2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කවසාකි මාරයා.

“කවසාකි” යන නම ඇසෙන විට බොහෝ දෙනෙකුගේ මතකයට නැඟෙන්නේ මොටර් බයිසිකලයකි. එහෙත් අවාසනාවකට මෙන් කවසාකි රෝගයේ හිමිකරුවෙකු වීම යනු මෝටර් බයිසිකලයක් හිමි වීම තරම් සතුට දනවන්නක් නොවේ. මෙම රෝගය පිළිබඳ මුල් ම සාක්ෂිය හමු වන්නේ 1961 වසරේ ජනවාරියේ තෝකියෝහි රතු කුරුස රෝහලිනි. ශරීරයේ වේදනාවත් උණත් සමඟ එහි රැගෙන එනු ලැබූ සිව් හැවිරිදි දරුවෙකු පරීක්ෂා කළ “ටොම්සාකු කවසාකි” (රෝගය නම් ලබා ඇත්තේ ඔහුට ගෞරවයක් වශයෙනි.) නම් වූ වෛද්‍යවරයා ටික දිනකට පසු එවැනි ම ලක්ෂණ තිබූ තවත් රෝගීන් පණස් දෙනෙකු පමණ ඒ අවට ප්‍රදේශයෙන් හඳුනා ගැනීමට සමත් විය. 1976 වසරේ හවායි දූපතේ වෛද්‍යවරයෙකු වූ “මෙලිෂ්” නමැත්තා ද එක ම රෝග ලක්ෂණ දක්නට ලැබුණු ළමුන් 16 දෙනෙකු පිළිබඳ වාර්තා කර තිබේ. 1870 දී මියගිය හත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ හදවත පරීක්ෂා කර බැලූ විට, කැටි ගැසීම් සහිත කිරීටක ධමනි ආදී කවාසාකි රෝගයට අනුරූප ව්‍යාධි වෙනස්කම් කිහිපයක් දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් දුර්ලභ රෝගයක් වන මෙය වර්තමානය වන විට මදක් වැඩි වශයෙන් පැතිරීම ආරම්භ වී ඇති බව පෙනී යයි. 

කවසාකි රෝගයට නිශ්චිත හේතුව අද වන තෙක් හඳුනා ගෙන නොමැත. මෙම රෝගය දක්නට ලැබෙනුයේ වැඩිහිටි පාර්ශවය තුළ නොව වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් තුළ ය. පසුගිය සමයේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය මදක් අඩු වෙමින් පැවතුණු සමයේ චීනය, ජපානය වැනි රටවල් තුළ මෙම රෝගය නැවත හිස එසවූ බව අසන්නට ලැබිණි. සුළු ප්‍රමාණයකින් එය ශ්‍රී ලංකාවට ද පැමිණ තිබූ බවට සාක්ෂි ලැබී තිබේ. කෙසේ වුවත් මෙය බෝ වන රෝගයක් වන අතර, රෝගයේ ස්වභාවය හේතුවෙන් එය වෛරස හෝ බැක්ටීරියා යන දෙවර්ගයට ම වඩා වෙනස්, කිසියම් තනි රෝග කාරකයක් බව වෛද්‍යවරුන්ගේ අදහසයි. එහෙත් අද වන තෙක් එවැන්නක් ද හඳුනා ගෙන නැත. ඇතැම් පර්යේෂකයින්ගේ අදහස වන්නේ මෙම රෝග කාරකය “සුපිරි ප්‍රතිදේහජනකයක්” වන බව යි. එනම්, මනුෂ්‍ය ප්‍රතිදේහජනක පද්ධතිය අධික ලෙස සක්‍රීය කරන්නක් බව යි. ඒ පිළිබඳ ද නිශ්චිත අදහසක් නැතත්, රෝග කාරකය සඳහා කිසියම් ජානමය බලපෑමක් තිබෙන බව බොහෝ පර්යේෂකයින් විසින් සොයාගෙන තිබේ. 

රෝගය පැතිරෙන්නේ ශ්වසනයෙන් හා ස්පර්ශයෙන් බවට සැක පහළ වී ඇතත් එය ස්ථිර නැත. රෝග ලක්ෂණ වනුයේ උගුර රතු පැහැ වීම, තොල් වියළී ඉරිතැලීම හා රතු වීම, දිව ස්ට්‍රෝබෙරි ගෙඩියක් මෙන් රතු පැහැ ගැනීම ඇතුළු ශ්ලේෂ්මල පටලවල වෙනස්කම්, අත් පා ඉදිමීම, ශරීරය ම රතු වී ඉදිමීම, නියපොතු වටා සම ගොරෝසු වීම, මුළු සිරුර ම කැසීම ආදිය යි. මූලික වශයෙන් බෙල්ලේ වසා ගැටිති අවම වශයෙන් මිලිමීටර 15ක් පමණ ඉදිමීම හා තද උණ යන රෝග ලක්ෂණ රෝගියා තුළ දැකිය හැකි වේ. කවසාකි රෝගය සඳහා නිශ්චිත රසායනාගාර පරීක්ෂණයක් නොපවතින බැවින්, රෝග විනිශ්චය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සහ රෝග ලක්ෂණ මත පමණි. වඩාත් උචිත පරීක්ෂණ වර්ග දෙක වන්නේ “සී.බී.සී.” රුධිර පරීක්ෂණය (රුධිර අණුක පරීක්ෂණය) සහ “2ඩී එකෝ” පරීක්‍ෂණය (කුහර, රුධිර නාලිකා ඇතුළු සියල්ල පෙන්වන, ගැහෙන හදවතේ හරස්කඩක් ලබා ගැනීම) යි. කාලෝචිත රෝග විනිශ්චයක් සඳහා රෝගියාගේ පවුලේ ඉතිහාසය පිළිබඳ සොයා බැලිය යුතු අතර පූර්ණ ශාරීරික පරීක්ෂණයක් කිරීම ද අවශ්‍ය වේ. රෝගය විනිශ්චය කිරීම දුෂ්කර ය. විශේෂයෙන් රෝගයේ මුල් අවධියේ දී, වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පරීක්ෂා කරන තුරු දරුවාගේ රෝගය නිශ්චය නොකෙරේ. මන්දයත් මෙම රෝගය වැළඳුණු විට ඒ සමඟ තවත් බොහෝ බරපතල රෝගාබාධවලට සමාන රෝග ලක්ෂණ ඇති විය හැකි බැවිනි. විෂ කම්පන සින්ඩ්‍රෝමය, බාල වයස් ආතරයිටිස් සහ ළමා රසදිය විෂ වීම (ළදරු ඇක්‍රොඩීනියා) ඇතුළු රෝග කිහිපයක් ද රෝග විනිශ්චයට පෙර සලකා බැලිය යුතු වන්නේ එම රෝග සමඟ කවසාකි පැටලිය හැකි බැවිනි.

