Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දු – ඕසී ගිවිසුම.

ඉන්දියාව හා ඕස්⁣ට්‍රේලියාව එක් ව “අන්‍යෝන්‍ය කාර්යය සම්පාදන සහයෝගිතා ගිවිසුම” යනුවෙන් සම්මුතියක් අත්සන් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා දින ඉන්දියානු අග්‍රාමාත්‍ය “නරේන්ද්‍ර මෝදි” සහ ඕස්⁣ට්‍රේලියානු අගමැති “ස්කොට් මොරිසන්” සහභාගී වූ අතථ්‍ය සමුළුවක දී මෙම තීරණය ගෙන ඇත.

මෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ රටවල් දෙක අතර යුධමය සම්බන්ධතා සහ සයිබර් තාක්ෂණය දියුණු කිරීම ය. මෙම ගිවිසුම හරහා විශේෂයෙන් රටවල් දෙකට අයත් යුධ නැව් හා ගුවන් යානාවලට ඉන්ධන පිරවීමත්, ඒවායේ නඩත්තු කටයුතුත් අදාළ රටවල් දෙකෙන් ඕනෑම රටක දී සිදු කර ගැනීමට අවසර ලැබෙන අතර, දෙරට සහයෝගයෙන් යුධ අභ්‍යාසවල නිරත වීමට ද අවස්ථාව ලැබේ. තව ද, අන්තර්ජාලය හරහා තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

වඩාත් පුළුල් ව බැලීමේ දී චීනයේ යුධමය හා ආර්ථික බරට එරෙහි ව යාමට සෙසු රටවල් ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මෙවැන්නක් කළ බව ද සිතිය හැකි ය. එසේ නොවන්නේ නම් හදිසියේ යුධ ගිවිසුමක් අත්සන් කිරීමට හේතුවක් නැත. පසුගිය සති කිහිපය තුළ දී ඉන්දියාව හා චීනය අතර දේශසීමා ගැටුම් ඉහළ ගියේ ය. එකදු උණ්ඩයක්වත් හුවමාරු නොවුව ද ටිබෙටයට ආසන්න ප්‍රදේශවල නොයෙක් ගැටලු දක්නට ලැබිණි. 

ඒ අතර ම ඕස්⁣ට්‍රේලියාව හා චීනය අතර ද ආර්ථික සම්බන්ධතා පළුදු වී තිබේ. ඔවුනගේ විශාලතම ගැනුම්කරුවා චීනය වුව ද, වූහාන් නගරයෙන් ආරම්භ වූ වසංගත ගැටලුවත් සමඟ දෙරට අතර වෙළඳ ගැටුම් ඇති විය. එහෙයින් එම ඉන්දියාවත් ඕස්⁣ට්‍රේලියාවත් එක් වී පොදු සතුරා පරාජය කිරීමට ගත් පියවරක් වශයෙන් මෙම “අන්‍යෝන්‍ය කාර්ය සම්පාදන සහයෝගිතා ගිවිසුම” දැක්විය හැකි ය.