ජීවිත වලට අමතර ව, ඒවා විසින් ඉතිහාසයේ පුළුල් පරාසය ද වෙනස් කර ඇත.

1.ෆ්ලොරිඩාව ප්‍රංශයේ යටත් විජිතයක් බවට පත් වීම වැළැකීම.

අද්මිරාල් “පේද්‍රෝ මෙනෙන්ඩෙස් ඩි අව්ලෙස්” විසින් 1565 සැප්තැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ ශාන්ත ඔගස්ටින් ප්‍රදේශය යටත් විජිතයක් බවට පත් කර ගත්තේ ය. ඊට වසරකට පමණ පෙර ප්‍රංශ ජාතිකයෝ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය හරහා ගමන් ගත් අතර වර්තමාන “ශාන්ත ජෝන්ස්” ගං මුවදොර “කැරොලයින්” නම් වූ බලකොටුව පිහිටුවා ගත්හ. පේද්‍රෝට අවශ්‍ය ව තිබුණේ ෆ්ලොරිඩාව ප්‍රංශ කොලනියක් බවට පත් වීම වැළැක්වීමට ය. එහෙයින් ඔහු කැරොලයින් කොටුවට මදක් ඔබ්බෙන් සිය බලමුළුව සමඟ රැඳී සිටියේ ය. දින කිහිපයකට පසු, ප්‍රංශ නාවික හමුදාපති “ජීන් රිබෝල්ට්”ගේ අණ යටතේ ප්‍රංශ බලඇණිය එහි වෙරළ තීරයේ සැඟවී සිටිමින් යටත් වන ලෙස මෙනෙන්ඩෙස්ගෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, රිබෝල්ට් හට පිළිතුරක් ලැබීමට පෙර, සුළි කුණාටුවක් හමා ගියේ ය. එමඟින් ප්‍රංශ නැව් සියල්ල දකුණු දෙසට එනම්, කේප් කැනවරල් දෙසට ගසා ගෙන ගිය අතර එහි දී ඔවුහු විනාශ වූහ. කැරොලයින් බලකොටුව අනාරක්ෂිතව පවතින බව දැනගත් මෙනෙන්ඩෙස්, හොඳින් සැලසුම් කොට ප්‍රංශ මුරපොළට පහර දී එහි රැඳි සිටි ප්‍රංශ භටයින් 130කට වැඩි පිරිසක් ඝාතණය කළේය. සති කිහිපයකට පසුව, ස්පාඤ්ඤ ජාතිකයන් විසින් නායක රිබෝල්ට් ඇතුළු සුන්බුන්වලින් දිවි ගලවා ගත් ප්‍රංශ භටයින් සිය ගණනක් ශාන්ත ඔගස්ටින් ප්‍රදේශයට දකුණින් පිහිටි ස්ථානයක දී ඝාතණය කරන ලදී.

“යම් හෙයකින් ස්පාඤ්ඤ ජාතිකයන් පලවා හැරීමට උත්සාහ කරන ලද එම ප්‍රංශ බලඇණිය සුළි කුණාටුවකට හසු නොවී නම්, එම කාර්යය ඉටු කර ගැනීමට ප්‍රංශ හමුදාව සමත් වූයේ නම් ඉතිහාසය වෙනස් වනු ඇත්තේ කෙසේදැයි සිතා බලන්න.” ඩොලින් පවසයි. ෆ්ලොරිඩාව ප්‍රංශ යටත් විජිතයක් බවට පත් වනු ඇත. කැනඩාව ජනාවාස වීමත් සමඟ ප්‍රංශ ජාතිකයන් බ්‍රිතාන්‍ය ජනාවාස පැවති ඉතිරි ප්‍රදේශවලට ද නියත වශයෙන් ම පහර දෙනු ඇත. අවසන් වශයෙන් මුළු උතුරු ඇමරිකාව ම ප්‍රංශ කොලනියක් බවට පත් වනු ඇත.

2. ජේම්ස් ටවුන් ජනපදවාසීන් අතුගා දැමූ සුළි කුණාටුව.

