Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවත් තවදුරටත් හොරගල් අහුලන්නේ නැතිව පාස්කු කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කළ යුතුයි – ජවිපෙ කියයි

පාස්කු ප්‍රහාරයේ “අලගිය මුලගිය තැන්” පිළිබඳ දැනගැනීමේ සාධාරණ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (11) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පරෙමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එම මාධ්‍ය හමුවේදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ද අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක…

“මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ ජනාධිපතිවරයා වෙත බාරදුන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න. පසුගිය දශකයේ අපේ රටේ සිදුවූ විශාලතම ඛේදවාචකය මේ පාස්කු ප්‍රහාරය, 268ක් මිය ගිහින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඒ වගේම ජනතාව අතර විශාල කැළඹිලිකාරී තත්වයක් ඇති වුණා. ගැටුම්කාරී තත්වයන්ට පවා මුල්වූ විශාල ඛේදවාචකයක්.

හැබැයි ඒක ඛේදවාචකයක් පමණක් නොවෙයි අපේ රටේ දේශපාලන දිශානතිය වෙනස්වීම සඳහාත් පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් ඉවහල් වුණා. යුද්ධයෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳව සාකච්ඡාව මෙම ප්‍රහාරයෙන් පසුව ප්‍රබල ලෙස යළි කරළියට එන්න පටන් ගත්තා. ඒ නිසාම ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී වෙනස්කම් සිදුවීමට මේ ප්‍රහාරය විශාල වශයෙන් ඉවහල් වුණා. ඊට අදාළ ජනතාවගේ ආකල්පයන් සියල්ල තීරණය වීමට ප්‍රධාන සාධකය වූයේ මේ ප්‍රහාරයයි. ඒ නිසාම මේ ප්‍රහාරය අලගිය මුලගිය තැන් පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ සාධාරණ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තියෙනවා. කතෝලික භක්තිකයන් විශාල ප්‍රමාණයක් මියයාම සහ දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර සිදුකිරීමත් නිසා කාදිනල්තුමාගේ විශේෂ අවධානය යොමුවී තිබුණා. මෙහි මූලයන් හෙළිකළ යුතුයි කියන ස්ථාවරයේ උන්වහන්සේ සිටියා. මේ තොරතුරු හෙළිනොකරන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයකට වුවත් යාමට සූදානම් බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා.

ප්‍රහාරය එල්ලකොට මේ වනවිට මාස 22ක් පමණ ගතවී තිබෙනවා. 2019 සැප්තැම්බර් මාසයේදී හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරනු ලැබුවා. මෙම කොමිෂන් සභාව මාස 15කට ආසන්න කාලයක් සාක්ෂි විභාගයට ලක් කළා. ඒ තුළින් විවිධ ප්‍රවෘත්ති ඇතිකරමින් දියත් වුණා. එහි අවසාන වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.

මේ කොමිෂන් සභාවට පැති දෙකකින් කාර්යභාරයක් පවරා දී තිබුණා. මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා වගකිව යුතු ආණ්ඩුවේ දේශපාලකයින් සහ ඊට අදාළ නිලධාරීන් නොසැලකිල්ලෙන් කටයුතු කළාද, වගකීම් අනුව කටයුතු නොකළාද, කියලා විමසා බැලීම ප්‍රධාන කරුණක්. දෙවැනි කාරණය ප්‍රහාරය සිදුකළේ කුමක් වෙනුවෙන් ද, ඒ සඳහා හවුල්වූවන් කවුද, තව සංවිධානවල දායකත්වයක් තිබේද, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් තිබේද, ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද, සහරාන්ට උඩින් තව පිරිසක් සිටියාද, ඔවුන් තවමත් මේ සැලසුම්වල ඉන්නවාද, වැනි ප්‍රහාරකයන්ගේ පාර්ශ්වයන් පිළිබඳ පරීක්ෂණ සිදුකොට ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුණා. මේ ප්‍රධාන කරුණු දෙකට අමතරව නැවත මෙවැනි ප්‍රහාරයන් වළක්වා ගැනීම, ඉන්පසු සිදුවූ නොසන්සුන්කාරී තත්වයන් සිදුවූයේ කෙසේද, වැනි කරුණු සොයා බැලීමට තිබුණා.

