2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උතුරු කොරියාවේ ගොඩනැඟීම හා දෝලනය.

1910 වර්ෂයේ පමණ සිට වසර තිස් පහක් මුළුල්ලේ කොරියාවට අයත් සම්පූර්ණ ප්‍රදේශය ම පැවතුණේ ජපානය යටතේ ය. දෙ වන ලෝක යුද්ධයේ ප්‍රධානතම බලවතුන් වූ සෝවියට් රුසියාවත් ඇමරිකාවත්, එය අවසන් වීමෙන් පසු මෙම ප්‍රදේශය දෙකට බෙදා ගත්හ. ඒ, උතුර සහ දකුණ වශයෙනි. පසුකාලීන ව එම බෙදීම නැවත එක් කිරීමේ බලාපොරොත්තුවක් පැවතිය ද අද වන තෙක් තමන්ගේ සිහිනය ඉටු කර ගැනීමට කිසිදු බලවතෙකුට හැකි වී නැත. 

මැතිවරණයක් පවත්වා, සම්පූර්ණ කොරියානු ප්‍රදේශය සඳහා නායකයෙකු හා මන්ත්‍රීවරුන් පිරිසක් තෝරා පත් කර ගැනීමට කිහිපවරක් උත්සාහ කෙරිණි. ඒ වන විට උතුරේ භාරකාර නායකයා “කිම් ඉල් සුන්” වූ අතර ඔහු රුසියාවට සම්බන්ධ පුද්ගලයෙකු විය. දකුණේ නායකයා ඇමරිකාවට සම්බන්ධ වූ “සිංග්මන් රී” ය. දකුණු දිග වැඩි ජනගහණයක් සිටි බැවින් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් හිමි වන්නේ ඇමරිකානු ආධාරකයින්ට ය. සෝවියට් රුසියාවට බලය ලැබුණත් නැති සේ ය. 

එබැවින් උතුර මෙම මැතිවරණයට අකැමැති විය. ඔවුන් තනි ව ඡන්දය පවත්වා පාලකයින් තෝරා පත් කර ගත් අතර 1948 සැප්තැම්බර් මස 09 වන දින සිට අද දක්වා ම මෙම ප්‍රදේශ දෙක ස්වාධීන ව උතුරු කොරියාව හා දකුණු කොරියාව යනුවෙන් බෙදී පවතී. එපමණක් නොව, බෙදුණු දින සිට අද දක්වා ම මෙම ප්‍රදේශ දෙක එකිනෙකාට විරුද්ධ ව තරඟ වදින අතර, විටින් විට ලේ සෙලවීමට ද පසුබට වන්නේ නැත. 

එක්දහස් නවසිය පණස් ගණන්වල දී උතුරු හා දකුණු ප්‍රදේශ දැඩි ලෙස සටනේ නියැලුණු අතර වැඩි වාසිය අත් ව තිබුණේ උතුරට යි. සැබවින් ම දකුණ ආක්‍රමණය කළේ උතුරු කොරියාව ය. එබැවින් දකුණේ සහයට ඇමරිකාව පැමිණි අතර 1953 පමණ වන විට උතුර පසුබස්වා සටන් විරාමයක් ඇති කර ගැනීමට හැකි විය. 

කෙසේ වුවත් මෙම යුද්ධයෙන් සම්පූර්ණ කොරියාව ම අලුතින් ගොඩනැඟිය යුතු තත්ත්වයට පත් වී තිබිණි. එහි දී ද ස්වාභාවික සම්පත් වැඩිපුර පිහිටා තිබූ උතුරට වාසි විය. කාර්මික අතින් දියුණු වීමට හැකි වුව ද ආහාරයෙන් ස්වයංපෝෂිත වීමට ඔවුනට ඉඩ ලැබුණේ නැත.

නිර්මාතෘ යටතේ උතුරු කොරියාව.

උතුරු කොරියාවේ නිර්මාතෘවරයා ලෙස පිළිගන්නේ කිම් ඉල් සුන් ය. මුල් අදියරේ දී සමාජවාදී ක්‍රමය අනුව රට පාලනය කළ ඔහු මද කලකින් වටහා ගත්තේ එය සිය රටට නොගැලපෙන බව ය. එහෙයින් ඔහු 1955 වසරේ දී “ජුසේ” නමින් නව ක්‍රමයක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව අදටත් ඔවුන්ගේ ආදර්ශ පාඨය වන්නේ “බලවත් සහ සමෘද්ධිමත් ජාතියක් වෙමු” යන්න යි. 