1609 ජුනි මාසයේ දී නැව් නවයක් සහ යටත් විජිතවාදීන් 500ක් පමණ එංගලන්තයේ සිට ජේම්ස්ටවුන් ජනපදය වෙත යාත්‍රා කළේ එය නැවත ජනාවාස කිරීම සඳහා ය. කෙසේවෙතත්, උතුරු ඇමරිකාවේ පිහිටා තිබූ එංගලන්තයට අයත් ඒම ස්ථිර ජනාවාස ප්‍රදේශවලට ළඟා වීමට පෙර, විශාල සුළි කුණාටුවක් හමා ගිය අතර එමඟින් ජනතාව රැගෙන යමින් තිබූ ටොන් 300ක් වූ “සී වෙන්චර්” නම් නැව ද පුපුරා ගියේ ය. පසුව එය බර්මියුඩා ත්‍රිකෝණය වෙත ඇදී ගොස් අතුරුදන් විය. කුඩා නැව් දෙකක් පමණක් ඉතිරි වූ අතර එහි රැඳී සිටි පිරිස වසරකට ආසන්න කාලයක් තිස්සේ මුහුද මැද අතරමං ව සිට පසුව දිවි ගලවා ගත්හ. අවසානයේ දී ඔවුන් ජේම්ස්ටවුන් වෙත පැමිණි විට, දක්නට ලැබුණේ බිඳවැටීමේ අද්දර සිටි ජනපදයකි. “සී වෙන්චර්” නෞකාවෙන් රැගෙන ආ ජන සැපයුම නොමැති ව ජේම්ස්ටවුන්හි ජනගහණය පන්සියයේ සිට දුසිමක් දක්වා අඩු වී තිබුණි. සමහරුන් සාගින්නෙන් මිදීම සඳහා මිනීමැරුම්වලට පවා යොමු වී ඇති බව වාර්තා විය.

යටත් විජිතකරණය මත ගොඩ නැඟුණු ඇමරිකානු ඉතිහාසය තුළ ඉහත කුණාටුවේ බලපෑමෙන් සාහිත්‍ය ඉතිහාසය ද වෙනස් වූ බව පෙනේ. ජේම්ස්ටවුන් ජනපදයේ කම්පන සහගත තත්ත්වය පිළිබඳ ආරංචිය එංගලන්තයට ද ළඟා විය. “සී වෙන්චර්” නෞකාවේ සිට දිවි බේරා ගත් කවියෙකු හා නාට්‍ය රචකයෙකු වූ “විලියම් ස්ට්‍රැචේ” විසින් රචනා කරන ලද අතිශය භයානක චණ්ඩ මාරුතයේ අත්දැකීම, නාට්‍යමය වශයෙන් ඇසින් දුටු සාක්ෂියක් බවට පත් විය. 1610 දී ස්ට්‍රැචීගේ වාර්තා එංගලන්තය පුරා සංසරණය වූ කාලයේ දී ම වාගේ නාට්‍ය රචක විලියම් ෂේක්ස්පියර් ද දරුණු කුණාටුවක් ගැන නාට්‍යයක් රචනා කළේ ය. ඒ, දුර බැහැර පිහිටි දිවයිනක් වන “ටෙම්පස්ට්”හි නැවක් සුන්බුන් බවට පත් වූ ආකාරය ගැන ය. ෂේක්ස්පියර් හට ස්ට්‍රැචේගේ වාර්තා ලබා ගැනීමේ හැකියාව තිබූ අතර ෂේක්ස්පියර් විද්වතුන්ගෙන් බහුතරයක් පවා එකඟ වන කරුණක් වනුයේ කුණාටුව පිළිබඳ ස්ට්‍රැචීගේ සාහිත්‍යය ලේඛන ද සිය සම්මාන ලාභී නිර්මාණය කිරීම සඳහා ශේක්ස්පියර් හට උපකාරී වූ බව යි.

3. සුළි කුණාටුවෙන් දියුණු වූ මුහුදු කොල්ලකරුවන්.

