Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉරුවාරදයට විද්‍යුත් ජල පටි ප්‍රතිකර්මය.

ඔබට මහන්සි ද? ඉරුවාරදය නිසා පීඩා විඳිනවා ද? නැත්නම් කාංසාවෙන් පෙළෙනවා ද? 19 වන ශතවර්ෂයේ දී මේ සියල්ලට ම පිළිතුර වූයේ අයිසැක් පුල්වර්මාකර්ගේ සුප්‍රසිද්ධ “ජල විදුලි පටිය” යි. කව්බෝයිලාගේ වෙඩි නොවදින පටිය මෙන් හැඩ ගැසී ඇති මෙම උපකරණය සැබවින්ම කුඩා බැටරි මාලාවකි. මෙම ඉලෙක්ට්‍රෝඩ පටිය ශරීරයේ අවශ්‍ය ස්ථානයක් වෙත සවිකර ගත් පසු ඔබේ මාංශය හරහා විදුලි ධාරාවක් ගමන් කරවිය හැකිය.

1851 දී ලන්ඩනයේ ක්‍රිස්ටල් පැලස්හි පැවති පළමු ලෝක ප්‍රදර්ශනයට පවා තබා තිබූ මෙම උපකරණය ඉතා ඉක්මනින් ලොව පුරා කතාබහට ලක්විය. වසරකට 50,000ක් පමණ දෙනා එය නැරඹීමට පැමිණෙමින් සිටි බවට වාර්තා වේ. 1860 ගණන්වල අග භාගයේ දී පමණ චාල්ස් ඩිකන්ස් නම් කතුවරයා සිය පාදයේ වේදනාවකින් පීඩා වින්දේ ය. නිළියක වන මාරි බැන්ක්‍රොෆ්ට්ගේ උපදෙස් පරිදි ඔහු පුල්වර්මාකර්ගේ “මැජික් පටිය” ඇණවුම් කළේය. එහෙත් ප්‍රතිඵලය වාර්තා කිරීමට රෝගියා දිවි ගලවා ගත්තේ නැත. පුල්වර්මාකර්ගේ පටිය ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ගේ නවකතාවක් වන “එමා බොවාරි” ග්‍රන්ථයේ පවා සඳහන් වේ. එහි දී ඖෂධවේදියෙකු වන මොන්සියර් හෝමයිස්, මෙම පටිය භාවිතයෙන් විශ්මයජනක ලිංගික තෘප්තියක් ලබා දෙයි.

මෙම විද්‍යුත් චිකිත්සාව ආදි යුගයේ දී පවා සිදු ව තිබේ. වාර්තාවලට අනුව ක්‍රි.පූ. 48 දී, ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ වෛද්‍යවරයා වූ ස්ක්‍රිබෝනියස් ලාර්ගස්, ඉරුවාරදය සුව කිරීම සඳහා විදුලි ටෝර්පිඩෝ මාළුවෙකු රෝගියාගේ හිස මත තැබීමට නිර්දේශ කර ඇත. ශරීරය වෙත විදුලියෙන් සිදු කෙරෙන බලපෑම් ගවේෂණය කිරීමට පසුකාලීන විද්‍යාඥයෝ ඉක්මන් වූහ. නිදසුනක් වශයෙන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, උමතු වීම හේතුවෙන් ස්ත්‍රියකට ඇති වූ වේදනාව සුව කිරීම සඳහා ස්ථිතික විදුලි කම්පනයක් යෙදීමට උත්සාහ කර තිබේ.