එහි දී සිදු වන්නේ සිය රටෙහි ශක්තිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීම යි. මෙම දර්ශනය ප්‍රධාන වශයෙන් කරුණු සතරක් යටතේ බෙදේ. එනම්, “චජූ”, “චරිප්”, “චාවි” හා “සොන්ගුන්” යනුවෙනි. එනම් ස්වයං විශ්වාසය මත පදනම් ව ස්වාධීනත්වය ළඟා කර ගැනීම, ස්වයං ශක්තිය මඟින් ආර්ථික ස්වාධීනතාව ළඟා කර ගැනීම, ස්වයං ආරක්ෂාව මඟින් හමුදා ස්වාධීනත්වය ළඟා කර ගැනීම සහ හමුදාවට ප්‍රමුඛත්වය ලබා දීම යි. 

මේ සියල්ල මඟින් කිම් ඉල් සුන් පැවසීමට උත්සාහ කළේ සෝවියට් දේශය කළාක් මෙන් ධනවාදය හරහා සමාජවාදය වෙත ගමන් කිරීම අනවශ්‍ය බව ය. තම රට ඍජුව ම සමාජවාදය කරා ගමන් ගැනීමේ මාර්ගයට අවතීර්ණ කරවීමේ එක ම ක්‍රමය “ජුසේ” ක්‍රමය බව ඔහු විශ්වාස කළේ ය.

මදින් මද ඔවුන් ඉදිරියට පා තැබූ අතර කලක් ගත වද්දී අනෙකුත් බලවත් රටවල් උතුරු කොරියාවට ණය ලබා දීමට ද පෙළඹිණි. වරින් වර ස්වාධීන වෙමින් ද, නැවතත් සෝවියට් රුසියාවට අනුගාමී වෙමින් ද නැඟී සිටීමට එම ප්‍රදේශය උත්සාහ ගත් බව පෙනේ. 

ඔවුන්ගේ ආයුධ පැරැණි වන අතර, එබැවින් ඔවුන් න්‍යෂ්ටික අවි මෙන් ම බැලැස්ටික මිසයිල ද අත්හදා බැලීමට පෙළඹී තිබේ. එහෙත් මිලියන 25 පමණ වන ජනතාවගෙන් මිලියනයක් ම උතුරු කොරියානු හමුදාවේ සාමාජිකයන් වන බව ඇසීම අන් රටවල නායකයක්ගේ ලොමු දැහැගන්වන ආරංචියක් බවට පත් වී ඇත.

ඒක පාක්ෂික පාලනය.

කොරියාවේ මුල් ආගම වූයේ කොන්ෆියුසියානු දර්ශනය යි. එමඟ අනුව යමින් කිම් ඉල් සුන් ඒක පාක්ෂික පවුල් පාලනයකට මඟ සැලසුවේ ය. එහි දී සිදු වන්නේ පාලකයා රටේ ජනතාවගේ සුභ සිද්ධිය සලසමින් ඔවුන් පිළිබඳ පෞද්ගලික ව සොයා බලන අතර, ජනතාව ප්‍රශ්න නැඟීමකින් තොර ව පාලකයාට අවනත වීම ය. 

මෙම සොයා බැලීම නිරන්තරයෙන් සිදු වන බවට සාක්ෂි අවශ්‍ය වන බැවින් කිම් ඉල් කළේ වරින් වර ගොවිපළවල්, ක්‍රීඩාපිට්ටනි, කම්හල් ආදී ස්ථානවලට ගොස් උපදෙස් ලබා දීම ය. මෙම ක්‍රියාවලිය සිදු කෙරුණේ සතියකට වරක් හෝ මසකට වරක් වුවත්, රජයේ මාධ්‍ය තුළ දිනපතා එවැනි වාර්තා ලියවුණු අතර, ඡායාරූප ද ප්‍රසිද්ධ කෙරිණි. එබැවින් පාලකයා තමා පිළිබඳ සොයා බලන බවට ජනතාව තුළ විශ්වාසයක් ඇති විය.

මෙසේ පහසුවෙන් ම ජනතා සහාය ලබා ගත් කිම් ඉල් සහ ඔහුගේ අනුගාමිකයෝ, මෙයින් මතු උතුරු කොරියාවේ පැවතිය යුත්තේ පවුල් පාලනයක් පමණක් වන බවට නීති සම්මත කර ගත්හ. ඔහු ජීවත් ව සිටියෙ දී ම ඊළඟ අනුප්‍රාප්තිකයා වශයෙන් සිය පුතණුවන් වන කිම් ජොන් ඉල් පුහුණු කළේ ය. 

