ඇෆ්ගනිස්ථාන යුද්ධය ආරම්භ වී වසර 20කට පමණ පසු මෙතුවක් පවත්වාගෙන ගිය එක්සත් ජනපද හමුදා මෙහෙයුම අගෝස්තු 31 වන දිනෙන් අවසන් කරන්නට ජනාධිපති බයිඩෙන් තීරණය කර තිබේ. විශේෂයෙන් තලේබාන්වරුන් මේ පිළිබඳ දැඩි ලෙස සතුටට පත් වී තිබේ. ඔවුන් පැවසූයේ අද වන විට තම කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් 80%ක් ම තමන් සතු කරගෙන ඇති හෙයින් ඇමරිකානු හමුදා පිටත් ව ගිය පසු ඉතිරි 20% ද සමඟ සතුට සැමරීමට ඔවුන් සූදානමින් සිටින බව යි. මේ වද්දී ඇමරිකානු හමුදාවෙන් බහුතරයක් ඇෆ්ගනිස්ථානයෙන් පිට ව ගොස් ඇති අතර, ඉතිරි වී සිටින්නේ සුළු පිරිසක් පමණි. කෙසේ වුවත් ඒ පිරිස පිළිබඳ නොසලකා ඉතිරි 20% ද සමඟින් අද වන විට සම්පූර්ණ ඇෆ්ගනිස්ථානය ම යටත් කර ගැනීමට තලේබාන්වරුන්ට හැකියාව ලැබී තිබේ.
මෙම ගැටුම ආරම්භ වූයේ 2001 සැප්තැම්බර් 11 වන දින අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් විසින් සිදු කරන ලද ප්රහාරයන්ගෙන් පසුව ය. සංවිධානය සහ එහි නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ දී ආරක්ෂා කරනු ලැබුවේ රටේ බහුතරයක් පාලනය කළ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් වූ තලෙයිබාන්වරුන් විසිනි. බින් ලාඩන් එක්සත් ජනපදයට භාර දීම තලේබාන් සංවිධානය ප්‍රතික්ෂේප කළ විට පළමු එක්සත් ජනපද ගුවන් ප්‍රහාර දියත් කරන ලදී. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවති සටන් හරහා එක්සත් ජනපද භටයන් දහස් ගණනක් ඝාතනය වූ අතර ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් විය. තලේබාන් සංවිධානය කිසි විටෙකත් සම්පූර්ණයෙන් පරාජයට පත් නොවූ අතර, මැයි මාසයේ සිට ඔවුහු උතුරු ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන දිස්ත්‍රික්කවල පාලනය අල්ලා ගනිමින් සිටිති.
තලේබාන් සංවිධානය මෙතරම් වේගවත් වන්නේ කෙසේ ද?
මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ඉඩම් මෙන් ම මුදල් ද පාලනය කරන්නේ තලේබාන්වරුන් ය. ඇමරිකානු සහ නේටෝ භටයින් මැයි 1 වනදා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමට පටන් ගත් අතර, ඉන් පසු මාස දෙක තුළ අවම වශයෙන් දිස්ත්‍රික්ක 100ක් වත් තලේබාන් පාලනය විසින් අල්ලාගෙන තිබේ. මේ වන විට දේශසීමා තරණය කිරීමට උත්සාහ කරමින් සිටින ජනතාව බිය ගන්වා ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයා ගැනීමට ඔවුනට හැකි වී ඇති අතර තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් පැවසුවේ සටන්කාමී කණ්ඩායම් දැන් මෙම මුදල් එකතු කරන්නේ “ඒවා අපේ ප්‍රදේශ” නිසා බව යි.
ඇෆ්ගනිස්ථාන රජයේ අනාගතය
එක්සත් ජනපද බුද්ධි විශ්ලේෂණයකට අනුව හමුදාවල හැර යාම අවසන් වූ පසු ඇෆ්ගනිස්ථාන රජය මාස හයක් ඇතුළත බිඳ වැටෙනු ඇත. එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්ථානයේ විශේෂ නියෝජිත, ඩෙබොරා ලියොන්ස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කියා සිටියේ තලේබාන් සංවිධානය විසින් අල්ලා ගනු ලැබූ දිස්ත්‍රික්ක බොහොමයක් අගනුවර වටා තිබෙන බව යි. ඇෆ්ගනිස්ථානයේ ඉහළම එක්සත් ජනපද අණදෙන නිලධාරි ජෙනරාල් මිලර් පැවසුවේ “මේ සතියේ ආරක්ෂක තත්ත්වය යහපත් නැත” කියා ය. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති මිලර් මෙන් ම යුද හමුදා ජෙනරාල් මාක් මිලී යන දෙදෙනාම අනතුරු අඟවා ඇත්තේ නුදුරු දිනක දී ම සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට යි.
ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ කාර්යයභාරය.
මේ වන විට ඇමරිකානු හා නේටෝ හමුදාව පිළිබඳ බලාපොරොත්තු ඇත්හැරගෙන සිටින ඇෆ්ගනිස්ථාන ආරක්ෂක හමුදාවන් විසින් තලේබාන්වරුන්ට යට වී තිබෙන ඇතැම් දිස්ත්‍රික්ක නැවත ලබා ගෙන තිබේ. එනමුත් එම ආරක්ෂක නිළධාරීන් හට නිසි වැටුපක් ලබා දීමට ඇෆ්ගනිස්ථාන රජය දැනටම අසමත් වී ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අන්ත දුප්පත් පවුල්වල සාමාජිකයන් වන හෙයින් අවම ගෙවීම් යටතේ තවදුරටත් සිය ජීවිත පරදුවට තැබීමට එම නිළධාරීන් එකඟ වනු ඇතැයි සිතීමට අසීරු ය. එපමණක් නොව මේ වන වට තලේබාන් සටන් කණ්ඩායම් ඇෆ්ගනිස්ථාන හමුදා භටයින් අල්ලාගෙන, ඔවුන් මරා දමනවා වෙනුවට ඔවුනට නැවත නිවෙස් කරා යාම සඳහා මුදල් ලබා දෙන බවට සැල වී තිබේ.
එක්සත් ජනපද හමුදාවන්ට උදව් කළ ඇෆ්ගනිස්ථානුවන්ට කුමක් සිදුවේද?
මේ වන විට පරිවර්තකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ලෙස ඇමරිකාවට සේවය කළ ඇෆ්ගනිස්ථානුවන් 18,000ක් පමණ විශේෂ එක්සත් ජනපද වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබා ඇත. එනමුත් 9,000ක පමණ පිරිසක් තවමත් සිටින්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිව ය. මේ වන විටත් ඔත්තුකරුවන් යැයි චෝදනා ලබන මෙම පිරිසට තලේබාන් සංවිධානයෙන් මරණ තර්ජන එල්ල වන බව වාර්තා වේ. බයිඩෙන් පවසන්නේ “අපට උදව් කළ අය අපි අත්නොහරිමු” කියා ය. එනමුත් තවමත් එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර නොමැති පුද්ගලයින් තාවකාලික ව රඳවා තබන්නේ කොතැන ද යන්න පිළිබඳ ඔවුන් සතුව තීරණයක් නොමැත.
වෙන් වී ගියත් ඇෆ්ගනිස්ථානයට අවශ්‍ය මානුෂීය, ආර්ථික හා සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දීමට එක්සත් ජනපදය පොරොන්දු වී ඇති අතර ඇෆ්ගනිස්ථානය සඳහා ඩොලර් බිලියන 3.3ක ආරක්ෂක ආධාර අනුමත කරන ලෙස බයිඩෙන් දැන්ටමත් කොන්ග්රසයෙන් ඉල්ලා තිබේ. ජුනි අග භාගයේ ධවල මන්දිරයේ කළ සංචාරයක දී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ බයිඩෙන් හමුදා ඉවත් කර ගැනීමට ගත් තීරණයට තමා ගරු කරන බවත්, ඔවුන්ගේ සම්බන්ධතාවයේ නව පරිච්ඡේදයක් ලෙස මෙය හඳුන්වන බවත්, අනාගතයේ දී එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය මිලිටරි ක්‍රමයට වඩා පුළුල් වනු ඇති බවත් ය. එසේ ම කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද තවදුරටත් විවෘතව පවතින අතර හමුදා භටයන් 650ක් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ආරක්ෂාව සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. මන්දයත් තලේබාන්වරුන් පමණක් නොව ඇෆ්ගනිස්ථානය තුළ තවමත් අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය සෛල ද පවතින බැවිනි.
ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය
ජනාධිපති ඝානි විශ්වාස කරන්නේ තලේබාන් සංවිධානයට පාකිස්තානයෙන් අරමුදල් සහ සැපයුම් ආධාර ලැබෙන බවයි. එහෙයින් තලේබාන් මෙහෙයුම් නතර කිරීමට ප්‍රායෝගික පියවර ගන්නා ලෙස ඔහු පාකිස්ථානයෙන් ඉල්ලා තිබේ. චෝදනාවලට පිළිතුරු දෙන ඇෆ්ගනිස්ථානයේ හිටපු පාකිස්ථාන තානාපති, අයස් වසීර් පාකිස්ථානය තලේබාන් සංවිධානය සමඟ දීර්ඝකාලීන සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව පිළි ගනී. තව ද පාකිස්ථානය විශ්වාස කරන්නේ ඇමරිකානුවන් හා තලේබාන්වරුන් එකම සාකච්ඡා මේසයට ගෙන ඒමට හැකි බව ය. පාකිස්ථානයට වුවමනා වී ඇත්තේ ඇමරිකානු හමුදාව තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ ම රඳවා ගැනීමටත් තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානය සම්පූර්ණයෙන් යටත් කර ගැනීම වැළැක්වීමටත් ය.
කෙසේ වුවත් මේ වන විට සිදු කෙරෙමින් පවතින සාම සාකච්ඡා හරහා ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය අතර බලය බෙදා ගැනීමේ ගිවිසුමක් ඇති විය හැකිය. තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ අගෝස්තු මාසයේ දී ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් ව ගිය පසු ඇෆ්ගනිස්ථාන රජයට ලිඛිත සාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට තම කණ්ඩායම සැලසුම් කර ඇති බවයි.
පාකිස්ථානය හා තලේබාන්වරු.
තලේබාන්වරුන් සමඟ වැඩි සබඳතාවක් පැවැත්වීමට පාකිස්ථානය අකැමැති වුව ද ඔවුනට තලේබාන් තර්ජනවලින් ගැලවීමට හැකියාවක් ඇති බවක් නොපෙනේ. මෙයට මාස දෙකකට පමණ පෙර ද තලේබාන්වරු පාකිස්ථාන රජයට තර්ජනය කළේ ඇමරිකානු කඳවුරු කිහිපයක් පාකිස්ථාන භූමිය මත ගොඩ නැඟීමට ඉඩ දුන් හෙයිනි.
“කිසිවෙකුට එසේ කිරීමට ඉඩ නොදෙන ලෙස අපි අසල්වැසි රටවලින් ඉල්ලා සිටිමු.” තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. “එවැනි පියවරක් නැවත ගනු ලැබුවහොත් එය විශාල හා ඓතිහාසික වරදක් හා නින්දාවක් වනු ඇත. මෙවැනි කුරිරු හා ප්රකෝපකාරී ක්‍රියාවන් හමුවේ අප නිහඬ ව නොසිටින බව ද මතක තබා ගැනීම යෙහෙකි.” එම කණ්ඩායම පැවසීය.
චීනය හා තලේබාන්වරු
පවතින නව තත්ත්වයත් සමඟ, ඇතැම් බටහිර මාධ්‍ය ඊනියා චීන භීතීයක් ඉස්මතු කර දක්වයි. තලේබාන් සංවිධානය දැන් චීනයේ දේශ සීමාවට පැමිණ ඇති අතර ෂින්ජියැන්ග් අසල ඇෆ්ගනිස්ථානයේ දේශ සීමාවට එල්ල වන ප්‍රහාර පිළිබඳ චීනය කනස්සල්ලට පත් ව සිටියි. පැතිර යමින් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය යටතේ චීනයේ ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග ද පසුබෑමකට ලක් වී ඇති බව පෙනේ. එනමුත් චීනය හා පාකිස්ථානය අතර සුහද සම්බන්ධතාවක් පවතින බැවින් එවැනි ගැටලුවක් ඇති වුවහොත් රටවල් දෙක එක් ව කටයුතු කරනු ඇත.
ඔවුන් කෙතරම් තිගැස්මෙන් සිටිය ද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලේබාන් ප්‍රකාශක සුහයිල් ෂහීන් කියා සිටියේ තම සංවිධානය චීනය, ඇෆ්ගනිස්ථානයේ “මිතුරෙකු” ලෙස දකින බවත් හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආයෝජනය කිරීම පිළිබඳ බීජිනය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ය .
මේ සියල්ලෙන් හෙළි වන්නේ තලේබාන් සංවිධානය නිශ්ශබ්දව ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි අවධානය යොමු කරන දේශපාලන සංවිධානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව හා බලය අත්පත් කර ගැනීමට සූදානම් වන බව ය. තලේබාන්වරුන්ගේ වචන එහි ක්‍රියාකාරිත්වය සමඟ කෙතරම් දුරට ගැලපේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්