Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආදි ඇමරිකානු කොළනි තුළ නත්තල.

අද බොහෝ ඇමරිකානුවන්ට නත්තල් සමය තුළ නත්තල් සීයා, නත්තල් ගස් සහ තෑගි දීම ආදිය වැදගත් වුව ද එම සම්ප්‍රදායයන්ගෙන් බොහොමයක් 19 වන සියවස වන තෙක් ආරම්භ වූ බවක් නො පෙනේ. පූර්ව විප්ලවීය යුධ සමයේ දී, මුල් ජනපද 13හි ජීවත් වූ ජනතාව තුළ නත්තල් උත්සවය පවත්වන්නේ කෙසේ ද? සහ එය සමරන්නේ ද? නැද්ද? යන්න පිළිබඳ එකඟතාවක් නොතිබුණි. 

යටත් විජිත නත්තල් විවාදය.

නව ලොව හෙවත් ඇමරිකානු භූමිය වෙත ගිය ඉංග්‍රීසි පදිංචිකරුවන් අතර විසූ පිරිස තම තමන්ට ආවේණික නොයෙක් විශ්වාසයන්හි එල්බගෙන සිටියහ. 16 වන ශතවර්ෂයේ අග භාගය වන විට, රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදීන් පිරිසක් එංගලන්ත පල්ලිය තුළට සිය විශ්වායන් ඇතුළු කිරීමට උත්සාහ කළ අතර ඔවුන් විසින් විශ්වාස නොකෙරුණු රෝමානු කතෝලික සම්ප්‍රදායන් ඉවත් කර, පල්ලිය පවිත්‍ර කිරීමට උත්සාහ කළහ. මෙම පුද්ගලයින් “පියුරිටන්වරුන්” යනුවෙන් හැඳන්විණි. එවකට එංගලන්තයේ නත්තල් උත්සවය සති දෙකකට ආසන්න කාලයක් පැවතිණි. එනම්, දෙසැම්බර් 25 වන දින සිට ජනවාරි 6 වන දින දක්වා ය. එය සූදුව, බීම සහ වෙස් මුහුණු නැටුම් ඇතුළු රළු සැමරුම්වලින් සමන්විත විය. එහි සිට අලුතින් සොයා ගනු ලැබූ දේශයට සංක්‍රමණය වූ පිරිස ද එංගලන්ත සම්ප්‍රදාය එලෙසින් ම පවත්වා ගැනීමට උත්සාහ කළහ.

ජේම්ස්ටවුන් සහ ප්ලයිමවුත්හි නත්තල්

මැසචුසෙට්ස්හි පියුරිටන් පදිංචිකරුවන් 1620 හා ඊට ආසන්න වසරවල නත්තල් දිනයේ දී ස්වදේශික ඇමරිකානුවන්ගෙන් තම පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා වෙඩි බෙහෙත්වලින් සන්නද්ධ ව සිටි බව පෙනේ. චීෆ් සියැට්ල් ඇතුළු ස්වදේශිකයින් හට මෙම අමුතු උත්සවය පිළිබඳ කිසිදු හැඟීමක් නොතිබුණු අතර, ඔවුන් හැම විට ම සිය රට ආක්‍රමණය කළ සුදු මිනිසුන් එළවා දැමීමට මාන බලමින් සිටි බව බ්‍රිතාන්‍යයෝ දැන සිටියහ. එම ක්‍රියාන්විතය සඳහා ඔවුන් තම උත්සව දිනයක් ප්‍රයෝජනයට ගනු ඇතැයි බ්‍රිතාන්‍යයන් තුළ සාධාරණ සැකයක් තිබිණි.

