Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එහෙම ජීවත් වෙනවාට වඩා හොඳයි මැරිලා යන එක

“ආශිකී 2” චිත්‍රපටයේ රාහුල් ජේකර්ගේ චරිතයට පණ දෙමින් සිය නළු ජීවිතයේ උච්චත ම කාල පරිච්ඡේදය සනිටුහන් කළ ඔහු ප්‍රථමයෙන් බොලිවුඩයට පා තැබුවේ ලන්ඩන් ඩ්‍රීම්ස් චිත්‍රපටයෙනි  ඔහු ARK හෙවත් ආදිත්‍ය රෝයි කපූර්.

මේ දවස්වල මොකද කරන්නේ?

Om – The Battle Within චිත්‍රපයේ රූගත කිරීම් කරනවා. හැබැයි කොරෝනා ප්‍රශ්නෙ නිසා වැඩ නැවතිලා තියෙන්නේ…

ආදිත්‍ය, කියන්නකෝ පවුලේ විස්තර ටිකක්…

මම ඉපදුණේ මුම්බායි නගරයේ. මගේ තාත්තා පන්ජාබ්, අම්මා ජුදා. අයියලා දෙන්නයි. දෙන්නා ම බොලිවුඩ් ක්ෂේත්‍රයට සම්බන්ධයි. දන්නවා ඇති නේ? ලොකු අයියා සිද්ධාර්ත් රෝයි කපූර්. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. විවාහ වෙලා ඉන්නේ විද්‍යා බාලන් එක්ක. පොඩි අයියා කුණාල් රෝයි කපූර්.

මගේ ජීවිත කතාවට වඩා බොහොම ලස්සන ආදර කතාවක් තමයි අපේ අම්මාටයි තාත්තාටයි තියෙන්නේ. තාත්තා ඉස්සර හමුදා නිළධාරියෙක්. අම්මා නර්තන ශිල්පිනියක්. දවසක් අම්මා ක්ලබ් එකක නැටුමක් ඉදිරිපත් කරන වෙලාවක එතනට ගිය තාත්තා මුල් බැල්මෙන් ම අම්මා එක්ක ආදරයෙන් බැඳුණා ලු. කෙටියෙන් කියනවා නම් අපේ සීයා ඉස්සරහා ම ගිහින් අම්මාට විවාහ යෝජනාව ඉදිරිපත් කරන්න තරම් තාත්තා අම්මා ගැන පිස්සු වැටිලා. කොහොම හරි අම්මා නිසා ම තාත්තා හමුදාවෙනුත් අයින් වුණා.

අයියලා දෙන්නෙක් එක්ක ගත කරන ජීවිතය කොයි වගේ ද?

හරි ම අපූරුයි. පොඩි කාලේ ගැන නම් කියන්න ම වටිනවා. සිද්ධාර්ත් තමයි ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායක. එයා මට වඩා අවුරුදු 11ක් වැඩිමහල්. කුණාල් ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක්. එයා අවුරුදු 6ක් වැඩිමහල්. ඒත් මම 6 වසරේ විභාගය ෆේල් වුණා. අවුරුදු දෙකක් එක ම පන්තියේ ඉන්න වුණා. මොකද දන්නවා ද? අයියලා දෙන්නා කොයි තරම් ඉගෙනීමට ලැදි වුණත් මම නම් උදේ පාන්දර 3ට විතර නැගිටිනවා. මොකටද දන්නවාද? කාර්ටූන් බලන්න… ඉතින් 7.30 වෙද්දී හොඳට ම නිදිමතයි. ඊට පස්සේ මට පුදුමාකාර බඩේ අමාරුවක් හැදෙනවා. ඒ නිසා ඉස්කෝලේ යන්නේ නැහැ. හැබැයි 10 වෙද්දී ඒ අමාරුව හොඳයි. ඉස්කෝලේ ගියත් මම මගේ පන්තියේ ළමයි එක්ක ඉන්නේ නැහැ. පුළුවන් තරම් අයියලාගේ යහළුවන් එක්ක තමයි සෙල්ලම් කරන්න හදන්නේ. ඇයි අයියලාගේ යෙහෙළියන්ට ඇස් ගහන්නත් මං හරි දක්ෂයි නේ (සිනා)