1994 දී කිම් ඉල් සුන් මිය ගිය පසු ඔහුගේ පුත්‍රයා එක්වර ම නායකත්වය භාර ගත්තේ නැත. මුල් නායකත්වයට ගෞරව කරනු වස් ඔහු වසර තුනක් තිස්සේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පමණක් කටයුතු කළේ ය. නායක තනතුර භාර ගත් පසු ද ඔහු තීරණය කළේ මෙයින් අනතුරුව කිසිදු අනුප්‍රාප්තිකයෙකු උතුරු කොරියාවේ  ජනාධිපති තනතුර හොබවන්නේ නැති බවත්, එම තනතුර සදාකාලයට ම නැසී ගිය සිය පියාගේ නාමයට වෙන් කොට තිබෙන බවත් ය. එනම්, කිම් ඉල් සුන් යනු එම රටේ “සදාතනික නායකයා” ය. 

උතුරු කොරියාවේ මැතිවරණ ක්‍රමයක් පැවතිය ද, එහි දී තරඟ කරනුයේ එක් පක්ෂයක් පමණි. පක්ෂය තුළ එක් එක් තනතුරු සඳහා ඡන්දය ඉල්ලීමට මන්ත්‍රීවරුන්ට හැකි වන අතර, පක්ෂයේ සභාපතීත්වය එනම්, රටෙහි නායකත්වය පමණක් පියාගෙන් පුතාට හුවමාරු වේ. පසුගිය දිනවල දී වත්මන් නායකයා මිය ගිය බවට ලැබුණු සාවද්‍ය තොරතුරුවලින් පසු ජාත්‍යන්තරය මීළඟ නායකත්වය පිළිබඳ සැක පහළ කළේ එබැවිනි.

වත්මන් නායක කිම් ජොන් අන්ගේ පුතණුවන්ට තවම වයස දහයක් වන අතර දෙවන විසඳුම වන කිම් ජොන්ගේ නැගණිය හෙවත් “කිම් යෝ ජොන්” ගැහැනියකි. පුරුෂ මූලික සමාජයක් සහිත උතුරු කොරියාවේ ගැහැනියකට නායක තනතුර දැරීමට ඉඩ නොමැත. තෙවන විසඳුම වන්නේ කිම් ජොන්ගේ වැඩිමහල් සොහොයුරු වන “කිම් ජොන් චුල්” ය.  එහෙත් ඔහුට දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නැත. “එරික් ක්ලැප්ටන්” නම් ගායකයාගේ ගීත පිළිබඳ ඔහුගේ උනන්දුව ඊට වඩා වැඩි ය. අවසන් විසඳුම වන “කිම් පියොන්ග් ඉල්” වත්මන් නායකයාගේ ඥාති සොයුරෙකි. ඔහු තානාපතිවරයෙකු වන අතර සිය මව්රටට පා තබා ඇත්තේ ගිය වසරේ ය. එබැවින් හදිසියේවත් කිම් ජොන් අන් මිය ගියහොත් බොහෝ දුරට සිදු වනු ඇත්තේ අන්තර්වාර නායකත්වයක් සඳහා ජනතාව අතර වැඩි වශයෙන් ජනප්‍රිය වූ හමුදා ජනරාල්වරයෙකු අතට රට පත් කිරීම ය.

දැනට වසර 65ක් පමණ තිස්සේ කිම් ඉල් සුන්ගේ “ජුසේ” දර්ශනය ක්‍රියාත්මක වෙමින් පැවතිය ද, අද දක්වා එහි කිසිදු වෙනසක් සිදු කිරීමට එරට ජනතාව උත්සුක වී නොමැති බව පෙනේ. තව ද අදාළ දර්ශනය තුළ වෙනස් කළ යුතු හෝ අලුතින් එකතු කළ යුතු වූ කිසිවක් ඇති බවට පාලක පක්ෂය විශ්වාස කරන්නේ ද නැත. එබැවින් වර්තමාන උතුරු කොරියාව මුළු ලොවෙන් ම හුදෙකලා වූ රාජ්‍යයක් බවට පත් වෙමින් පවතී.

ශ්‍රීනි ලංකා ජයකොඩි