1607 දී වර්ජිනියා වෙත පැමිණි පදිංචිකරුවන්ට නත්තල යනු වැදගත් නිවාඩු දිනයක් විය. ජේම්ස්ටවුන් ජනාවාසය තුළ සිදු කෙරුණු ජීවන අරගලයේ කටුක යථාර්ථයන් සැලකිල්ලට ගෙන උත්සවය සැමරීම සීමිත ව සිදු කෙරුණ ද, ඔවුහු එය පාරිශුද්ධ අවස්ථාවක් හා විවේක දිනයක් ලෙස සැලකූහ. ඉතිහාසඥවරියක වන නැන්සි එග්ලොෆ් පවසන පරිදි 1620 සහ 30 දශකය වන විට නත්තල වර්ජිනියා ජනපදයේ ව්‍යවස්ථාදායක දින දර්ශනයේ මිණුම් ලකුණක් ලෙස ස්ථාපිත විය. නිදසුනක් වශයෙන්, 1631 දී පොත්වල ඇති නීතිවල සඳහන් වූයේ “අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනයේ මංගල්‍යයට පෙර” කිසියම් නියමිත ගොඩනැඟිල්ලක් සෑදිය යුතු බවයි.

එනමුත් ප්ලයිමවුත් ජනපදයේ වන්දනාකරුවෝ බෙදුම්වාදීන් ලෙස හැඳින්වෙන පියුරිටන් නිකායකට අයත් වූහ. ඔවුන් මෙම නව දේශය තුළ ඔවුන්ගේ පළමු නත්තල පවා සැලකුවේ තවත් එක් වැඩ කරන දිනයක් ලෙස ය. ආණ්ඩුකාර විලියම් බ්‍රැඩ්ෆර්ඩ් සිය දිනපොතේ සඳහන් කළේ යටත් විජිතවාදීන් විසින් ජනපදයේ පළමු නිවස ඉදිකිරීමට පටන් ගත්තේ 1620 දෙසැම්බර් 25 වනදා වන බව ය.

ඊළඟ අවුරුද්දේ, අලුතෙන් පැමිණි පදිංචිකරුවන් කණ්ඩායමක් නත්තල් දිනයේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ විට, බ්‍රැඩ්ෆර්ඩ් ඔවුන් මෙම තත්ත්වය පිළිබඳ “වඩා හොඳ දැනුමක්” ලබා ගන්නා තෙක් එම පිරිස වැඩවලින් ඉවත් කළේය. එනමුත් අනෙක් සියල්ලන් ම වැඩ කරන අතරතුර එම පිරිස පමණක් ක්‍රීඩා කරන බව දුටු පසු ඔහු මෙම උත්සවය පිළිබඳ ස්ථිර නීතියක් ස්ථාපනය කර ගත්තේ ය. බ්‍රැඩ්ෆර්ඩ් මෙසේ ලිවීය. 

“කිසියම් පුද්ගලයෙකු නත්තල් උත්සවය භක්තිමත් දිනයක් ලෙස සැමරීමට සූදානම් නම්, ඔවුන්ට වැඩවලින් නිදහස් විය හැකි ය. එහෙත් වීදිවල සූදු හෝ විනෝද ක්‍රීඩා නොකළ යුතුය.”

මැසචුසෙට්ස්හි, පියුරිටන්වරු.

පියුරිටන්වරුන් සහ ඇන්ග්ලිකානුවන් අතර ඇති වූ කටුක වෙනස්කම් කිහිපය, අවසානයේ දී පළමු ඉංග්‍රීසි සිවිල් යුද්ධයට (1642-46) තුඩු දුන් අතර, පසුව පියුරිටන්වරු බලයට පැමිණ නත්තල්, පාස්කු සහ විවිධ සාන්තුවරයන්ගේ දින සැමරීම තහනම් කළහ. බයිබලය පිළිබඳ ඔවුන්ගේ දැඩි දෘෂ්ටියට අනුව, පූජනීය වූයේ සබත පමණි. එනම්, ප්‍රතිපත්ති රැකීම යි. ඔවුනට අනුව මිථ්‍යාදෘෂ්ටික මූලයන් සහිත නත්තල විශේෂයෙන් පිළිගත නොහැකි උත්සවයක් බවට පත් විය.