1715 ජූලි මාසයේදී මධ්‍යම හා දකුණු ඇමරිකාවේ ස්පාඤ්ඤ යටත්විජිතවලින් ලබාගත් රන් හා රිදී ආභරණවලින් පිරුණු නැව් දුසිමක් ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා යාත්‍රා කරද්දී දරුණු සුළි කුණාටුවකට හසු විය. වර්තමාන වෙරෝ වෙරළ ආසන්නයේ මෙම රන් රිදී නිධානය වැළලී ගියේ ය. එක් නෞකාවක් හැර අනෙක් සියල්ල ම වෙරළට ගසාගෙන ගොස් ගල්පරවල හැපී විසිරී ගිය අතර සැතපුම් 30 ක් පමණ දුරට යන තුරු නොගැඹුරු ජලයේ පවා සුන්බුන් පැතිර ගියේය.

මෙම ආරංචිය ලැබුණු පසු එම අතුරුදන් වූ රන් සොයා යාමේ අරමුණින් නාවිකයෝ දහස් ගණනක් නැව් විනාශයට පත් වූ ස්ථානයට පැමිණියහ. එහෙත් වැඩි දෙනෙකු නැවත ගමට ගියේ හිස් අතිනි. බලාපොරොත්තු සුන් වූ නාවිකයින්ගෙන් බොහෝ දෙනෙකුට ඉක්මනින් ධනවත් වීමේ මඟක් අවශ්‍ය ව තිබිණි. එහෙයින් ඔවුහු කැරිබියන් මුහුදේ රැඳී සිටීමට තීරණය කළ අතර ක්‍රම ක්‍රමයෙන් මුහුදු කොල්ලකරුවන් බවට පත් වූහ. එම නිධන් හොරුන් මුහුදු කොල්ලකරුවන්ගේ ස්වර්ණමය යුගයේ දෙවන භාගයට අයත් වේ. කැරිබියානු සහ අත්ලාන්තික් සාගරවල වෙළෙන්දන්ගේ නැව් කොල්ල කෑමට ලක් කළ “බ්ලැක්බියර්ඩ්”, “බ්ලැක් සෑම්” වැන්නවුන් බිහි වූයේ එසේ ය. මේ සිදුවීම ඇසුරින් පසු කාලීන ව “ද පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්” වැනි චිත්‍රපට ද බිහි විය. 

4. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ජාතියේ පියා බවට පත් කළ කුණාටුව.

1772 අගෝස්තු මස කැරිබියානු දූපතක් වන “ශාන්ත ක්‍රොයික්ස්” හරහා හමා ගිය සුළි කුණාටුවෙන් පසු, එක් පිරිමි ළමයෙක් මීට වසර හයකට පෙර තම පවුල අතහැර ගිය පියා වෙත කුණාටුව පිළිබඳ පැහැදිලි විස්තරයක් ලියා යැවීය. ඒ, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ය. අදාළ ලිපිය ඔහුගේ ජීවිතය වෙනස් කළේය. මුහුදේ හා සුළඟේ ඝෝෂාව, ගිනි ගත් උල්කාපාත වැනි වස්තු අහසේ පියාසර කිරීම, නිරන්තරයෙන් අකුණු සැර වැදීම, කුඩා නිවාස කඩා වැටීම සහ පීඩාවට පත් වූවන්ගේ විලාපය වැනි දේ ඔහු මවිතයට පත් කිරීමට ප්‍රමාණවත් විය.

