Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව පිරිහී අවසානයි. නමුත් බලය ලබා ගැනීමට නම් අප මනාව සංවිධානය විය යුතුයි – එජාප නි. නායක රුවන් විජයවර්ධන

වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාව අතර පිරිහී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. බලයට පත්ව මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාව අතර මෙතරම් දරුණු පිරිහීමට පත් වූ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්   තුනෙන් දෙකක පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහ  විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ගොඩනඟාගත් ඒකාධිපති බලය සමගින් ශක්තිමත්ව  සිටින   ආණ්ඩුව පලවා හැරීම සඳහා  විපක්ෂයක් ලෙස ශක්තිමත්ව සංවිධානය වීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරනවා.

එක්සත් ජාතික පක්ෂ  නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ පක්ෂයේ  ප්‍රතිසංවිධාන දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති  හත් වන දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා  සමාජයේ ඕනෑම තරාතිරමක සහ ඕනෑම ස්ථරයකට ගොස් දේශපාලනය සිදු කිරීමට තමා සූදානම් බව ද  සඳහන් කළා.

වෙලේ, නියරේ,  ඇලේ, දොලේ,  මුහුදුකරයේ, වතුකරයේ ඕනෑම ස්ථානයකට ගොස් පාක්ෂිකයන්  දිනා ගැනීම සඳහා සහ  නැවත පක්ෂය  ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන්  සියලු දෙනාම ඇපකැප විය යුතු බවත් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පමණක් නොව ආසන මට්ටමින් ද  රට පුරා යමින්  පාක්ෂිකයන් ශක්තිමත් කොට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදෙන බව ද අවධාරණය කළා.

ආණ්ඩු බලය ලබා ගැනීමත් බලය පවත්වා ගැනීමත් යන දෙකම මිත්‍යාව හරහා  සිදු කරන  ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබද  මෙරට ජනතාවට ඇති ඉවසීමේ හැකියාව පිළිබඳ තමා පුදුමයට පත්වන බවද විජයවර්ධන  මහතා සඳහන් කළා.

මහර බන්ධනාගාරයේ රැඳවියන් එකොළොස් දෙනකු මරා දැමීමේ සිදුවීම යටපත් කරමින් ආණ්ඩුව පැණි ගැන මාතෘකාවක් කරලියට ගෙනවිත් ඇති බව පෙන්වාදුන්  නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඒ සියලු දේවල් සිදු කරමින් වත්මන් ආණ්ඩුව විසින් රටේ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථිකය ඇතුළු සියලු  අංශයන් අවදානමට ලක් කර ඇති බව සඳහන් කළා.

චෝදනා ලැබූ  ආණ්ඩුවට සම්බන්ධ  පුද්ගලයන් අධිකරණය හරහා දින දෙක තුනෙන්  නිදොස්කොට නිදහස් වන තත්වයක්  දැකිය හැකි බවත් මෙය මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින විස්වාසය පිළිබඳ බරපතළ සැකසංකා  මතුවන අවස්ථාවක් බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බදුල්ල දිස්ත්‍රික් නායක උපාලි සමරවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සචිත්තානන්දන්, බදුල්ල දිස්ත්‍රික් කළමනාකාර පුලස්ති වන්නිආරච්චි ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරුන්,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් , සියලු ආසන සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, පළාත් පාලන අපේක්ෂකයින්,කොට්ඨාස නිලධාරීන්,මහමැතිවරණ අපේක්ෂකයින් ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කය ජනතා නායකයින්  සහ  පක්ෂ  ක්‍රියාකාරීන් රැසක් සහභාගි වූ අතර,පාලිත රංගේබණ්ඩාර , සන්දිත් සමරසිංහ , ශාන්තිනී කෝන්ගහගේ, මහාචාර්ය ආශු මාරසිංහ , සමන් රත්නප්‍රිය ඇතුළු හිටපු මැති ඇමතිවරුන් ආසන සංවිධායකවරුන් ප්‍රමුඛ  මහනුවර, කොළඹ,ගම්පහ අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් පැමිණි එක්සත් ජාතික පක්ෂ ජනතා නායකයින් කිහිප දෙනෙකු ද  එක් වුණා.

About The Author