දැනට මාධ්‍ය වාර්තා කර තිබෙන තොරතුරු අනුව හෙළිවී තිබෙන්නේ, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වයන් පිළිබඳවයි. හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අය හැටියට වාර්තා කර තිබෙනවා. නමුත් වාර්තාවේ වැදගත්ම කොටස තමයි මේ ප්‍රහාරකයන් කවුද, ඔවුන්ගේ වුවමනාවන් මොනවාද, කවුරු විසින් ඔවුන් හසුරුවනු ලැබුවාද, මරාගෙන මැරුණ බෝම්බකරුවන්ගෙන්ම මේ ප්‍රහාරකයන් අවසන් වෙනවාද, ඔවුන්ගේ සැලසුම් අවසන් වෙනවාද, කියන කරුණු ඉතාමත්ම වැදගත්. ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවත් අනාගතය පැත්තෙන් බැලුවත් ජාතික සමගිය දිසාවෙන් බැලුවත් වැදගත් වෙන්නේ මෙන්න මේ තත්වයන් පිළිබඳව හෙළිදරවු කිරීම.

මාධ්‍ය තුළින් දැනට ඉදිරිපත්වී තිබෙන කරුණු අනුව එවැනි දෙයක් අපි දැක්කේ නැහැ. අවුරුදු එක හමාරකට අධික කාලයක් සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් කැඳවමින් පිටු ලක්ෂයකට ආසන්න වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුන් බව වාර්තා වෙනවා. පුද්ගලයන් දෙදෙනෙක් අතර නඩු වාර්තාවක් නෙවෙයි මේක. පසුගිය දශකයේ සිදුවුණු විශාලතම ඛේදවාචකය, අපේ රටේ දේශපාලනයේ දිශානතිය වෙනස් කළ හැරවුම් ලක්ෂයක වාර්තාව දේශපාලන ව්‍යාපාරයක් වුණු අපට පමණක් නොව මේ රටේ සියලු පුරවැසියන්ට එහි අඩංගු කරුණු දැනගන්න යුක්තිසහගත අයිතියක් තියෙනවා. මාධ්‍යවේදීන් හැටියට ඔබටත් ඒ අයිතිය තියෙනවා. කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම මාධ්‍ය ආයතනවල ප්‍රධානම ප්‍රවෘත්ති බවට පත්වී තිබුණා. ඒ නිසා මෙම වාර්තාවේ තිබෙන්නේ මොනවාද යන්න දැනගන්න සියලු දෙනාටම යුක්තිසහගත අයිතියක් තියෙනවා.

පසුගිය 08 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව සහ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටියා. පාස්කු කොමිෂන් වාර්තාව මුද්‍රණය කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනවා නම් පාරලිමේන්තුවේ පුස්තකාලයට පිටපත් දෙකක් ලබාදී අනෙක් සියලු දෙනාට එහි විද්‍යුත් පිටපතක් ලබාදෙන්න කියන ඉල්ලීමක් කළා. මේකෙ විශාල පිටු ප්‍රමාණයක් තිබෙන වාර්තාවක් නිසා සභාගත කරන්න සැලකිය යුතු කාලයක් ගතවෙන බව කියමින් ආණ්ඩුව හැංගෙන්න හදන බව අපි දන්නවා. ඒ නිසා තමයි අපි විකල්ප ඉල්ලීමක් කළේ. නමුත් එය ලබාදීමට ආණ්ඩුව සූදානමක් නැති බව හරි පැහැදිලියි. ඉදිරි පාර්ලිමේන්තු වාරයේදීත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවිද කියන සැකය තියෙනවා. කැබිනට් මණ්ඩලයත් සූම් හරහා රැස්වෙනවා නම් මේ වාර්තාවේ විද්‍යුත් පිටපතක් නිල වෙබ් අඩවියේ පළ කරන්න හැකියාව තිබෙනවා. නමුත් මේ සියලු විකල්ප නොසලකා හරිමින් ආණ්ඩුව මේක හංගන්නේ ඇයි කියලා සාධාරණ සැකයක් තියෙනවා.

පොදු ජනතාවට දැනගැනීමට තිබෙන අයිතිය හේතුකොටගෙන ආණ්ඩුව වහාම මෙය ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ හෝ ඔහුගේ අල්ලපු වැටේ කෙනෙකුගේ ඉඩම් නඩුවක වාර්තාවක් නොවෙයි. අටදෙනෙකු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ වාර්තාවක් මේක. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් තවදුරටත් හොරගල් අහුලන්නේ නැතිව බොරු හේතු නොකියා වහාම මහජන ලියවිල්ලක් බවට පත් කළ යුතුයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වහාම සමාජයට ඉදිරිපත් කළ යුතුයි. මෙය හංගාගෙන ඉඳීමේ අයිතියක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැහැ.

රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා..

ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්…

අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලයේ සිටින ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්. අද වෙනකොටත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන්, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට. කෙටිකතාවක් ලියපු ගත් කතුවරයෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු එක හමාරකට අධික කාලයක් අත්අඩංගුවේ තියාගෙන හිටියා. මහර බන්ධනාගාරයේ කොරෝනා හැදුණු රෝගීන් 11දෙනෙකුට වෙඩි තියලා මරලා දැම්මා. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමක් කියන බෝඩ් එකට මුවාවෙලා දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙනවා. මේ විවිධ ආකාරයෙන් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවෙනවා.

මේ නිසා සිද්ධ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමට අපේ රටට ඇඟිලි ගහන්න පාර කැපීමක්. පහුගිය ආණ්ඩුව කාලයේත් වර්තමානයේත් පහුගිය කාලයේමත් බලය හොබවන ආණ්ඩුව විසින් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා. අද සිද්ධ වෙන්නෙත් ඒක. ලොකුම විහිළුව වෙන්නේ මානව හිමිකම් මැදිහත් වෙන්න ජනාධිපතිවරයා පත්කළ කමිටුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නවාස් මහත්මාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවේ එක් සාමාජිකයෙක් හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මයා. ඔහු දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේත් සාමාජිකයෙක්. 2006 මාර්තු මාසයේදීත් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ නඩු විභාගයක් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු කළ පුද්ගලයෙක්. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වරදට ඔහුගේ පෞද්ගලික වැටුපෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ගෙවන්න නියම කළා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට වාර්තාවක් සපයන්න එවැනි පුද්ගලයෝත් පත්කර තිබෙනවා. මේවායෙන් වෙන්නේ අපේ රට පිළිබඳ තව තවත් ඔවුන්ට ඇඟිලි ගහන්න ඉඩ හැදීමක්. කමිටුවලට මෙවැනි පුද්ගලයන් පත්කිරීම රටක් හැටියට තව තවත් හෑල්ලුවට ලක්වෙනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

“මේ ප්‍රහාරයට ජාත්‍යන්තර සංවිධානවල සබඳතාවයන්, විවිධ ආයතනවල සබඳතාවයන් ගැන විවිධ සාකච්ඡා ගොඩනැගී තිබුණා. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට හෝ වෙනත් කිසිදු සංවිධානයකට හෝ කරුණු කීමේ අයිතියක් නැහැ. විමර්ශනය කොට කරුණු සොයාගත යුතුයි. හම්බන්තොට වරාය විකිණීමේදී නම් චීනය මැදිහත්වී තිබෙන බව අපිට කියන්න පුළුවන්. නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේදී ජපානය සහ ඉන්දියාව මැදිහත්වී ඇති බව අපිට කියන්න පුළුවන්. මෙවැනි සංකීර්ණ තත්වයක් ගැන ඊට අදාළ පරීක්ෂණවලින්ම සොයාගත යුතු වෙනවා. මේ ගැන සොයා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කළා. එහි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැබැයි ඒ වාර්තාවේ මේ පිටුපස තිබෙන සබඳතාවයන් පිළිබඳ කිසිවක් සඳහන් වී නැහැ.

ඒ වගේම ප්‍රහාරය එල්ල කළ දිනයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණ මාලාවක් තිබෙනවා. එම පරික්ෂණවලදීත් යම් රාජ්‍යයක හෝ සංවිධානයක තොරතුරු හෙළි නොවූ බවයි දැනගන්න ලැබෙන්නේ. නීතිපතිවරයා මෑතකදී මෙම පොලිස් පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බව සඳහන් කරලත් තිබුණා. ඊට අමතරව ජනාධිපති කොමිෂන් සභාව විසින් 2019 දෙසැම්බර් සහ 2020 මාර්තු මාසයේදීත් අතුරු වාර්තා දෙකක් ජනාධිපතිවරයාට ලබාදී තිබුණා. අපිට තිබුණු තොරතුරු අනුව ඒ අතුරු වාර්තාවලිනුත් වෙනත් පාර්ශ්වයන්ගේ සම්බන්ධයන් ගැන හෙළිවී නැහැ.

කොමිෂන් සභාව පත්කිරීමේදී එසේ පත්කරන සාමාජිකයන් පිළිබඳව විශේෂයෙන් සඳහනක් කරනවා.

