Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කිම්ගේ මිසයිලය

පසුගිය දා උතුරු කොරියාවේ පියොංයැං නගරයේ පැවැත්වුණු පෙළපාළියක දී ලොව අන් සියලු රටවල ඇස් උඩ ඉන්දන ආකාරයේ දර්ශනයක් දැක ගන්නට ලැබිණි. ඒ මිසයිලයකි. විශ්ලේෂකයන් විශ්වාස කරන අන්දමට මෙය වූ කලි ලොව විශාලතම ද්‍රව ඉන්ධන සහිත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය යි. මෙය අනාවරණය වී ඇත්තේ එරට රාජ්‍ය රූපවාහිනියේ විකාශනය කරන ලද කම්කරු පක්ෂයේ 75 වන සංවත්සරය සමරමින් සිදු කෙරුණු හමුදා පෙළපාළියක දී ය. ප්යොංයැං අගනුවර දී පැය දෙකකට ආසන්න කාලයක් පැවති උත්සවයේ සහ හමුදා පෙළපාළියේ උච්චතම අවස්ථාවෙහි දී “ඇක්සල් 11” ට්‍රක් රථයක් මඟින් මෙම දැවැන්ත ආයුධය රැගෙන ගොස් තිබේ.

විශ්ලේෂකයින් පැවසුවේ නව මිසයිලය අත්හදා බැලූ බවට ආරංචි තවමත් ලැබී නොමැති බවයි. එනමුත් ඒ සා විශාල ආයුධයක් තබාගෙන උතුරු කොරියාව නිකම් නොසිටින බව සියල්ලන් හට පැහැදිලි ය. එවැන්නක් තබා ගැනීමෙන් ඕනෑ ම ඉලක්කගත සතුරෙකු වෙත ඇති තර්ජනකාරීබව ද වැඩි වනු ඇත.

“උතුරු කොරියාව අපට පෙන්වා ඇති දෙය, එනම් නව දියර ඉන්ධන සහිත ICBM අවිය 2017 අග භාගයේ දී ඔවුන් විසින් අත්හදා බැලුණු අවියේ දෙවන සංස්කරණයක් ලෙස පෙනේ. එය Hwasong-15 ලෙස හැඳින්වේ. මෙම අවිය අන් සියලු අවිවලට වඩා විශාල වන අතර පැහැදිලිවම වඩා බලවත් ය.” වොෂිංටන් ඩීසී පදනම් කරගත් ජාතික අවශ්‍යතා සඳහා වූ මධ්‍යස්ථානයේ, කොරියානු අධ්‍යයන අංශයේ, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, හැරී කසියානිස් පැවසීය.

මෙයට පෙර 2017 දී Hwasong-15 අත්හදා බලමින් සිටින අතර පියොංයැං ආරංචි මාර්ග පැවසුවේ එය අධි බරැති න්‍යෂ්ටික අවියක් වන බව යි. විශ්ලේෂකයන්ට අනුව ඔවුන් එම අවිය සකස් කළේ මූලික වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉලක්ක කරගෙන ය. කෙසේ වුවත් මෙවැනි අවියක් සහිත ව යුද්ධයකට එළඹුණහොත් උතුරු කොරියාවට නියත වශයෙන් ම ඇමරිකානු හමුදාවට වඩා වැඩි වාසියක් අත් වනු ඇත.

පෙළපාළියට පෙර විශ්ලේෂකයින් සිතුවේ උත්සවයේ දී උතුරු කොරියාව සාමාන්‍ය ද්‍රව ඉන්ධන සහිත බැලස්ටික් මිසයිලයක් නිරාවරණය කරනු ඇති බව යි. එහෙත් මෙම ඝන ඉන්ධන මිසයිල සාමාන්‍ය ඉන්ධනවලට වඩා වාසියක් ලබා දෙන අතර ඒවාට ඉන්ධන පුරවාගත් ට්‍රක් රථ නොමැති ව ගමන් කළ හැකිය. මෙයින් අදහස් කරන්නේ ඒවා වඩාත් ඉක්මණින් දියත් කළ හැකි අතර ඔත්තු චන්ද්‍රිකාවලින් ද පහසුවෙන් සැඟවිය හැකි බවයි.

“අපගේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයේ සහ ජනතාවගේ අධිකාරය සහ ආරක්ෂාව රඳවා තබාගන්නා දැවැන්ත න්‍යෂ්ටික උපායමාර්ගික බලවේගයක් මේ දැන් චතුරස්‍රයට ඇතුළු විය. මුළු චතුරස්‍රයම උද්යෝගයෙන් පිරී ගියේ ය.” කොරියානු මධ්‍යම පුවත් දෙපාර්තමේන්තුව වාර්තා කළේ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author