කොහොමද බොලිවුඩ් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

එතකොට මම සාමාන්‍ය පෙළ විභාගයත් ෆේල් වෙලා වෙන ඉස්කෝලෙකට මාරු වෙලා හිටිය කාලේ. මට වයස 19ක් විතර ඇති. සිද්ධාර්ත් ඒ දවස්වල චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියා. කොහොමටත් එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ම රඟපාන්න දක්ෂයි නේ. ඉතින් අයියා එක්ක ගිය වෙලාවක දවසක් විපුල් ශා මහත්මයා මගෙන් ඇහුවා එයා London Dreams කියලා චිත්‍රපටියක් හදනවා. ඒකට සම්බන්ධ වෙන්න කැමතියි ද කියලා. ඒ දවස්වල මගේ තුන් හිතකවත් නළුවෙක් වෙන්න අදහසක් තිබුණේ නැහැ. මටත් ඉතින් නිකම් ඉන්න බැරිවට ,හා, කිව්වා. තව ටික දවසකින් Action Replay චිත්‍රපටියටත් සම්බන්ධ වුණා. ඊට පස්සේ Guzaarish, Jeh Jawaani Hain Diwani, Aashiqui 2 වගේ චිත්‍රපට කිහිපයක ම රඟපෑවා. දැන් නම් ඔන්න මම තනිකර ම නළුවෙක්. රංගනයට මම පිස්සු වැටිලා ඉන්නේ.

Jeh Jawaani Hain Diwani චිත්‍රපටයේ දී රන්බීර් එක්ක වැඩ කිරීමේ අත්දැකීම කොහොමද?

ඔහු නම් අතිදක්ෂයෙක්. රන්බීර් එක්ක වැඩ කිරීම හැම තිස්සේ ම විනෝදජනක වුණා. එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමහල් නේ. හපෝ… අයියලා මල්ලිලාට කරන කවටකම් සේරම එයාගෙනුත් විඳින්න වුණා. මට ඉතින් මරු වැඩේ වුණේ. ගෙදර අයියලාගෙන් චාටර් කාලා කාලා ගිහින් මෙයාගෙනුත් කන්න වුණා නේ. එක වෙලාවකට කනට මොනවා හරි දාලා දුවයි, තව වෙලාවක මං යනකොට කකුල් මාට්ටු දායි… අපෝයි….

ඇයි ඔයා සිද්ධාර්ත්ගේ චිත්‍රපටවලට වැඩිපුර සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ නැත්තේ?

මට ඕනේ බොලිවුඩ් ක්ෂේත්‍රය ඇතුළේ මට ම කියලා අනන්‍යතාවක් හදා ගන්න. මම දන්නවා මගේ අයියලා දෙන්නා ම ඕනෑ ම වෙලාවක සූදානම් එයාලගේ පුංචි මල්ලිට ඕනෑ ම විදිහක උදව්වක් කරන්න. මම දෙයක් ඉල්ලුවොත් එයාලා කවදාවත් නැහැ බැහැ කියන්නේ නෑ. ඒත් මට ටිකක් ජීවිතය මගේ ම විදිහට දිනන්න උත්සාහ කරලා බලන්න ඕනේ. බැරි වුණොත් අයියා ළඟට යනවා. එතකල් තනියම වැඩ. 

නෑනණ්ඩි එක්ක තියෙන සම්බන්ධය කොහොමද?

අපි හරි එකතුයි. මම නේ අයියාට විද්‍යා එක්ක යහළු වෙන්න උදව් කළේ. ඉතින් එයා මට හරි ආදරෙයි (සිනා) මම පෞද්ගලික ව හිතනවා විද්‍යා බාලන් කියන්නේ අතිදක්ෂ සහ නිර්මාණශීලී විදිහට යමක් කරන්න පුළුවන් නිළියක් කියලා. එයාගේ Kahaani චිත්‍රපටය අතිවිශිෂ්ටයි. ඒකෙන් හෙළි වුණා විද්‍යා ඕනෑම චරිතයක් රඟපාන්න බය නැති නියම කෙල්ලෙක් කියන එක. විද්‍යා හරි ම තාත්ත්විකයි. ඒ නිසා ම ඇය මේ වෙනකොටත් ක්ෂේත්‍රයේ තමන්ට හිමි තැන හොයාගෙන ඉවරයි.

