Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය  කෙසේ වෙනස් විය යුතු ද?

 “තිබූ තැනක සොර  සතුරන් ගත නොහෙනා…

එසැඩ මනා වත් වතුරෙන් වල නොහෙනා

කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා  ” 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ  පවතින්නා වූ දුබලතා පිළිබඳ ව මේ දිනවල දැඩි කතා කතාබහට ලක් ව ඇති අතර රාජ්‍ය තන්ත්‍රය තුළ ද ප්‍රාමාණික විද්වතුන් තුළ ද නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමවේදයන් තවමත් සාම්ප්‍රදායික ක්‍රමයකට කොටුව පැවතිය ද , ලෝකයේ බොහෝ දියුණු රටවල් එම  තත්ත්වයට පත්වී ඇත්තේ සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන  කාර්ය ශූර දැනුම සපිරි නිර්මාණශීලී ප්‍රායෝගික ප්‍රජාවක් බිහි කර ගෙන ඇති නිසාය. ගෝලීය තාක්ෂණික විප්ලවයට ඔරොත්තු දිය හැකි සිය සංවර්ධන ඉලක්ක සපුරා ගත් ප්‍රජාවක් නිර්මාණය කරනු වස් ඉදිරි දශකයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මියගේ උපදේශකත්වයෙන් , අධ්‍යාපන සමාජ විද්‍යාව හා අධ්‍යාපන මනෝවිද්‍යාව  යන විෂය ක්ෂේත්‍ර  ආශ්‍රිතව , එම සරසවියේ ශ්‍රාස්ත්‍ර පති උපාධි අපේක්ෂක විද්‍යාර්ථීයන්  පිරිසක් විසින් අධ්‍යාපන  සැලැස්මක් සකස් කෙරුණි .

අධ්‍යාපනය සම්බන්ධයෙන් මහත්මා ගාන්ධිතුමාගේ නිර්වචනය පදනම් කර ගනිමින් සිය අධ්‍යාපන සැලැස්ම සකස් කිරීම විද්‍යාර්ථීයන්ගේ අරමුණ විය .එතුමා ගේ  නිර්චනය වූ  “අධ්‍යාපනය තුළින් හිස , හදවත සහ අත සංවර්ධනය කිරීම සිදු කරයි  “යන නිර්වචනය මගින් මතු කර දක්වන ප්‍රජාවක්  නිර්මාණය කිරීම හරහා රට සංවර්ධන මාවතකට යොමු කළ හැකිය .

අධ්‍යාපන සැලසුම හරහා සමාජගත කරන පුද්ගලයන්  කෙබදු ද ?

අධ්‍යාපන ඉලක්ක සපුරාගත නොහැකි නමුත් තම කුසලතා මත ජීවිතයට අභියෝගාත්මක ව මුහුණ දියහැකි දිරිය ප්‍රජාවක්.. සහ යහ-සමාජයක් නිර්මාණය වන්නේ මිනිසුන් සතුටින් සිටිනා විටදී ය . අපි තැනිය යුත්තේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගත් ජීවිත විඳවන මිනිසුන් නොව  ජීවිතය විඳින ප්‍රජාවකි. සක්‍රීය හිසක් තිබී අක්‍රීය හදවතක් ඇත්නම්  සංවේදී   ප්‍රජාවක් ඇති නොවේ .

සක්‍රීය හදවතක් තිබී අක්‍රිය හිසක් ඇත්නම් රටට ඵලදායි සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක. අධ්‍යාපනය තුළින් සාක්ෂාත් කරගන්නා  දැනුම ප්‍රායෝගික ලෙස යොදා ගත හැකි තාර්කික බුද්ධිය සහිත  විචාරාත්මක ලෙස සිතන එල්ලය බලා තීන්දු තීරණ ගත හැකි ප්‍රජාවක් .

 සෑම පැය දොළහකට වරක්ම දිව්ගුණනය වන මානව දැනුම සමග සමාන්තරව ගමන් කළ හැකි ප්‍රජාවක් .