1630 දී එංගලන්තයේ පියුරිටන් සරණාගතයින් පිරිසක් විසින් ආරම්භ කරන ලද “මැසචුසෙට්ස් බේ” ජනපදය මෙම ආදර්ශය අනුගමනය කළේය. 1659 දී සම්මත කරන ලද නීතියකට අනුව, මංගල්‍යයක් ආකාරයෙන් හෝ වෙනත් ආකාරයකින් නත්තල හෝ වෙනත් කිසියම් දිනයක් හෝ සැමරූ ඕනෑ ම කෙනෙකුට සිලිං පහක දඩයක් නියම කරනු ලැබිණි.

1681 දී, ඉංග්‍රීසි සිවිල් යුද්ධ අවසන් වී රාජාණ්ඩුව යථා තත්වයට පත් කිරීමෙන් පසු, මැසචුසෙට්ස් දැඩි පීඩනයකට ලක් වූ අතර නත්තල් තහනම ඇතුළු වඩාත් සීමාකාරී වූ නීති කිහිපයක් අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, නත්තල වෙනුවෙන් තිබූ පියුරිටන් විරෝධය යටත් විජිත සමය පුරා ශක්තිමත් ව පැවතිණි. බොහෝ ව්‍යාපාර දෙසැම්බර් 25 වන දින ද විවෘත ව පැවතුණි. මැසචුසෙට්ස්වරුන් 19 වන සියවසේ මැද භාගය වන තුරු ම නත්තල් නිවාඩු දිනය නිළ වශයෙන් පිළිගත්තේ නැත.

අනෙකුත් කොළනි තුළ නත්තල.

පියුරිටන්වරුන්ගේ තහනම නොතකා, නව එංගලන්තය හෙවත් ඇමරිකාවේ බොහෝ ජනපදවාසීන් නත්තල් උත්සවය සැමරූ අතර, ඉංග්‍රීසි සිරිත් විරිත් වන ආහාරපාන ගැනීම, මංගල්‍ය පූජාව සහ වෙස්මුහුණු නැටීම ආදිය සිදු කළහ. “වෙස්මුහුණු නැටීම” යනු විශේෂයෙන් කුඩා ළමුන් නොයෙක් ආකාරයේ ඇඳුම් ඇඳ ගෙයින් ගෙට යාම, නාට්‍ය රඟ දැක්වීම, ගීත ගායනා කිරීම ආදිය යි. වැඩි ආගමික විවිධත්වයක් පැවති මධ්‍යම හා දකුණු ජනපදවල ඇන්ග්ලිකන්, රෝමානු කතෝලික, ලුතරන්, මොරවියන් සහ වෙනත් කණ්ඩායම් ආගමික හා ලෞකික යන දෙඅංශයේ ම සම්ප්‍රදායන් නව ලෝකයට හඳුන්වා දුන්හ.

18 වන ශතවර්ෂයේ මැද භාගය වන විට නත්තල් උත්සවය ප්‍රධාන ධාරාවේ උත්සවයක් බවට පත් වී තිබුණ ද, විප්ලවීය යුද්ධය ආරම්භ වන විටත් එය නිවාඩු දිනයක් ලෙස නිළ වශයෙන් හඳුනාගෙන තිබුණේ නැත. එනමුත් 1789 වන විට කොන්ග්‍රසය හෙවත් ඇමරිකානු පාර්ලිමේන්තුව නත්තල් දිනයේ දී සිය පළමු සැසිය පැවැත්වීමට තරම් දුර ගොස් තිබූ බව පෙනේ.

කොන්ග්‍රසය විසින් නත්තල් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශතවර්ෂයකට ආසන්න කාලයක් ගතවනු ඇති බව පෙනිණි. අවසානයේ 1870 දී එය සිදු විය. ඒ වන විට නත්තල් ගස, සීයා සහ තෑගි දීම වැනි සම්ප්‍රදායන් ඇමරිකානු ප්‍රධාන ධාරාව වෙත පිවිස තිබුණු අතර සියලුදෙනා විසින් ම හඳුනන සහ ආදරය කරන පවුල් හිතකාමී නිවාඩු දිනයක් බවට දෙසැම්බර් 25 පත් විය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author