අලුතින් ක්ෂේත්‍රයට එන නළු නිළියන් හැම තිස්සේ ම උත්සාහ කරන්නේ තරුවක් වෙන්න ලු නේද?

වෙන්න ඇති. ඒත් මම නම් එහෙම නැහැ. මට ඕනේ වුණේ බැබළෙන තරුවක් වෙන්න නෙවෙයි, හොඳ නළුවෙක් වෙන්න. කොහොමත් මට ඒ පිස්සුව නැහැ. මොකද අයියලා දෙන්නාටත් එහෙම අමාරුවක් තිබුණේ නැහැ නේ. මම හැමවෙලාවක ම ආදර්ශයට ගන්නේ එයාලව. තරුවක් වෙන්න උත්සාහ කරන එක හොඳයි තමයි. ඒක තමන්ගේ වෘත්තිය ආරක්ෂා කර ගන්න වැදගත් වෙනවා. ඒත් අනිත් අතට අපි ඒ විදිහට පිස්සු හැදිලා වගේ නළුකම පස්සේ දුවන්න ගියා ම අපට අපව ම නැති වෙලා යන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මොකද තරුවක් වෙනවා නම් කෙනෙක් අනිවාර්යයෙන් ම ආත්මාර්ථකාමී වෙන්න ඕනේ. කොහේ බැලුවත් පෙනෙන්න ඕනේ තමන් විතරයි. අනේ අම්මේ… එහෙම ජීවත් වෙනවාට වඩා හොඳයි මැරිලා යන එක.

ඔයා කොහොමද චිත්‍රපටියක් තෝරා ගන්නේ?

මම කැමතියි ත්‍රාසජනක චිත්‍රපටවලට. ඒත් මට එන්නේ ම ප්‍රේම චරිත නේ. අනේ මන්දා ඇයි කියලා. මට තියෙන්නේ පෙම් පාට මුහුණක් ද? මෙච්චර කල් කරපු තෝරා ගැනීම් ගැන කියනවා නම් ක්ෂේත්‍රයේ දැවැන්තයෝ මට දොස් කිව්වා මම Jeh Jawaani Hain Diwani සහ Aashiqui 2  කියන චිත්‍රපට දෙක ම එක ම කාලයේ දී රඟපාන්න භාර ගත්තු එක ගැන. ඒකට එක හේතුවක් තමයි එකක මම ප්‍රධාන නළුවා සහ අනිත් එකේ සහය නළුවෙක් වීම. එයාලා කියන විදිහට චිත්‍රපටයක ප්‍රධාන නළුවා ඒ කාලයේ ම තවත් එකක පොඩි චරිතයක් විදිහට කරළියට එන්න නරකයි. දෙවෙනි හේතුව තමයි වැඩ දෙකක් එක වතාවකට භාර ගත්තා ම දෙකෙන් එකක්වත් හරියට කර ගන්න බැරි වෙයි කියලා හිතන එක. ඒත් මට නම් ඔය ප්‍රශ්නවලින් එකක්වත් ආවේ නැහැ. මම චිත්‍රපට දෙක ම සාර්ථක ව රඟපෑවා.

ආදිත්‍යට ළඟදි කසාද බඳින්න අදහසක් නැද්ද?

අපෝ නැහැ. තව ම මම ජීවිතේ පටන් ගත්තා විතරයි නේ. නමක් හදා ගන්නත් කලින් කසාදයක් බැඳ ගත්තා ම වැඩ සේරම අවුල් වෙනවා. ඊට මීට හොඳයි මේ ඉන්න විදිහට ඉන්න එක.

ඇත්ත ද මේ කියන්නේ ඔයාට Mere Dad ki Maruti චිත්‍රපටයේ රඟපෑව Rhea Chakraborthy එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා?

මොන බොරුවක් ද ඒක? ඇයි එයා එහෙම කිව්වා ද? මට නම් තවම රියා ගැන ප්‍රේමණීය හැඟීමක් දැනිලා නැහැ. අපි හොඳ යහළුවන් විතරයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි