Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආරාබියට න්‍යෂ්ටික බලාගාරයක් කුමට ද?

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කටාර් රාජ්‍යයට නැගෙනහිරින් පිහිටි ගල්ෆ් වෙරළ තීරය තුළ අරාබියේ පළමු න්‍යෂ්ටික බලාගාරයේ මෙහෙයුම දියත් කර තිබේ. මේ වන විට දකුණු කොරියානු තාක්ෂණය භාවිතා කරමින් සිදු කරගෙන යන “බරකා” නම් වූ බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක කාමර හතරෙන් එකක් තුළ අදාළ න්‍යෂ්ටික විඛණ්ඩනය ආරම්භ කර ඇත. මෙම යෝජිත න්‍යෂ්ටික බලාගාරය 2017 දී විවෘත කිරීමට අපේක්ෂා කළ නමුදු, විවිධ ආරක්ෂණ ගැටලු හේතුවෙන් එම යෝජනාව ක්‍රියාවට නැංවීම මේ වන තෙක් නැවත නැවතත් ප්‍රමාද වෙමින් පැවතිණි.  

තෙල්වලින් පොහොසත් රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තරයට පැහැදිලි කර දී ඇත්තේ ඔවුනට අවශ්‍ය වන්නේ “බරකා”හි බලශක්ති අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් සපුරාලීම පමණක් බව යි. එහෙත් මෙම කාරණය කෙතරම් දුරට සත්‍යය ද? යන වග පිළිබඳ අන් රටවල අවධානය යොමු වී ඇත. ඒ මන්දයත්, වසරින් වැඩි කාලයක් අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් පවතින, මතක් වන විටත් සිරුරට දහඩිය දමන්නාක් මෙන් හැඟෙන රටකට අමුතුවෙන් න්‍යෂ්ටික බලාගාරයක් සාදා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි වටහා ගත නොහැකි බැවිනි. වැඩි මුදලක් වැය කොට පාරිසරික ගැටලු ද ඇති කරමින් ආරම්භ කෙරෙන එවැනි බලාගාරයක් වෙනුවට ඉතා පහසුවෙන් හා අඩු පිරිවැයක් දරමින් සූර්ය බලාගාරයක් ගොඩනඟා ගැනීමට ඔවුනට හැකි ය. එයින් පරිසරය ද සුරැකෙයි.

එහෙයින් ජාත්‍යන්තරය සැක පහළ කරනුයේ අරාබි රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයට කිසියම් සැඟවුණු හේතුවක් තිබිය හැකි බවට ය. ඔවුන්ගේ මීළඟ පියවර න්‍යෂ්ටික අවි ද විය හැකි ය. එසේ නම් එය ලොව ම අවධානය යොමු කළ යුතු කාරණයක් බවට පත් වනු ඇති. මේ අතර සති දෙකකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අඟහරු ග්‍රහයා වෙත මෙහෙයුමක් දියත් කිරීමේ අරමුණින් කිසියම් පර්යේෂක යානයක් ද යවා තිබේ. ඔවුන් මේ පියවරෙන් පියවර ළං වන්නේ කුමන අරමුණකට ද යන්න පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත.

About The Author