දේශපාලයට එක් වූ පසු ඔහු විසින් පෙර කලක දී ලියන ලද මෙම ලිපිය එරට ඇමතිවරයෙකු වූ “හියු නොක්ස්”ගේ සිත් ගත්තේ ය. ඔහු විසින් සංස්කරණය කිරීමට යෙදුණු පුවත්පතක අදාළ ලිපිය මුද්‍රණය කෙරිණි. පුවත්පත හරහා ලිපියේ අදහස් බොහෝ දුරට ව්‍යාප්ත විය. 17 හැවිරිදි වියේ දී හැමිල්ටන් සතු ව තිබූ දක්ෂතා හඳුනාගත් ශාන්ත ක්‍රොයික්ස් ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙක් ඇමරිකානු ජනපදවල අධ්‍යාපනය දිගටම ගෙන යාම සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් සූදානම් කළහ. පසුව හැමිල්ටන් කිසි දිනෙක ආපසු නොඑන්නට ම ශාන්ත ක්‍රොයික්ස් පළාත අතහැර ගියේය. එහෙත් ඒ වෙනුවට ඔහු ඇමරිකානු විප්ලවයට සම්බන්ධ වූ අතර නව ජාතියේ මූල්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමේ ගෞරවය හිමි එක්සත් ජනපදයේ ආරම්භක පියෙකු බවට පත්විය. හැමිල්ටන්ගේ චරිතාපදානය ලියූ “රොන් චර්නෝව්” මෙසේ සඳහන් කරයි. “හැමිල්ටන් දැන නොසිටියත් මෙම ස්වාභාවික විපත්තිය සිදු වී තිබුණේ ඔහුගේ වාසනාවට යි.”

5. සුළි කුණාටුවක් නිසා ජය ගත් ඇමරිකානු විප්ලවය.

17 වන සියවසේ දී ඇරඹුණු ඇමරිකානු විප්ලවය අතරතුර ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නාවිකයන් සිය කඳවුරු ප්‍රදේශ ලෙස භාවිත කළ කැරිබියානු වරායන් හරහා මහා සුළි කුණාටුවක් හමා ගෙන ගියේ ය. 1780 වසරේ දී හට ගත් එයින් ජීවිත 22,000ක් පමණ විනාශ වන්නට ඇතැයි ගණන් බලා තිබේ. බ්‍රිතාන්‍යයන්ට සිය නැව්වලින් අටක් සහ එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය ද යන සියල්ල ම පාහේ අහිමි වූ අතර, වාර්තාගත මාරාන්තික අත්ලාන්තික් සුළි කුණාටුවෙන් ප්‍රංශ ප්‍රවාහන යාත්‍රා 40කට වැඩි ප්‍රමාණයක් සහ නැවේ සිටි සෙබළුන් දහස් ගණනකගේ ජීවිත විනාශ විය.

දේශප්‍රේමීන්ට මිලිටරි ආධාර සැපයීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කර තිබූ ප්‍රංශයට මෙම කුණාටුව කළ විනාශය බලවත් ය. ගිවිසුමට අනුව ප්‍රංශ ජාතිකයෝ සිය නැව් උතුරු දෙසට ගෙන යන ලෙස ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් විසින් කරන ලද ඉල්ලීමට එකඟ වී තිබිණි. ඒ අනුව 1781 ශීත ඍතුවේ දී ඉතිරි වූ නැව් අළුත්වැඩියා කිරීමෙන් පසුව ඊළඟ සුළි කුණාටු සමයේ දී ප්‍රංශ ජාතිකයින් සිය යාත්‍රා බොහොමයක් උතුරු මුහුද හරහා වර්ජිනියා වෙරළට ගෙන ගියහ. 1781 සැප්තැම්බර් 5 වන දින “චෙසපීක්” සටනේ දී බ්‍රිතාන්‍ය නාවික හමුදාව පරාජය කිරීමෙන් පසුව, ප්‍රංශ යුද නැව් “යෝර්ක් ටවුන්” වටලන ලද අතර සියලු බ්‍රිතාන්‍යයින් මුහුද හරහා පැන යාම අවහිර කළහ. එහෙත් සුළි කුණාටුවේ ගැටලුව නිසා බ්‍රිතාන්‍යයන්ගේ මෙන් ම ප්‍රංශ හමුදාවේ ද භට පිරිස අඩු වී තිබිණි. එම මෙහෙයුම “චාල්ස් කෝර්න්වලිස්” සාමිවරයාගේ යටත් වීමත් සමඟ අවසන් වූ අතර ඇමරිකානු විප්ලවය ද සාර්ථක ලෙස නිම විය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.