මානව සංවර්ධන සැලැස්මක් රටේ ආර්ථික, සංස්කෘතික  , සාමාජීය පරිසරය සමග බද්ධ විය යුතුය. අධ්‍යාපනය සැලසුම මහ පොළොව මත යථාර්ථයක් වන්නේ ශ්‍රී ලාංකේය  සමාජ සංස්කෘතික ආර්ථික රිද්මය සමග බද්ධ වූ විට ය. නො එසේනම් එය  ප්‍රායෝගිකත්වයෙන් විතැන් වූ අසාර්ථක සැලසුමක් බවට පත්වේ.

 අධ්‍යාපන සැලසුමේ සැලසුම් ඒ ස්වභාවය

 50 %  ක් ශිෂ්‍ය කේන්ද්‍රිය යෙදවුම් හරහා සිදු වීම.

 50 % ක්   ගුරු කේන්ද්‍රීය යෙදවුම් හරහා සිදු වීම.

 මෙසේ 50 % ක ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක්  හා  50% ක  ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට හේතු වන්නේ  සියයට සියයක් ශිෂ්‍ය කේන්ද්‍රීය යෙදවුම් යෙදීමේ ප්‍රායෝගික ගැටලු ගැටළු රැසක් පැවතීම හා සියයට සියයක් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතින ගැටලු රැසක් කණ්ඩායමක් ලෙස අප හඳුනා ගත් නිසාය.

සම්පූර්ණ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවට නොගැළපෙන්නේ ඇයි ?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය තුළ සම්පත් බෙදී බෙදීයාමේ අසමතුලිත බව 

ජාතික පාසැල්   –  373 පළාත් සභා පාසල්   – 9782

විද්‍යා විෂය ධාරාවන් පවතින පාසල් –  735  උසස් පෙළ කලා වාණිජ විෂය ධාරාව සහිත පාසල් – 2041

සාමාන්‍ය පෙළ දක්වා පන්ති සහිත පාසල්

ශ්‍රේණිය දක්වා පන්ති සහිත පාසල්  – 2041

3-8 ශ්‍රේණි දක්වා පන්ති සහිත පාසල් -3125

මෙලෙස පාසල් වර්ග වීම සහ සම්පත්  බෙදී යාමේ පවතින අසමතුලිත බව හා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවේ.

 ශ්‍රී ලංකාවේ පවතින සමාජ සංස්කෘතික ආර්ථික පසුබිම

ජනප්‍රිය තලයේ පාසල් වල දරුවන් තුළ ස්වයං අභිප්‍රේරණය පවතී .එහෙයින් ඔවුන් දැනුම හඹා යයි .නමුත් නාගරික හා ග්‍රාමීය දරිද්‍රතාවෙන් පෙළෙන, විවිධ වූ ප්‍රශ්න ගැටලු පවතින පවුල් පසුබිමක් ඇති දරුවන් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය තුළින් පාසල් හැර යාමේ ප්‍රවණතාවක් සිදු විය හැකි යැයි  පුරෝකථනය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ  අධ්‍යාපනය සදහා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කර ඇති මුදල සාපේක්ෂව අවම අගයක් වීම.

 දියුණු අධ්‍යාපන ක්‍රමවේදයන් ලෙස ශිෂ්‍ය කේන්ද්‍රිය  අධ්‍යාපනය ක්‍රියාත්මක වන  පින්ලන්තයේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2% වැනි ඉහළ ප්‍රතිශතයක් වෙන් කර තිබියදී ශ්‍රී ලංකාව තවමත් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ  1.9% ක් වැනි සුළු අගයකි.ශිෂ්‍ය  කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රියාත්මක කරවීම සඳහා මෙම මූල්‍යමය  වෙන් කිරීම ප්‍රමාණවත් නොවේ .

ශිෂ්‍ය ඇගයුම් ක්‍රමවේදය විවිධ ගැටලුකාරී ස්වභාවයන් මතු වීම

 මෙහිදී සිසු ඇගයුම් ක්‍රමවේදය ගුරුභූමිකාව වෙත පැවරීම හරහා ගුරුවරයාගේ රුචිකත්වය මත හා පෞද්ගලික දැන හැඳුනුම්කම සාධාරණ ගුරු භූමිකාවක්  අපේක්ෂා කළ නොහැකිය. එමගින් නිසි ඇගයුම් ක්‍රම වේදයක්  ක්‍රියාත්මක නොවිය හැක.

සම්පූර්ණ ගුරු කේන්ද්‍රිය අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවට නොගැළපෙන්නේ ඇයි ?

  •  සාම්ප්‍රදායික දේශන ක්‍රමවේදය , සටහන් ක්‍රමවේදය මත සිසුවා සම්පූර්ණයෙන්ම යැපීම හේතුකොටගෙන නිදහස් චින්තන පරාසයක් වර්ධනය නොවූ ප්‍රජාවක් බිහිවීම .
  • දැනුම ප්‍රායෝගික ලෙස භාවිතයට නොගැනීම.
  •  සාමූහිකත්වය,  චිත්තවේග පාලනය , නායකත්වය දැරීම සන්නිවේදනය වැනි මෘදු කුසලතා සංවර්ධනය සිදු නොවීම .
  • ආකල්ප සංවර්ධනය සිදු නොවීම.
  •  පෞරුෂයෙන් තොරවීම.

 සමබර පෞරුෂයක් සහිත රටේ සංවර්ධනයට ඵලදායි  දායකත්වයක් සැපයිය හැකි ප්‍රජාවක් ඇති කිරීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කරමු .

පෙරපාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම්

පෙර පාසල් අධ්‍යාපනයේ පරමාර්ථ වන්නේ දරුවාගේ සම්පූර්ණ හැකියාවන් ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම හා ජීවිත කාලය පුරාම ඉගෙනීමට පදනම සැලසීමයි .

1. පෙර පාසැල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයේ කොටසක් කිරීම.

2.දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් සකස් කිරීම මෙහිදී හසුරු  කුසලතා සඳහා වැඩි ඉඩක් ලබා දීම වැදගත්ය.

3.අවම පහසුකම් සහිත පෙරපාසල් නගාසිටුවීම සඳහා රාජ්‍ය මට්ටමින් කටයුතු කිරීම.

4.පෙර පාසල මගින් ලබාදෙන වසරක අධ්‍යයන රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම.

5. පෙරපාසල් ගුරුවරුන් අධීක්ෂණ ක්‍රමවේදයකට යටත් කිරීම .

ප්‍රාථමික අධ්‍යාපනයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ

  ප්‍රාථමික අධ්‍යාපනය සාධනීය ලෙස වෙනස් කිරීමේ දී අපට ලොව හොඳම හොඳම අධ්‍යාපන ක්‍රමවේදය පවතින පින්ලන්තයෙන් ආදර්ශ ගත හැකිය  .

පින්ලන්තය

  • ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වයස අවුරුදු හතේදී
  • පවුලේ හිතවතුන් සමග දවසේ වැඩි කාලයක් ගත කිරීම
  • සහයෝගීතාවය වර්ධනය සහයෝගිතාවය වර්ධනය කිරීම අධ්‍යාපනයේ අරමුණ වීම.
  • වාර  පරීක්ෂණ නොමැත.

ශ්‍රී ලංකාව

  • ශ්‍රී ලංකාව වයස අවුරුදු 5-6  අතර කාලයේදී
  • අධ්‍යාපනය ආරම්භ වීම.
  • කුඩා කල පටන් අමතර පන්ති යාම.
  • තරගකාරී අධ්‍යාපනයට හුරු කිරීම .
  • වරින් වර විභාග පැවැත්වීම .
  1. මනෝ විද්‍යාඥයන්ගේ මතයට අනුව අධ්‍යාපනයෙ පසුබට භාවයට එක් හේතුවක් වන්නේ ඉගැන්වීමට අවශ්‍ය ප්‍රමාණයට ළමයා වර්ධනය වීමට පෙර අධ්‍යාපනය සඳහා යොමු කිරීමයි .එහෙයින්  ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භක වයස අවුරුදු 7 දක්වා වෙනස් කිරීම.
  2. ප්‍රාථමික අධ්‍යාපනයේ දී පළමු සහ දෙවන වසර ලිවීම  සහ කියවීම සඳහා ද සමාජ ආචාර ධර්ම ආචාරධර්ම හුරු කරවීමට ද මූලිකත්වය දීම.
  3. 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට එක් එක් සිසුන් පිළිබඳව දක්ෂතාවය මැනීමට ශ්‍රේණිගත ක්‍රමයක් සැකසීම .
  4. සියලු පාසැල් වල එක සමාන පහසුකම් සහිතව පාසැල් පද්ධතිය දියුණු කිරීම.
  5. ප්‍රාථමික ශ්‍රේණිවල එක් එක් පන්ති කාමරයක අවම සිසුන් ප්‍රමාණයක් තබා ගැනීම සහ ගුරුවරයාට අමතරව සහයකයෙක් යෙදවීම
  6. ශිෂ්‍ය කේන්ද්‍රීය යෙදවුම් ඔස්සේ තාක්ෂණය  ප්‍රාථමික පන්ති වල සිට විෂය නිර්දේශයට එකතු කිරීම .
  7. දරුවන්ගේ සමාජානුයෝජන ක්‍රියාවලියට දෙමාපිය මැදිහත් භාවය පිළිබඳ ව දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම .

ද්විතීක අධ්‍යාපනය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ

  1. විද්‍යාත්මක හා තාක්ෂණික අරමුණු ඉලක්ක  කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම .
  2. 7ශ්‍රේණිය සිට ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් ලබා ලබාදීම .මෙහිදී ළමා මනස පිළිබඳ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීම වැදගත්ය.
  3. නීතිය හා සමාජ මනෝ මනෝවිද්‍යාව  ද්විතීක  අධ්‍යාපනය විෂය නිර්දේශයට ඇතුලත් කිරීම
  4. ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් ද්විතීක අධ්‍යාපනය වෘත්තියාභිමුඛ කිරීම.
  5. ගැලපෙන පරිදි ශිෂ්‍ය කේන්ද්‍රීය  ඉගෙනුම් යෙදවුම්  යොදාගැනීම  ව්‍යාපෘති , ඉදිරිපත් කිරීම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් ආදිය
  6. විචාර පූර්ණ චින්තන කුසලතා වැඩි දියුණු කිරීම .
  7. පෞරුෂ වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.
  8. සිසුන්ට ඉගෙනීමේ රුචිය ඇති කරවන වඩාත් නම්‍යශීලී ඉගෙනුම් කාල සටහනක් තිබීම .
  9. චිත්තවේගීය බුද්ධිය සංවර්ධනය කෙරෙහි අවධානයක් යොමු කිරීම. උසස් රස වින්දනයක් ඇති කිරීම සඳහා ගීත , සිනමාව වේදිකාව කෙරෙහි සිසු නැඹුරුව ඇති කිරීම

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ

  1. විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ දී සලකා බලනු ලබන කඩයිම් ලකුණු ප්‍රමාණය අඩු කිරීම මගින් ළමුන් වැඩි ප්‍රමාණයකට රාජ්‍ය විශ්වවිද්‍යා වල දොරටු විවර කිරීම .
  2. විශ්වවිද්‍යාල සඳහා තෝරා තෝරාගනු ලබන වයස් සීමාව අඩු කිරීම හා තෝරා ගැනීමේ ක්‍රමය විධිමත් කිරීම.
  3. රැකියා වෙළෙඳ පොලට  ගැලපෙන ආකාරයේ විෂයයන් එක් කිරීම හා විෂයයන් යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  4. තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව පරිපූරක පාඨමාලාවක් නොව අනිවාර්ය පාඨමාලා බවට පත් කිරීම හා එය මුල් අදියරේ සිටම ක්‍රියාත්මක කිරීම .
  5. ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් හා විදේශ විශ්වවිද්‍යාල සිසුන් සමග සබඳතා ජාලයක් ඇති කිරීම මගින් අධ්‍යාපන දැනුම බෙදාහදා ගැනීමට ඉඩ සැලසීම.
  6. විදෙස් සිසුන්ට මෙරට අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය සලසා දීම හා මෙරට සිසුන්ට ද මූලික උපාධිය හදාරණ කාල සීමාව තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ අත්දැකීම් ලබා ගැනීමට ලබා ගැනීමට අවකාශය ලැබෙන ලෙස ප්‍රතිපත්ති සැකසීම.
  7. මතකය උරගා බලන විභාග ක්‍රමය වෙනසකට ලක් කිරීම .
  8. විශ්වවිද්‍යාල තුළ හදාරනු ලබන විෂයට සාපේක්ෂව ප්‍රායෝගික පුහුණුව අධ්‍යාපනය අතරතුර ලබා ලබා දීමට අවකාශය සැලසීම.
  9. පොතපත අධ්‍යනයට පමණක් නොව ගවේෂණාත්මක අධ්‍යයනය වෙත විද්‍යාර්ථීන් යොමු කිරීම මගින් නව සොයාගැනීම් සඳහා යොමු කරවීම හා ඒ සඳහා උනන්දු කරවීම මෙන්ම ඒ  වෙනුවෙන් ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටියක් සකස් කිරීම.
  10. විශ්ව විද්‍යාලය තුල නවීන අධ්‍යාපන ක්‍රමයට සරිලන යටිතල පහසුකම් ගොඩනැංවීම හා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ පුරප්පාඩු නිසි පරිදි පිරවීමට  ක්‍රමවේදයක් සකස් කර වීම මෙන්ම ඒවා යාවත්කාලීන කරවීම.

විෂය සමගාමී හා බාහිර  ක්‍රියාකාරකම් වල වැදගත්කම

  1. කායික මානසික  සාමාජීය වශයෙන් සංවර්ධිත පුද්ගලයෙක් බිහි කිරීමට විෂය මාලාවට අමතරව විෂ සමගාමී ක්‍රියාකාරකම්ද වැදගත් වේ. එමෙන්ම දරුවාගේ සමාජානුයෝජනය , ආකල්ප කුසලතා වර්ධනයට , නිර්මාණශීලීත්වය වර්ධනයට විෂය බාහිර ක්‍රියාකාරකම් හා විෂය සමගාමී ක්‍රියාකාරකම්  වැදගත් වේ .
  2. විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් හඳුනාගැනීම , සංවිධානය කිරීමට හා ඇගයීමට සුදුසු කමිටුවක් පත් කිරීම
  3. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල වැදගත්කම පිළිබඳ දෙමාපියන් දරුවන් ගුරුවරුන් දැනුවත් කිරීම
  4. පාසල පිහිටි ප්‍රදේශය අනුව පවත්නා සම්පත් හඳුනා ගනිමින් , ප්‍රයෝජනයට ගනිමින්, විෂය සමගාමී කටයුතු සැලසුම් කිරීම.
  5. විෂය සමගාමී හා විශය බාහිර  ක්‍රියාකාරකම් විෂය මාලාවට කාලීන වැදගත්කමින්  යුතු නව්‍ය ක්‍රියාකාරකම් අනාගත වැඩ ලෝකය ඉලක්ක කර සැකසීම.
  6. ජාතික මට්ටමින් විෂය විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇගයීමට ක්‍රමවේද සැකසීම

වෘත්තීය අධ්‍යාපනය තුළ සිදුවිය යුතු වෙනස්කම්

ඵලදායි රැකියාවක් සඳහා අධ්‍යාපනය හා පුහුණුව රටක ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ . 21 වන සියවසට ගැලපෙන ආකාරයේ දරුවකු බිහි කිරීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය . ඵලදායිතාවය වැඩි දියුණු කිරීමට සහ දරිද්‍රතාවය අවම කිරීමට තාක්ෂණික වෘත්තිය අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව   (TVET) Technical and vocational education and training අත්‍යවශ්‍ය මෙවලමක් වේ .

  1. වයස අවුරුදු දොළහේ සිට පාසැල් අධ්‍යාපනය තුළින් ම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ යුතු අතර පාසලෙන් ඉවත්වන විට වෘත්තීයමය කුසලතාවයක් සහිතව ඉවත් විය හැකිය.
  2. මෙහිදී රැකියා වෙළදපොල සඳහා අත්‍යවශ්‍ය වෘත්තීය ශක්‍යතාවයන් පිළිබඳව පාසල තුළදී ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන හා එක්ව පාසැල් මට්ටමින් දැනුවත් කිරීම.
  3. ජනප්‍රියතාවය සහ ඉල්ලුම මත පවත්වාගෙන යන වෘත්තිය පාඨමාලා වෙනුවට වැඩ ලෝකයට අවශ්‍ය ශක්‍යතා සහිත ප්‍රායෝගික දැනුමකින් යුත්  වෙළඳපොල ඉල්ලුමට පාඨමාලා නිර්මාණය විය යුතුයි .
  4. වෘත්තිය අධ්‍යාපනයට යොමු වන දරුවන්ට රැකියාවක නිරත වන අතරතුර පුහුණුව ලැබීම සඳහා අවස්ථාව සදහා අවස්ථාව සලසා දීම .
  5. සියලුම NVQ සහතිකපත්‍ර මට්ටම් සඳහා සුදුසුකම් ලත් දේශකවරුන් ගෙන්  සමන්විත වූ අංග සම්පූර්ණ TVET  මධ්‍යස්ථාන දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවීම සහ සියලුම පාඨමාලා සඳහා පිළිගත් එක් සහතිකයක්  පිරිනැමීම
  6. මේ වන විට පවත්නා තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථාන ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ආයතන වල දායකත්වය ලබා ගනිමින් තත්ත්වයන් වැඩි දියුණු කිරීම සහ දරුවන්ට විදෙස් රටවල ශිෂ්‍යයන් සමග වෘත්තිය දැනුම බෙදා ගැනීමට අවස්ථා සලසා දීම .
  7. කාන්තාවන් සදහා පවතින වෘත්තිය පුහුණු පාඨමාලා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම.
  8. වෘත්තීය පුහුණු පාඨමාලා සමග භාෂා කුසලතාවය වර්ධනය කිරීම
  9. වෘත්තීය පුහුණු උපදේශකවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපදේශකවරුන් පුහුණු කිරීමේ පාඨමාලා හඳුන්වා දිය යුතු අතර එය දේශීය මෙන්ම විදේශ පුහුණුවක් වශයෙන් සකස් විය යුතුය .
  10. TVET සිසුන් සඳහා තොරතුරු වලින් සමන්විත වූ විශේෂයෙන්  වෙන් වූ වෙබ් අඩවියක් සකස් කිරීම .

මෙහිදී ,

  • අවට ප්‍රදේශවල පිහිටා ඇති තාක්ෂණික විද්‍යාල
    • ප්‍රදේශය මත පදනම්ව ලබාගත හැකි පාඨමාලාවෘත්තිය  මාර්ගෝපදේශනය   ප්‍රදේශයේ පවතින රැකියා
    • වීඩියෝ පදනම් කරගත් වෘත්තීය පුහුණු අධ්‍යාපනය  ආදීය ඇතුළත් කළ හැකිය .

ගුරුවරුන් බඳවා බඳවා ගැනීම ,පුහුණුව ආශ්‍රිත ගැටලු  සදහා පිළියම්

අධ්‍යාපනයේ  ගුරු භූමිකාව නිසි ලෙස ක්‍රියාත්මක නොවේ නම් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම අබූදයට ලක් වේ.

  1. ගුරු වෘත්තිය සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේදී  ගුරු විභාගයෙන් වැඩි ලකුණු ගත් පිරිස තෝරාගත යුතු අතර එමෙන්ම ඔවුන්ට ප්‍රායෝගික පුහුණුවක් හා සියලුම පුහුණුව ක්‍රමවත් ලෙස ලබා දීම .
  2. ගුරු ස්ථාන මාරු අවුරුදු දහයකට වරක් අනිවාර්ය කිරීම සහ එය කිසිදු හේතුවක් මත වෙනස් නොකිරීම .
  3. ගුරුවරුන්ට සෑම මසකට වරක් පරිගණක  සාක්ෂරතාවය පිළිබඳ පැය හයක පුහුණුවක් ලබා දීම .
  4. සිසුදරුවන් උදෙසා සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීමට ගුරුවරුන් තුළ ස්වයං අභිප්‍රේරණයක් ඇති කිරීම .

පුද්ගලික පන්ති ක්ෂේත්‍රයේ සිදු කළ යුතු වෙනස්කම්

මේ වන විට ටියුෂන් ව්‍යාපාරය ලාංකේය අධ්‍යාපනය කෙරෙහි එල්ල කරන්නා වූ බලපෑම සුළුපටු නොවේ .ටියුෂන්  සම්බන්ධයෙන් සමාජය තුළින් විවිධ වූ ප්‍රතිවිරෝධයන් කලින් කලට මතුවුවද ටියුෂන් ජාලයේ  වටිනාකම හෙවත් ආයෝජනය බිලියන 65 කි. ටියුෂන් ක්ෂේත්‍රය තුළින් විශාල පිරිසක්  යැපේ. නමුත් නියාමනය කළ යුතු බව රජයේ විසින් පිලිගෙන ඇත.  ඒ සඳහා අප කණ්ඩායම පහත යෝජනා ඉදිරිපත් කරමු.

  1. ටියුෂන් ප්‍රමිතිකරණය උදෙසා උගන්වන විෂය සම්බන්ධයෙන් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරා තිබීම නීතියක් ලෙස සම්මත කිරීම .
  2. ටියුෂන් සඳහා අයකරනු ලබන ගාස්තු පිළිබඳ නියාමනයක් ඇති කිරීම .
  3. ටියුෂන් පන්ති සදහා පවතින යටිතල පහසුකම් පිළිබඳ අධීක්ෂණයට යටත් කිරීම .
  4. ටියුෂන් සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබා දීමේ වැදගත්කම සලකා වෙනත් රටවල මෙන් බලපත්‍රයක් Teaching  license ලබා දීම .

ටියුෂන් පන්ති ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා ඉහත නියාමනයන් සිදුකර වෘත්තීයමය පිළිගැනීමක් නීත්‍යානුකූලව ලබාදීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ඵලදායි මාවතකට යොමු කළ හැකිය .

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තවදුරටත් පහත යෝජනා මාලාවක් ඉදිරිපත් කළ හැකිය .

  1. අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම .
  2. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසැල් අධීක්ෂණය කිරීම සඳහා පරිපූර්ණ නියාමන පද්ධතියක් සකස් කිරීම.
  3. උසස් පෙළ විෂය මාලා තෝරා ගැනීමේදී හැකියාව කුසලතාවය හා ලැදියාව අනුව පාඨමාලා තෝරාගැනීමට දෙමාපියන් හා දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම.
  4. අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය ආයෙත් එන අතර නිසි සම්බන්ධීකරණයක් පැවතීම .
  5. සිසු ඇගැයීම ජාතික මට්ටමෙන් හා පන්ති මට්ටමෙන් යන උභය පැතිකඩයන් ඔස්සේ සිදු කිරීම .
  6. විෂයමාලා සංවර්ධනය සඳහා ස්වාධීන ආයතනයක් ඇති කිරීම.
  7. මිශ්‍ර පාසල් පද්ධතියක අවශ්‍යතාවය .
  8. මුද්‍රණ හා පාරිසරික පිරිවැය අවම කිරීම සඳහා පෙළපොත් ඩිජිටල්  කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම.
  9. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කරන මුදල 6% දක්වා වැඩි කිරීම.
  10. අධ්‍යාපන පද්ධතිය තුළ ඕනෑම සහ සෑම ස්වරූපයක ම හිංසා හා ප්‍රචණ්ඩත්වය නැති කිරීම .
  11. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අපේක්ෂා කරන්නන් වෙනුවට ව්‍යසායකන් නිර්මාණය කිරීමට අදාල වැඩපිළිවෙලක් සැකසීම .

මේ වන විට අපගේ ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක්වී ඇති බව අප කවුරුත් දන්නා කරුණකි .ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කිරීමටත් එමගින් ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරීත්වය වර්ධනය කිරීමටත්  විධිමත් අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය මේ වන විට අපට තදින්ම දැනේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති විද්‍යාර්ථයින් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරින් සකසන ලදී.

© සැකසුම –  පී. ජයනි ඉෂාන්ති වීරසිංහ

About The Author