Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උද්ඝෝෂණ කළොත් වෙඩි තබනු.

උගන්ඩාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දුන් හිටපු පොප් ගායකයෙකු හා මන්ත්‍රීවරයෙකු වන බොබී වයින් රජය විසින් අභූත චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට ජනතාව වීදි බැස තිබේ. තරුණ කණ්ඩායම් කම්පාලා අගනුවර සහ තවත් නගර කිහිපයක ම ටයර් පුළුස්සමින් විරෝධතාවල නිරතවනු දක්නට ලැබිණි. මුල් අවස්ථාවේ දී පිරිස විසිරුවා හැරීම සඳහා සාමාන්‍ය පරිදි කඳුළු ගෑස් සහ අජීවී වෙඩි උණ්ඩ භාවිත කිරීමට උගන්ඩානු පොලිසිය උත්සාහ කළේ ය. තත්ත්වය බරපතල වූ පසු ආරක්ෂක ඇමතිවරයා වන එලී ටුම්වයින් විසින් ගනු ලැබූ තීරණය පුදුම සහගත විය.

“උද්ඝෝෂණය කළොත් වෙඩි තියන්න.” ඔහු පොලිසියට අණ කළේ ය. ඒ වන විට උද්ඝෝෂකයින්ගේ ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක භටයින් 11දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පෙන්වා දෙමින් ටුම්වින් මහතා පැවසුවේ “ඔබ යම් මට්ටමකින් ප්‍රචණ්ඩත්වය වෙත ළඟා වුවහොත් ඔබට වෙඩි තබා ඝාතණය කිරීමට පොලිසියට සම්පූර්ණ අයිතියක් ඇත. ඔබ ම මට නැවත පැහැදිලි කර දෙන්න. ඔබට වෙඩි තියන්න පොලිසියට අයිතියක් තියෙනවා. ඔබ කිසිම දෙයක් නැතිව පාරෙ නිකං මැරිලා යනවා. ඔබ දේශපාලන අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ ජීවිතය නිකරුණේ නාස්ති කර ගන්නට සිතනවා නම්, ඒ අවදානම ගන්න. උද්ඝෝෂණය කරන්න.” ආරක්ෂක ඇමතිවරයාගේ මෙම නියෝගය හේතුවෙන් මේවන විට උද්ඝෝෂකයින් 28 දෙනෙකු මිය ගොස් සිටිති. 

කොවිඩ් 19 වසංගතයට අදාළ නීති රෙගුලාසි අනුගමනය නොකරමින් මැතිවරණ ප්‍රචාරක රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් ගායකයා හට චෝදනා එල්ල වී තිබිණි. එහෙත් මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ මෙම චෝදනාව ජනවාරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර වත්මන් රජය වෙත එල්ල වන විරෝධතා මැඬපැවැත්වීම සඳහා දමා තිබෙන කඩතුරාවක් බවයි. වසංගතය අතරතුර මැතිවරණ ප්‍රචාරක රැලි තහනම් කිරීම තමා ප්‍රතික්ෂේප කරන බව ජුනි මාසයේ දී බොබී වයින් විසින් කියා සිටියේ ය. ජනාධිපති මුසවේනි ජනතාවට බිය බවට ඔහු චෝදනා කළේය.