2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන්

සූඩානය හා සම්බන්ධ වූ ඔපරේෂන් ලයිෆ්ලයින් වැඩසටහන ආරම්භ වූයේ මෙයට වසර 30කට පමණ පෙර ය. ඊට හේතු වූයේ දකුණ සූඩානය පුරා පැවැති යුද්ධය යි. අදාළ සිවිල් යුද්ධයෙන් අවම වශයෙන් මිලියන හතරක පමණ ජනතාවක් අවතැන් ව සිටියහ. සිවිල් මරණ සංඛ්‍යාව අතිශයින් බරපතල වූ අතර, එය දෙවන ලෝක යුද්ධයට පසු දක්නට ලැබුණු ඉහළතම අගය ගත්තේ ය.

2001 සැප්තැම්බර් මාසයේ දී හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝන් ඩන්ෆෝර්ත් සුඩානයේ සාමය සඳහා තානාපතිවරයා ලෙස නම් කරන ලදී. ඔහුගේ කාර්යභාරය වූයේ සිවිල් යුද්ධයේ සාධාරණ අවසානයක් සෙවීමේ දී එක්සත් ජනපදයට ප්‍රයෝජනවත් උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කළ හැකි අපේක්ෂාවන් ගවේෂණය කිරීම සහ යුද්ධයට සම්බන්ධ බලපෑම්වලින් පැන නඟින සුඩාන ජනතාවගේ දුක් වේදනා අවම කර ගැනීමට උපකාරී වන මානුෂීය සේවා සැපයීම වැඩි දියුණු කිරීමයි. 

අභ්‍යන්තර විරෝධතාවකින් පසුව, 1989 මාර්තු මාසයේ දී එවකට පැවැති සාදික් අල් – මහඩි රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජනපදය ඇතුළු ආධාර දෙන රටවල් සමඟ ඔපරේෂන් ලයිෆ්ලයින් සුඩාන් (OLS) නම් සැලැස්මක් සඳහා එකඟ විය. ඒ යටතේ ආහාර ටොන් 100,000ක් පමණ රජයට ගෙන යන ලද අතර එමඟින් සුඩානයේ එස්.පී.එල්.ඒ. විසින් පාලනය කෙරුණු ප්‍රදේශවල සාගින්න මැඬ පවත්වා ගැනීමට හැකි විය. 1990 වසර ආවරණය කිරීම සඳහා මෙහි දෙවන අදියර රජය විසින් අනුමත කරනු ලැබුව ද එම වසරේ දී සුඩානය, මුළු රට පුරා පැතිරුණු වසර 2ක නියඟයකට හා ආහාර හිඟයකට මුහුණ දුන්නේය. එක්සත් ජනපදය, එක්සත් ජාතීන් සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් මහා ව්‍යසනයක් වැළැක්වීම සඳහා උතුරු සහ දකුණු සුඩානයේ ජාත්‍යන්තර සහන ප්‍රයත්නයක් දියත් කිරීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, සුඩානයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ගල්ෆ් යුද්ධයේ දී පවත්වා ගත් ඉරාක ගැති ස්ථාවරය හේතුවෙන් බොහෝ පරිත්‍යාගශීලීහු ඔවුන්ගේ ආධාරවලින් වැඩි ප්‍රමාණයක් කපා හැරියහ. 2000 – 01 වසරේ මුහුණ දීමට සිදු වූ මෙවැනිම නියඟයක දී ජාත්‍යන්තර ප්‍රජාව නැවතත් සුඩානයේ මහා සාගින්න වළක්වා ගැනීමට උත්සාහ කළ බව පෙනිණි.

ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන් යනු මෙතෙක් සිදු කරන ලද විශාලතම මානුෂීය සම්බන්ධීකරණ ප්‍රයත්නය බවට බොහෝ රටවල් එකඟ වෙති. ඒ් හරහා තනිවම හෝ වෙනත් අනුග්‍රහයන් යටතේ සහන සේවා ලබා ගැනීමට අපොහොසත් වූ හෝ අකමැති වූ පරිත්‍යාගශීලීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහය ලබා ගැනීමට එක්සත් ජාතීන් හට හැකි විය. ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ එස්.එල්.ආර්.සී. කණ්ඩායමේ නායකයෙකු වන ඩෑන් මැක්ස්වෙල් පවසන පරිදි “අනුබද්ධතාව නොතකා අවශ්‍යතා ඇති ජනගහණයට මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන් වඩා වැදගත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් වෙත ආහාර සහ වෙනත් සහන ලබා දීම සඳහා සටන් කරන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළහ. එනමුත් ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන් වැඩසටහන බොහෝ අවස්ථාවල දී විවේචනයට ලක් වූ බව පෙනේ. එය වසර 16ක් පමණ ක්‍රියාත්මක වූ අතර 2005 දී අවසන් වූයේ විස්තීර්ණ සාම ගිවිසුම (CPA) අත්සන් කිරීමෙන් පසුව ය.

ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන් හේතුවෙන් මතු වූ ගැටලු.

සැපයුම්, දේශපාලන සහ ආරක්ෂක සීමාවන් හේතුවෙන් වැඩසටහන පැවැති කාලපරිච්ඡේදයේ දී පමණක් නොව අදටත් දකුණු සුඩානයේ සහන සේවා පීඩා විඳිමින් සිටිති.

වැසි කාලයේ දී සූඩානයේ මාර්ගවලට ප්‍රවේශ වීම අභියෝගයක් වී ඇති අතර එහෙයින් ආධාර ලබා දීමට පැමිණෙන ආයතනවලට සිදු වී තිබෙන්නේ මිළ අධික ගුවන්යානා මත දැඩි ලෙස රඳා සිටීමට ය. ඇතැම් සේවකයින්ට අනුව, අසල්වැසි ඉතියෝපියාව, කෙන්යාව සහ උගන්ඩාව යන රටවලට අයත් ප්‍රදේශවලින් සහන භාණ්ඩ රැගෙන යන බැවින් ඕ.එල්.එස්. වැඩසටහන පැවැති කාලය තුළ ගුවන් මාර්ග භාවිත කිරීම වඩාත් ලාභදායී විය. එනමුත් වර්තමානයේ බොහෝ ආධාර පියාසර කරනු ලබන්නේ අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට වඩා බොහෝ දුරින් පිහිටි ජුබා සිට ය. සුඩානයේ සිට දකුණු සුඩානයට දේශසීමා බෙදාහැරීම් ආරම්භ වූයේ මෑතක දී ය.

ආධාර බෙදාහරිනු ලබන සේවකයින්ගේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් දකුණු සුඩානය සිටින්නේ තුන් වන ස්ථානයේ ය. පළමු සහ දෙවන ස්ථාන දරන්නේ ඇෆ්ගනිස්ථානය හා සිරියාවට යි. OCHA සංගමයට අනුව, පසුගිය මාසය තුළ පමණක් ආධාර බෙදා හැරීමේ සේවකයින් හට සිදු කෙරුණු බාධා කිරීම් 74ක් වාර්තා වී ඇත. ඒවා නම් ප්‍රධාන වශයෙන් මධ්‍යම ගබඩාවට සිදු කෙරුණු පහරදීම්, ආධාරකරුවන් වෙත කෙරුණු හිරිහැර කිරීම් සහ සැඟවී සිටීම්, පැහැරගැනීම් වැනි සිද්ධීන් ය. මෙයට වසර කිහිපයකට පෙර දී එක්සත් ජාතීන්ගේ හෙලිකොප්ටරයක් ​​ද යුනිටි ස්ටේට්හි බෙන්ටියු නගරයට ආසන්නයේ දී වෙඩි තබා විනාශ කර දමන ලදී.

දකුණු සුඩානය පුරා එක්සත් ජාතීන්, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ රතු කුරුස ව්‍යාපාරයේ නියෝජිතයින්ගෙන් සමන්විත මානුෂීය කණ්ඩායම් සේවයේ යෙදී සිටිති. මෙවැනි බාධා කිරීම් පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීමකි. OCHA සංවිධානයට අයත් ඡායාරූප තුළ මෙවැනි මානුෂීය වැඩසටහන්වලට ඇති බාධා පිළිබඳ සාක්ෂි බොහොමයක් දක්නට ලැබේ.

කෙසේ වුවත් මේ සියල්ලට මුල් වූ එක්සත් ජාතීන් පවසන්නේ අදාළ බාධා කිරීම් සිදු වන්නේ ජනතාව තුළ තිබෙන වැරදි වැටහීම නිසා බව ය. එහෙයින් එම වරදවා වටහාගැනීම් වළක්වා ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඔවුහු කියා සිටිති.

සූඩානය වෙත “මානුෂීය පාලනය” යන සංකල්පය හඳුන්වා දෙන ලද්දේ මෙම ඔපරේෂන් ලයිෆ්ලයින් සූඩාන් වැඩසටහන මඟින් යැයි කියවේ. එනමුත් රාජ්‍යයක හෝ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ හැසිරීම්වලට බලපෑම් කිරීම සඳහා මානුෂීය ආධාර සහ මානව හිමිකම් මූලධර්ම භාවිතා කිරීම කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලීම වටී.

ශ්‍රීනි ලංකා ජයකොඩි.