Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්

අපට ගැළපෙන අධ්‍යාපනය 

ඉදිරි දශකය සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදය කුමක් ද යන්න අප අවධානය යොමු කළ යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධන සැලසුම් මොනවා ද යන්න සහ ඒවාට අනුරූප වන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාවක් ද තිබේ. එසේ නැතහොත් ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සදහා අවශ්‍ය ඉහළ ආර්ථික වර්ධනයකට ගමන් කිරීමට අවශ්‍ය මානව ප්‍රාග්ධනය  සම්පාදනය කර ගැනීමට මෙන්ම අනාගත ගෝලීය වෙළෙඳපොල තරගකාරිත්වයට මුහුණ දීමට ද අපට දුෂ්කර වනු ඇත. මේ නිසා සුදුසු ප්‍රතිසංස්කරණ හරහා රට තුළ විධිමත් අධ්‍යාපන ක්‍රමයක්  ඇති කර ගැනීම ඉතාම වැදගත් වේ. මේ කියන ඉදිරි දශකය සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදය කුමක් ද යන්න ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රසාංජලී පෙරේරා මහත්මියගේ උපදේශකත්වයෙන් අධ්‍යාපන සමාජවිද්‍යාව සහ අධ්‍යාපන මනෝ විද්‍යාව යන විෂයට අදාළව එම සරසවියේ ශාස්ත්‍රපති උපාධි අපේක්ෂක විද්‍යාර්තීන් පිරිසක් පසුගිය දා අධ්‍යයනයක නිරත විය. එම අධ්‍යයනය පිළිබද ඉදිරිපත් කිරීමක් පසුගිය ඉරිදා (03) ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ දී සිදුකරන ලදී.

මහාචාර්ය රසාංජලී පෙරේරා

මෙම අධ්‍යයනයේ දී මූලික වශයෙන්ම සිදු වූයේ අධ්‍යාපනය යන්න සහ එහි අවස්ථා හා අභියෝග ගැන හඳුනාගෙන, එසේම වර්තමානයේ අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටළු සාකච්ජා කර, වෙනත් රටවල සාර්ථක අධ්‍යාපන ක්‍රම ගැන ද විමසුමට ලක්කර,  ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට නොගැලපෙන වත්මන් අධ්‍යාපන ක්‍රමයේ පසුගාමී තත්වය ද හඳුනා ගනිමින් ඉදිරි දශකය සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමයි. මේ අධ්‍යයනය සිදු කළ කණ්ඩායමට මහාචාර්ය සමන්ත සමරකෝන්, කල්ප ගුණරත්න,රංජිත් විතානගේ,නිපුන් සංජය හේමචන්ද්‍ර, සෙනරත් විමල් කුමාර, බී.එස් ලක්මාල්, අනුෂ්කා මාධවී සහ පබසරා  වෛද්‍යරත්න සහ මේ ලියුම්කරු ද  ඇතුළත් විය.

අධ්‍යයන කණ්ඩායම

අධ්‍යාපනය සම්බන්ධ නිර්වචන

අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ නිර්වචන ඉදිරිපත්ව තිබේ. මේ අනුව ෆ්‍රැන්සිස් බේකන් පවසා ඇත්තේ ජීවිතයේ ප්‍රීතිය හා වාසනාව සලසා දෙන පරිදි බුද්ධි වර්ධනය ඇති කිරීම හා ජීවන තත්ත්වය නඟාලීම අධ්‍යාපනය ලෙසයි.කොන්ෆියුසියස් තුමා අධ්‍යාපනයේ උත්තරීතර අගය නම් ගුණ දහමින් යුත් හදවතක් ඇති පුද්ගලයෙකු තැනීම ලෙස නිර්වචනය කර ඇත. ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය ලෙස නෙල්සන් මැන්ඩෙලා පවසා ඇත. මැල්කම් එක්ස් නම් විද්වතා අධ්‍යාපනය හඳුන්වා දෙන්නේ අනාගතයට වෙත යාමට ඇති ගමන් බලපත්‍රයක් වශයෙනි. එය ඇත්තේ හෙට ඒ සඳහා සූදානම් වන අයට බව ද ඔහු කියයි. මේ අනුව අධ්‍යාපනය යන්න අනාගතය වෙනුවෙන් අවශ්‍ය දෙයක් බව අපට පැහැදිලි වන්නකි. එසේ නම් එය අනිවාර්යයෙන් ම අනාගතයට ගැළපෙන්නෙක් විය යුතු වේ.

අනාගත ලෝකය 

අපේ අධ්‍යාපනයේ ගැටලුව ඇත්තේ කොතැනද ?, 2000 වසරේ දී පාසලට ඇතුළත් වූ දරුවෙකු 2013 වසරේ දී ඉන් පිටතට පැමිණි  විට පවතින්නේ ඊට සපුරා වෙනස් ලෝකයකි.  ඒ වන විට පැවති රැකියා අවස්ථාවලට අප ඔහු හුරු කර තිබුණා ද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. එලෙසම 2023 වසරේ දී පාසලට ඇතුළත් කරන දරුවෙකු 2036 වසරේ  දී ඉන් පිටතට පැමිණෙන විට ලෝකය කෙබඳු ද ? ඒ වන විට නිර්මාණය වන රැකියා අවස්ථා සහ සමාජයෙන් බැහැර වන රැකියා අවස්ථා මොනවා ද යන්න ගැන අපට වර්තමානයේ පුරෝකථනයක් තිබිය යුතු වේ. ඒ අවස්ථා සහ නව්‍යකරණයන් වෙනුවෙන් අපේ සමාජ සංස්කෘතික ආකල්ප හැඩ ගැසී තිබේ ද ? ඒ වෙනුවෙන් අපේ අධ්‍යාපනය ක්‍රමය සුදානම් ද සහ ඒ සඳහා අපට ශක්තිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබේ ද යන කරුණු ගැන අප අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ඒ වෙනුවෙන් කළ යුතු වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවා ද යන්න නිවැරදිව හඳුනාගෙන ඒවා ක්‍රියාවට නැංවිය යුතු වේ.

පාරට වැටෙන ජීවිත  

පාසල් අධ්‍යාපනයෙන් මෙන්ම සරසවි අධ්‍යාපනයෙන් පසුව ද  මහ පාරට වැටෙන ජීවිත ප්‍රමාණයක් තිබේ. 2020 වසරේ සංඛ්‍යාලේඛන වලට අනුව උසස් පෙළට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 251168 කි. එසේම එම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 194336 ක් වන අතර රාජ්‍ය විශ්ව විද්‍යාල 17 ක් වෙත ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව  43,882 ක් වේ. මේ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සරසවි වරම් ලබා ඇත්තේ සියයට 22.58 ක සිසුන් පිරිසක් පමණි. මෙම ප්‍රමාණය වෙනත් රටවලය සාපේක්ෂව අඩුය.

පාසල් පද්ධතිය හා අධ්‍යාපන ක්‍රමවේදය

2020 වසරේ සංඛ්‍යාලේඛන අනුව රජය යටතේ ක්‍රියාත්මක වූ  පාසල් ගණන 10155 කි. එම ප්‍රමාණය ජාතික පාසල්  373 කින් සහ පළාත් පාසල් 9782 කින් සමන්විත වේ. මෙම සියලුම රජයේ පාසල් මෙන්ම පිරිවෙන් හා පෞද්ගලික පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නියාමනය වේ.

1948 සිට ජාත්‍යන්තර ප්‍රමිතීන් කරා ළඟා වීම සඳහා විවිධ ප්‍රතිසංස්කරණ සිදුකර තිබේ. නමුත් රජයේ පාසල්වල ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය, යටත් විජිත යුගයේ සිට පැවැත එන අධ්‍යාපනය ක්‍රමය වන අතර එය සැලකිය යුතු වෙනසකට භාජනය වී නොමැත. 1980 දශකයේ ආරම්භ වූ තාක්ෂණය තදින් වැළඳ ගැනීම, අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම සහ පවත්තා ඉගෙනුම් ක්‍රමවේදයන්හි විප්ලවීය වෙනසක් සංවර්ධිත රටවල් විසින් සිදු කළද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ දැඩි සාම්ප්‍රදායික ගති ලක්ෂණ පෙන්නුම් කරයි. අධ්‍යාපනය සඳහා ලෝකයේ බොහෝ රටවල් නවීණ තාක්ෂණය බහුල වශයෙන්  භාවිතා කළද ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ තවමත් එවැනි තත්වයක් දක්නට නැත. විවිධ රජයන් විසින් ඇතැම් අවස්ථාවල දී එකිනෙකට පරස්පර යෝජනා සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදුව ඇත.

 අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටළු


ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නවීන තාක්ෂණය සමඟ යාවත්කාලීන නොවීම, ඒකාබද්ධ වූ ජාතික වැඩපිළිවෙලක් නොමැතිකම,  සිසුන් නවීන ලෝකයට ගෙන යාමට තරම් විෂය මාලා යාවත්කාලීන නොවීම ,පාසැල් තුළට සම්පත් බෙදී යාමේ විෂමතාව, ගුණාත්මක අධ්‍යාපනයක්  නොලැබෙන තත්වයන් නිර්මාණය වීම සහ අධ්‍යාපන අවස්ථා සීමා සහිත වීම සහ ඇහිරී යාම යාම වැනි ගැටළු වත්මන් අධ්‍යාපනය තුළ තිබේ. එසේම පසුගිය කාලයේ පාසල් වල පහසුකම් සංවර්ධනය පිළිබඳ පරස්පර ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක වී ඇත. ඒ සදහා නිදසුන් ලෙස මධ්‍ය මහා විද්‍යාල සංකල්පයෙන් ආරම්භ වී  නවෝද්‍යා පාසැල්ල පොකුරු පාසැල් ලපාසැල් දහස ල ළමා මිතුරු පාසැල් ල ඉසුරු පාසැල්ල ළඟම පාසැල හොදම පාසැල ,ජාතික පාසැල් 1000 වැඩසටහන සහ මහින්දෝදය  තාක්ෂණික විද්‍යාගාර වැඩසටහන පෙන්වා දිය හැකිය.එසේම දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කරන මුදල සාපේක්ෂව සියයට 1.9 ක් වැනි  අවම අගයක පවතී. 

 ආර්ථිකය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

අප තවමත් සිටින්නේ ඍණ ආර්ථිකයකය. ගිය වසරේ (2022 ) සියයට 7.8 කින් අපගේ ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක් විය. මේ වසරේ (2023 ) දී ද අපට සමස්තයක් ලෙස  මුහුණ දීමට සිදුවනු ඇත්තේ ඊට වඩා අඩු ආර්ථික පසුබෑමකටය. මේ ඍණ ආර්ථිකයෙන් මිදී අපට ධන ආර්ථිකයකට ගමන් කිරීමට හැකිවනු ඇත්තේ ලබන වසරේ (2024 ) සිටය.මෙසේ අනාගතයේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීම සදහා අපට  ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සිදුවේ. මේ අනුව ඉහළ ආර්ථික වර්ධනයක් සදහා අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කිරීමටත් එමගින් ගෝලීය වෙළෙඳපොල තුළ රටේ තරගකාරිත්වය වර්ධනය කිරීමටත් විධිමත් අධ්‍යාපන  ක්‍රමයක් පැවතීම සෑම විටම අතිශයින් වැදගත්ය. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ (2018) ද සදහන් වේ.     

ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමට බලපෑ ඇති හේතු අතර ශ්‍රම වෙළෙඳපොල ගැටළු ද හේතු වී ඇත.  එනම් ශ්‍රම බලකාය, වෙළෙඳපොල අවශ්‍යතා සදහා නොගැලපීමයි. මේ සදහා ඊට අනුරූප විධිමත් අධ්‍යාපන  ක්‍රමයක් නොපැවතීම හේතු වී ඇත. ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා දීමට සෑම රජයක්ම කටයුතු කළත් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති සීමිත සම්පත් ප්‍රමාණය බහුතර තරුණ පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීමට බාධා ඇති කරයි. 2018 වසරේ ලංකාවේ තෘතීයික අධ්‍යාපනය සදහා දළ බදවා ගැනීමේ අනුපාතය සියයට 19.6කි. එහෙත් එම වසරේ ඉහළ මැදි ආදායම් සහ පහළ මැදි ආදායම් ලබන රටවල තෘතීයික අධ්‍යාපනය සදහා දළ බදවා ගැනීමේ අනුපාත පිළිවෙලින් සියයට 53 ක් සහ සියයට 24.8 ක් වේ. මේ නිසා ශ්‍රී ලංකාව තෘතීයික අධ්‍යාපනය සදහා බදවා ගැනීම සමබන්ධයෙන් සාමාන්‍ය පහළ මැදි ආදායම් ලබන රටකට ද වඩා බොහෝ පසුගාමී මට්ටමක පවතින බව පැහැදිලි වේ. මේ වන විට මේ සංඛ්‍යාලේඛනවල සුළු වෙනස්කම් සිදු වී තිබිය හැකිය.

රටක් ගෝලීය වෙළෙඳපොල තුළ තරගකාරීව සිටීමට උසස් තාක්ෂණයන් අනුගමනය කළ යුතු වේ. ඒ සදහා රට තුළ විශේෂයෙන්ම විද්‍යා, තාක්ෂණවේද, ඉංජිනේරු සහ ගණිත  ( STEM ) යන ක්ෂේත්‍ර තුළ සාක්ෂරතාව ඇති සේවකයන්ගෙන් සමන්විත ඉහළ නිපුණතා සහිත ශ්‍රම බලකායක් සිටිය යුතු වේ. සමස්ත සාක්ෂරතා අනුපාතය ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක තිබුණ  ද එම ක්ෂේත්‍ර තුළ සාක්ෂරතා මට්ටම ප්‍රමාණවත් නොවේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල කලා හා මානව ශාස්ත්‍ර විෂයන් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. එහෙත් විද්‍යා, තාක්ෂණවේද, ඉංජිනේරු සහ ගණිත යන ක්ෂේත්‍රවලට අඩු නැඹුරුවක් දක්වයි.  2018 වසරේ විද්‍යා, තාක්ෂණවේද, ඉංජිනේරු සහ ගණිත යන ක්ෂේත්‍රවල මූලික උපාධි පාඨමාලා සදහා ඇතුළත් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රතිශතය සියයට 14.8 කි. එම ප්‍රමාණය කාර්මික හා අනෙකුත් මැදි ආදායම් ලබන රටවලට සාපේක්ෂව බොහෝ අඩු මට්ටමක පවතී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා 

ගෝලීය වෙළඳපොළ තුළ රටේ තරගකාත්වය ඉහළ නැංවීමට විද්‍යා, තාක්ෂණවේද, ඉංජිනේරු සහ ගණිත යන ක්ෂේත්‍ර තුළ කුසලතා හා මනා දැනුමක් ඇති, විවේචනාත්මක හා නිර්මාණාත්මක චින්තනයෙන් නිපුණ,ගෝලීය භාෂාමය කුසලතා දක්වන, ආර්ථික වර්ධනයට සහාය දක්වන ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතාම වැදගත් බව මේ අනුව අපට නිර්දේශ කළ හැකිය. අප සිදු කළ අධ්‍යයනයට අනුව අපට පහත සදහන් යෝජනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි වේ.

  • ශිෂ්‍ය හා ඉගැන්වීම් කාර්ය මණ්ඩලය හුවමාරු කර ගැනීම සහ සහයෝගීතා පදනමින් පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල උසස් අධ්‍යාපන ආයතන පිළිගත්, විදේශීය උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතන සමග  හවුල්කාරිත්වයන් ගොඩනගා ගත ගැනීම. 
  • ආර්ථික සංවර්ධන පුරෝකතනයන්ට අනුව STEAM අධ්‍යාපන විෂයමාලා නවීකරණය. 
  • මානවවාදී සහ සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙකු බිහි කිරීම සඳහා ( මූලික නීතිය, ලිංගික අධ්‍යාපනය, පාරිභෝගික අයිතිවාසිකම් සහ ස්වදේශිකත්ව අන්තර් ඥානයට අදාළ දැනුම) විෂය නිර්දේශවලට එක් කිරීම.
  • රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම.
  • සමාජ පැවැත්ම තහවුරු කිරීම සඳහා සියලු වෘත්තිකයින් ගේ දායකත්වය සමාජයට අත්‍යවශ්‍ය වන බව සහ සෑම වෘත්තියකටම සමාජ ගෞරවයක් හිමිවන බවට වන ආකල්ප සංවර්ධනයක් ඇති කිරීම සදහා වැඩපිළිවෙලක් සැකසීම 
  • නව ලොව ප්‍රවණතා අනුව ඉදිරි අනාගතය තුළ නිර්මාණය වන නව රැකියා අවස්ථා පුරෝකථනය කරමින් රැකියා වෙළඳපොළ තුළ රැකියා අවස්ථාවලට උචිත වන අයුරින් උසස් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම.
  • රාජ්‍ය හා  පුද්ගලික හවුල්කාරීත්වය තුළ විශ්වවිද්‍යාල සිසුන්ට පුහුණු අවස්ථා සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම.   
  • ගුරුවරුන් සම්බන්ධ වෘත්තීය පුහුණු අවස්ථා වර්ධනය කිරීම සහ වෘත්තීය සුදුසුකම් ඇගයීමට ලක් කිරීම. 
  • ප්‍රාථමික, ද්විතික සහ තෘතියික අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා නියාමන සභාව පිහිටුවීමට අදාළ යෝජනාව සක්‍රීය කිරීම. 
  • ගෝලීය දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කිරීම 
  • ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පාඨමාලා උසස් කොට එම විද්‍යා පීඨ අධ්‍යාපනවේදී උපාධිධාරීන් බිහිකරන විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම.  
  • රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා අපේක්ෂා කරන්නන් වෙනුවට නව ව්‍යවසායකයින් නිර්මාණය කිරීමට අදාළ වැඩපිළිවෙළක් ඇති කිරීම   
  • රජයන් වෙනස් වන විට වෙනස් වන අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනුවට ස්ථාවර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීම.

අධ්‍යයන අවසානයේ ඉදිරිපත් වූ ඉහත යෝජනා පිළිබඳ ඔබේ අවධානය ද යොමු කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙම කතිකාවට සමාජයේ සියලු බුද්ධිමතුන් ප්‍රවේශ විය යුතු කාලය දැන් උදාවී ඇති බව ද අප අවබෝධ කරගත යුතුව ඇත.

©®ශ්‍යාම් නුවන් ගනේවත්ත 

About The Author