Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉබෝලා වෛරසය.

<> on October 5, 2014 in Monrovia, Liberia.

කොවිඩ් 19 වසංගතයෙන් 13 වන මරණයත් වාර්තා වී ඇති මේ දිනවල දී, මෙවැනි ම ආකාරයෙන් ලොවට පහර දුන් ඉබෝලා වෛරසය ද සිහියට නැඟෙන්නේ නිතැතිනි. එය වඩාත් දරුණු අන්දමින් පැතිර ගියේ අප්‍රිකානු රටවල ය. විශේෂයෙන් බටහිර අප්‍රිකානු කලාපයේ ෆ්‍රීටවුන් වැනි නගර මෙම වසංගතයෙන් මහත් පීඩාවට පත් වූ බව පෙනේ. 2018 වසර අවසන් වන තුරුත් ඉබෝලා වසංගතයෙන් බේරීමට මඟක් සොයා ගැනීම දුෂ්කර විය. ආසන්න යුගයේ පැතිරුණු බොහෝ ඉබෝලා වසංගතවලට හේතු වූයේ “සයරේ ඉබෝලා වෛරස්” ලෙස හැඳින්වුණු වෛරසය යි. එය ඉබෝලා වෛරස කුලයට අයත් විශේෂ හයෙන් එකකි. මෙය ද ඇතුළු ව දැනට හඳුනා ගෙන ඇති ඉබෝලා වයිරස හයෙන් පහක් ම මිනිසුන් හා අනෙකුත් ක්ෂීරපායීන් තුළ දරුණු හා බොහෝ විට මාරාන්තික රක්තපාත උණ ඇති කරයි. එ්වා නම්, “සයරේ, බන්ඩිබග්යෝ, සූඩාන්, රෙස්ටන්” හා “තායි ෆොරස්ට්” ය. මෙම විශේෂ පහ “ඉබෝලා වෛරස රෝග” (EVD) වශයෙන් ද හැඳින්වේ. මිනිස් මරණවලින් බහුතරයක් ඒ හරහා සිදු වන අතර, බටහිර අප්‍රිකාවේ 2014 – 2016 වසංගතයට හේතුව වූයේ “සයරේ” නම් වූ විශේෂය යි. 

මෙය “සයරේ” යනුවෙන් හැඳින්වූයේ රෝගය මුලින් ම හට ගත්තේ කොංගෝ ජනපදයට අයත් සයරේ ප්‍රාන්තයෙන් වන බැවිනි. “ඉබෝලා” යන නම ලැබුණේ ද කොංගෝවේ ඉබෝලා නම් වූ ගංගාව හේතුවෙනි. 1976 වසරේ එම ප්‍රාන්තයට අයත් ගම්මානයක් තුළ පැතිර යමින් තිබියෙ දී හඳුනා ගන්නා ලද අමුතු රෝගය කුමක්දැයි හරිහැටි වටහා ගැනීමට එහි සිටි වෛද්‍යවරුන්ට හැකිවූයේ නැත. එබැවින් ඔවුන් ප්‍රතිකාර ලබා දුන්නේ රෝගය මැලේරියා උණ වශයෙන් සලකා ය. නිවැරැදි ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් පළමුවෙන් රෝගය ආසාදනය වූ 318 දෙනාගෙන් 140ක් ම මිය ගිය අතර ඉතිරි වූයේ 38 දෙනෙකු පමණි. මෙලෙස ආරම්භ වූ වෛරසය, පසුව බොහෝ ප්‍රදේශ කරා ව්‍යාප්ත ව ගියේ ය. රෝග වෘප්තියට මූලික හේතුව වූයේ අපිරිසිඳුකම යි. එම යුගය වන විට සයරේ නගරය තුළ ජනගහණය මිලියන 43ක් පමණ වූ නමුත් පිරිසිඳු පානීය ජල පහසුකම් ලබා ගත හැකි ව තිබුණේ ඉන් 14%කට පමණි. දෙවන වරට තරමක් බරපතල ආකාරයෙන් ඉබෝලා වෛරසය පැතිරීමට පටන් ගත්තේ 1994 වසරේ දී පමණ ය. එහෙත් අතීසාරය, මැලේරියාව ආදී රෝග අතර මෙම රෝගය සැඟව ගියේ ය. එහෙයින් එම වසරේ අප්‍රේල් පමණ වන තුරු රෝගය නිවැරදි ව නම් කර ගත නොහැකි විය. හඳුනා ගන්නා විට ආසාදිතයින්ගෙන් 92%ක් ම මාරාන්තික තත්ත්වයට පත් ව තිබිණි.

1976 වසරේ සිට මේ දක්වා 40 වතාවක් පමණ වරින් වර පැතිරුණු මෙම ඉබෝලා වසංගතයේ මූලාශ්‍රය වන්නේ වවුලන්, හෙවත් විශේෂයෙන් පලතුරු වවුලන් ය. තව ද වැසි වනාන්තර ආශ්‍රිත ව ජීවත් වන ඇතැම් ගෝත්‍රිකයන්ට වෛරසය ආසාදනය වී තිබුණේ රෝගය වැළඳී මිය ගිය වඳුරු කුලයට අයත් සතුන්ගෙන් ය. එය මිනිසුන් හරහා පැතිරෙන්නේ තරල සම්ප්‍රේෂණය මඟිනි. එනම් කෙළ, සොටු, සෙම, මව්කිරි, රුධිරය,ශුක්‍ර තරල හා යෝනි ශ්‍රාවය වැනි ආකාරවලිනි. එබැවින් කැස්ස, කිවිසීම ආදී ශ්වසනය නිසා ඇති වන අනතුරුදායක තත්ත්වය මෙහි දී අවම ය. ඉබෝලා වෛරසයේ බෝ වීම ද දින 7 සිට 21 දක්වා පමණක් වේ. එම කාලය ඇතුළත ප්‍රවේශම් වී සිටියහොත් නීරෝගී පුද්ගලයින් හට රෝගයෙන් බේරීමට හැකි වනු ඇත. මන්දයත් බොහෝ දුරට දින 21න් පසු අවාසනාවන්ත අන්දමින් රෝගියා මිය යන හෙයිනි. ඉබෝලා රෝගයේ මාරාන්තික අනුපාතය 83%  සිට 90% දක්වා වෙයි. වෛරසයෙන් සිදු වන්නේ රුධිර නාලවලට පහර දීම යි. රෝගය වැළඳුණු විට ශරීර උෂ්ණත්වය පාලනය කළ නොහැකි අන්දමින් ඉහළ නඟින අතර අනතුරුව ශරීරයෙන් ලේ ගැලීමට පටන් ගනී. මරණය සිදු වන්නේ අධික රුධිර ගලනය හේතුවෙන් ඇති වන කම්පන තත්ත්වයක් නිසාවෙන් හෝ හෘදයාබාධය වැළඳීමෙනි. මූලික රෝග ලක්ෂණ වශයෙන් අධික හිසරදය, උණ, සිරුරේ වේදනාව ආදිය සැලකිය හැකි ය. 

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වූ පළමු සාර්ථක එන්නත නිකුත් කෙරුණේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ය. ඒ වන තෙක් රෝගීහු හැකි පමණින් සිය ජීවිත බේරා ගැනීමට උත්සාහ කළහ. එහෙත් බොහෝ දෙනෙකුගේ උත්සාහයන් සඵල වූයේ නැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.