Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉඩම් ගැටළු නිරාකරණය වන තෙක් ගොවිතැන් අඛණ්ඩව සිදු කරන්න – ජනාධිපතිතුමන්ගෙන් ගොවීන්ට විශේෂ අවසරයක්

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබ තිබෙනවා.

පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයකි.

ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මේ ගැටළුව නිසි ලෙස අවබෝධ කොට ගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

දිස්ත්‍රික්කයේ පාසල් රැසක සංවර්ධන වැඩ ඇණ හිට තිබීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති හානිය ජනතාව පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා දිවයිනේ සියලු පාසල්වල අතරමග නතර කර ඇති සියලු සංවර්ධන වැඩ කඩිනමින් නිම කරන්නැයි බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පසුගියදා පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ දී මෙම වැඩසටහන පැවැත්වුණා.