Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකානු ඔත්තුකරු රුසියානු සිරගෙට.

පසුගිය දිනෙක රුසියානු අධිකරණය තුළ දී ඔත්තුකරුවෙකු බවට සැක පිට 2018 වසරේ දෙසැම්බර් මස දී අත්අඩංගුවට ගැනුණු ඇමරිකානු ජාතික “පෝල් වේලන්” නමැති හිටපු නාවික නිළධාරියා වරදකරුවෙකු බවට ඔප්පු කෙරිණි. එබැවින් ඔහුට වසර දහසයක සිර දඬුවමක් නියම විය. එහෙත් මෙම තීන්දුව පිළිබඳ නොයෙක් අන්දමේ විග්‍රහයන් දෙරටින් ම නිකුත් වී තිබේ.

ඇමරිකාව චෝදනා කරන්නේ පසුගිය වසර එකහමාරක පමණ කාලයක් රුසියානු රජය විසින් සිය රටවැසියා මොස්කව් නුවර සිරමැදිරියක රඳවාගෙන සිටිය ද, සාමාන්‍ය සැකකරුවෙකුට හිමි වන වරප්‍රසාදවලින් කිසිවක් ඔහුට හිමි කර නොදුන් බව ය. ඔහුට සිය හිතවතෙකුගේ මුහුණක්වත් දැකීමට ඉඩ නොදුන් බවත්, අවම වශයෙන් වෛද්‍ය ප්‍රතිකාරවත් ලබා නොදුන් බවත් ඇමරිකාව පවසයි. දැනට මසකට පමණ පෙර ඔහු හර්නියා රෝගය හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කෙරුණ ද, රෝගය අසාධ්‍ය වන තෙක් රුසියාව ඔහු පිළිබඳ සොයා නොබැලූ බවට ඇමරිකාව චෝදනා කරයි. ඇමරිකානු ජනාධිපති ඇතුළු එහි තානාපතිවරුන් ද මෙම අසාධාරණය වැළැක්වීමට උත්සාහ කළ ද, ඊට මොස්කව් සිරගෙදරින් උදව් නොලැබුණු බවට ද ඔවුහු චෝදනා කරති. 

එහෙත් රුසියාව පවසන්නේ ඒ සියල්ල අසත්‍ය බව යි. ඇමරිකාව උත්සාහ කරනුයේ සිය ඔත්තුකරුවා නිවැරදිකරුවෙකු බව ලෝකයාට ඔප්පු කිරීමට බවත්, තම රටෙහි තොරතුරු වෙනත් රටකට ගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තම රජය කිසිදු විටෙක, කිසිදු පුද්ගලයෙකුට සමාව නොදෙන බවත් රුසියාව දැඩි ව කියා සිටියි. ඇමරිකානු රජය මේ සිදුවීමෙන්වත් පාඩමක් උගෙන, අන්‍යයන්ගේ ප්‍රශ්නවලට අත දැමීමෙන් වළකිනු ඇතැයි තමන් විශ්වාස කරන බව රුසියාව අදහසයි. කෙසේ වුවත් ඇමරිකාව මාන බලමින් සිටින්නේ තම සිර මැදිරියක රඳවාගෙන සිටින රුසියානු ජාතිකයින් දෙදෙනෙකු නිදහස් කොට, ඒ වෙනුවට පෝල් නැවත ඇමරිකාවට ගෙන්වා ගැනීමට යි. එසේ නම්, ඔහු සැබැවින් ම ඔත්තුකරුවෙකු බවට තවත් සාක්ෂි වුවමනා නැත.