Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආසියාවේ හොඳම විද්‍යාඥයන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ 5ක්

වසර 2016 සිට මේ සඟරාව මඟින් ආසියාවේ හොඳම පර්යේෂකයන් සියදෙනා වාර්ෂිකව ලැයිස්තුගත කරනු ලබන අතර, වසර 2023 සඳහා නම් කළ ලැයිස්තුවට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය චතුරංග රණසිංහ, මොරටුව විශ්වවිද්‍යාලයේ අෂානි සවින්දා රණතුංග, ආචාර්ය ආශා ඩිවෝස්, ආචාර්ය රොහාන් පෙතියාගොඩ සහ මහාචාර්ය චන්දන ජයරත්න මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

ආසියාතික කලාපයේ ක්‍රීඩාවට විද්‍යාත්මක හා වෛද්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් එම කලාපයේ විද්‍යාඥයකු වසර 4කට වරක් පිදුම් ලබන ශේක් ෆහාඩ් හිරෝෂිමා ආසියා ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ වෛද්‍ය චතුරංග රණසිංහ මහතා එවැනි සම්මානයක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වේ. මොරටුව විශ්වවිද්‍යාලයේ අෂානි සවින්දා රණතුංග මහත්මිය තරුණ පර්යේෂිකාවක ලෙස පසුගිය වසරේදී කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගැනීම සම්බන්ධව සිදු කරනු ලැබූ පර්යේෂණය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ කාන්තා විද්‍යාඥයන්ට පිරිනමන OWSD-Elsevier පදනමේ පසුගිය වසරේ සම්මානලාභිනියකද වේ.

මෙරට කීර්තිමත් සමුද්‍ර ‍ෙජෙව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩිවෝස් මහත්මිය නිල් තල්මසුන් පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ විද්‍යාඥවරියක වන අතර, සමුද්‍ර ක්ෂීරපායි පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ. ඇය සමුද්‍ර ‍ෙජෙව විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර සම්මාන රැසකට හිමිකම් කියන විද්‍යාඥවරියකි.

ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ජීව විද්‍යාඥයකු හා පර්යේෂකයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ මහතා පසුගිය වසරේදී පරිසර විද්‍යාඥයන්ට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ලිනියන් පදක්කමෙන් පිදුම් ලැබූ මෙරට කීර්තිමත් විද්‍යාඥයෙකි. ඒ මහතා ලිනියන් පදක්කම දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥවරයකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමය මඟින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වෘත්තීය විශිෂ්ටත්වය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් ලැබෙන ඉහළම සම්මානය වන එපෙක්ස් සම්මානයෙන් පිදුම් ලැබූ මෙරට කීර්තිමත් විද්‍යාඥවරයෙකි.

©දිනමිණ

About The Author