කවසාකි රෝගයෙන් පෙළෙන දරුවන් වහා ම රෝහල් ගත කර මෙම රෝගය පිළිබඳ අත්දැකීම් ඇති වෛද්‍යවරයෙකු විසින් රැකබලා ගත යුතුය. සාමාන්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක දී නම්, ළමා හෘද රෝග, ළමා රූමටික ප්‍රදාහය හෝ ළමා බෝවන රෝග විශේෂඥයෙකුගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු ය. නිශ්චිත බෝවන කාරකයක් මෙතෙක් හඳුනාගෙන නොමැති හෙයින් මෙමඟින් කිරීටක ධමනිවලට වන හානිය වළක්වා ගැනීම සඳහා, රෝග විනිශ්චය කිරීමෙන් පසු වහා ම ප්‍රතිකාර ආරම්භ කළ යුතුය. “ඉන්ට්‍රාවෙනස් ඉමියුනොග්ලොබුලින්” (IVIG) යනු කවසාකි රෝගය සඳහා දැනට සම්මත ව තිබෙන ප්‍රතිකාරය වන අතර එය සාමාන්‍යයෙන් පැය 24ක් තුළ කැපී පෙනෙන අන්දමින් රෝගය පාලනය කිරීමට සමත් වේ. කිරීටක ධමනි අක්‍රීය වීම වැළැක්වීම සඳහා උණ ඇති වූ පළමු දින හත තුළ IVIG වඩාත් ප්‍රයෝජනවත් වේ. ඒහෙත් එය රෝගයේ පළමු දින 10 තුළ ලබා දිය යුතු ය. “සැලිසිලේට්” චිකිත්සාව හෝ විශේෂයෙන් ඇස්පිරින්, යනු මෙම ප්‍රතිකාරයේ තවත් වැදගත් කොටසකි. නමුත් සැලිසිලේට් IVIG තරම් ඵලදායී නොවේ. උණ පහ ව යන තුරුම ඇස්පිරින් චිකිත්සාව ඉහළ මාත්‍රාවලින් ලබා දෙන අතර, රෝගියා නැවත නිවසට පැමිණි පසු ද අඩු මාත්‍රාවකින් දිගටම ලබා දෙන ලෙස උපදෙස් දෙනු ලැබේ. එහෙත් අධිමාත්‍රාවකින් යුත් ඇස්පිරින් ලබා දීම රක්තහීනතාව ඇති කරයි. IVIG ප්‍රතිකාරය ආරම්භ කිරීමෙන් පසු වුව ද ළමුන්ගෙන් 15% – 20%කට පමණ එක දිගට හෝ නැවත නැවතත් උණ වැළඳිය හැකි ය. විශේෂයෙන් වෙනත් ප්‍රතිකාර ක්‍රම ඵල රහිත වූ විට හෝ රෝග ලක්ෂණ නැවත ඇති වූ විට, ප්‍රතිශක්තිකරණ ග්ලෝබියුලින් සහ ඇස්පිරින්වලට “කෝටිකොස්ටෙරොයිඩ්” එකතු කරනු ලැබේ. ආසියානු රෝගීන්, වැඩි අවදානම් සහිත ළමුන් සහ දිගුකාලීන ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් හට “ස්ටෙරොයිඩ්” භාවිතයෙන් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකිය. 

සාමාන්‍යයෙන් රෝගය වැළඳීමෙන් පසු ඉක්මන් ප්‍රතිකාරවලට යොමු වුවහොත් දින කිහිපයක් ඇතුළත සුවය ලබා ගැනීමට කුඩා ම වයසේ බිළිඳෙකුට වුව ද හැකියාව ලැබේ. එහෙත් දින දහයක් ඇතුළත නිවැරදි ප්‍රතිකර්ම වෙත යොමු නොවුණහොත් එයින් දරුවාගේ හදවතට හානි විය හැකි අතර මරණය පවා සිදු වීමට ඉඩ තිබෙන බව මතක තබා ගත යුතු ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.