පුල්වර්මාකර්ගේ පටිය තුළ ඇති බැටරි ගණන සහ ශරීරයේ හෝ හිස්කබලේ ඇති ඉලෙක්ට්‍රෝඩවල පිහිටීම වෙනස් කිරීමෙන් හිසරදය, රූමටික උණ, අතීසාරය, හෘද ස්පන්දනය, තෙහෙට්ටුව සහ සාමාන්‍ය ස්නායු රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා උපකරණය අනුගත කළ හැකි විය. විශේෂයෙන් පුරුෂ ලිංගික බෙලහීනතාව දුරු කිරීම සඳහා මෙම විද්‍යුත් ජල ප්‍රතිකාරය අතිශයින් සාර්ථක වූ බවට සාක්ෂි තිබේ. ඉඳහිට ඉලෙක්ට්‍රෝඩ වටා ඇති සමෙහි තුවාල ඇතිවීම හැරුණු විට පුල්වර්මාකර්ගේ සමාගම සිය උපාංගය හේතුවෙන් ඇති වූ කිසිදු අතුරු ආබාධයකට විසඳුම් ලබා නොදුන් අතර, විදුලි බලයේ සංවේදනය ඉහළ බලයකින් යෙදීමෙන් නොයෙක් අතුරු ආබාධ ඇති විය හැකි බවට ද අනතුරු අඟවා සිටියහ.

ආඝාතය සුව කිරීම, නිදන්ගත වේදනාව සමනය කිරීම සහ පාකින්සන් රෝගයේ ලක්ෂණ සමනය කිරීම යනාදී කරුණු සඳහා විද්‍යුත් ජල තාක්‍ෂණය අදටත් ප්‍රතිකාර සඳහා යොදා ගැනෙයි. සමහර අත්හදා බැලීම්වලට අනුව එමඟින් මතකය සහ ගණිත කුසලතා ඉහළ නැංවිය හැකි ය. කෙසේ වෙතත්, මෙම ප්‍රතිලාභ සනාථ කිරීමට පෙර වෛද්‍යවරුන් විසින් විශාල සායනික අත්හදා බැලීම් කළ යුතු ය.

මානසික ආබාධ සඳහා සිදුරු විදීම.

1940 සහ 50 දශකවල දී මානසික රෝගීන්ගේ ආබාධ සුව කිරීම සඳහා අපූරු උපකරණයක් යොදා ගන්න ලදී. එකල විසූ වෛද්‍යවරුන් සිතුවේ මානසික ආබාධවලට කළ හැකි වඩාත් සුදුසු ප්‍රතිකාරය වන්නේ හිස් කබලෙහි සිදුරු කිහිපයක් විදීම බව ය. මෙකල අප සාමාන්‍යයෙන් වාහනයක රෝදයක් මාරු කිරීමේ දී, රෝදය සම්බන්ධ කොට ඇති ඇණ ගැලවීම සඳහා යොදා ගන්නා අත් බුරුමයක් වැනි උපකරණයක් සිහියට නඟා ගන්න. ඉහත සඳහන් කළ සිදුරු විදීම සඳහා ඔවුන් උපයෝගී කොට ගෙන තිබුණේ එම අත් බුරුමය යි.

එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වූවාට සැක නැත. මන්දයත් බුරුමය හිසේ නියමිත ස්ථානයන්හි රැඳවූ පසුව ඊට මිටියකින් පහර දී හිස්කබල සිදුරු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත් බැවිනි. මෙම උපකරණය ඇසුරු කොට ගෙන මොළයේ ඉදිරිපස හා මධ්‍යම කොටස් සම්බන්ධ කෙරෙන තන්තු ඉවත් කරන ලදී. ඔවුන්ගේ නිගමනයන්ට අනුව එයින් පසු අදාළ රෝගියා සුව විය යුතු ය. පුදුමයකට මෙන් මෙම ප්‍රතිකාරයෙන් පසු ඇතැම් රෝගීහු සුව වූහ. එහෙත් සුළු ආබාධ සහිත ව රෝහල්ගත ව සිටි සමහරක් රෝගීන් එක්කෝ අධික ආබාධිත තත්ත්වයට පත් විය. නැතහොත් මිය ගියහ. එහෙයින් වැඩි කල් නොගොස් ම අත් බුරුමය රෝහල්වලින් ඉවත් කෙරිණි. එහි තිබූ අමානුෂිකභාවය ද මෙම ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවට සැක නැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author