“ඔබ කෙරෙහි තිබෙන විශ්වාසය, මේ කාර්යයන් පිළිබඳ, ඔබට තිබෙන හසල දැනුම, ඔබ මේ සඳහා ගෞරවාන්විතව වැඩකරනවාය යනුවෙන් තිබෙන විශ්වාසය” වගේ යෙදුම් සහිත වාක්‍යයක් තිබෙනවා. නමුත් වාර්තාවක් ලබාදුන්නාට පස්සේ කොමිෂන් සභාවක් නැහැ. එතැන් සිට ඉන්නේ පුද්ගලයන්. වාර්තාව භාරදුන්නාට පසු කොමිෂන් සභාවක් නැහැ. මේ නිසා ජනාධිපතිවරයාගේ දේශපාලන ජයග්‍රහණයට හේතු වූ සාධකයක් සම්බන්ධයෙන් වාර්තාව ලබාදෙන කොටම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවටත් පිටපතක් ලබාදෙනවා නම් වෙනත් සැකසංකා මතුවෙන්නේ නැහැ. මේ ආයතනයන් සහ පුද්ගලයන් පිළිබඳව මීට පෙරත් සැකසංකා මතුවී තිබෙනවා. ඒ නිසා ඕනෑම දෙයක් වියහැකි පුද්ගලයන් සහ ආයතන අපේ රටේ ස්ථාපිත වී තිබෙනවා. මේ තත්වය නිසා ජනතාව තුළ යම් සැකයක් ඇතිවීම සාධාරණයි. එවැනි සැකසංකා මගහැරිය හැකි වන්නේ ජනාධිපතිවරයාට වාර්තාව භාරදෙන විගසම ලේඛනාරක්ෂකේටත් පිටපතක් භාරදීමෙනුයි.

කොවිඩ් වසංගතය හේතු කොටගෙන මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ භූමදානය කරන්න අවස්ථාව ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අගමැතිවරයාගේ එම තීන්දුවට මන්ත්‍රීවරුන් ස්තූති කර තිබුණා. මේ නිශ්චිත මොහොතේදී පැනනැගිලා තිබුණු ගැටලුව කෝවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගෙ සිරුරු භූමදානය කරන්න අවස්ථාව ලබාදෙන්න කියලයි. එහෙම නැතිව මැරිච්ච කෙනෙක් භූමදානය හෝ ආදාහනය කරන්න අලුතින් කියන්න ඕනෑද? අගමැතිවරයාගේ ප්‍රකාශය තුළින් අලුත් තීන්දුවක් අවශ්‍යවී තිබුණේ ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු මූලිකකරගෙනයි. මාධ්‍ය ආයතන හැටියට ඔබ එය තේරුම් ගත්තේ කොහොමද? අපේ රටේ පුරවැසියන් තේරුම් ගත්තේ කොහොමද? පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු විදේශ නායකයන් එය තේරුම් ගත්තේ කොහොමද? හැමෝම තේරුම් ගත්තේ එක විදහකට. ඒ ඔක්කොම තේරුම් ගත්ත දේ පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට වෙනත් ආකාරයකට තේරෙනවා නම් ඒගොල්ලෝ මේ ග්‍රහලෝකයේ අය නොවෙයි.

මේ සම්බන්ධයෙන් විවිධ අයගේ ප්‍රකාශ හරහා පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තුළ තීන්දු තීරණ ගන්න අග්‍රාමාත්‍යවරයාට කොපමණ බලයක් තියෙනවාද කියන එක. මහින්ද රාජපක්ෂ මහත්මයාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මම කීවේ ඒක නෙවෙයි කියලා කියන්න ඉඩ තියෙනවා. එතුමත් ඒ තරමටම අසරණ වෙලා ඉන්නේ. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්න කෙනෙක් නොවෙන බවයි. ඔබ ඔය කියන කාන්තාවන් ඇතුළු විවිධ අයගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ. රටේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ආණ්ඩුවේ නිල ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා. ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුවේ නිල මතය කියලයි අපි හිතන්නේ. මේ පිළිබඳව නිර්දේශ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ලබාදෙන නිර්දේශ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා කියලයි අපිට තිබුණු අදහස. අපේ ස්ථාවරය වුණෙත් ඒක.

ගලිබවුසර් දෙකක් පාරේ හැප්පුණාම මුළු පළාතම ගඳ ගහනවා හැරුණු කොට වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ කවුරුවත් ගිහිල්ලා එක ගලිබවුසරයක් හෝ බදාගන්න නම් එපා කියලා. තමන්ටත් නාන්න තමයි වෙන්නේ. ඒ නිසා ගලිබවුසර් පාරේ හැප්පුණාම ඉක්මනින්ම සුද්දකරලා දාන්න ඕනෑ. එච්චරයි. ඔය දේශපාලන නාටක. ඔය ගොඩක් අයගේ දේශපාලන සුජාතභාවයත්, දේශපාලන පෞරුෂයත්, දේශපාලන අනාගතයත්, රාජපක්ෂලා ඉදිරියේ උකස් තියලා තියෙන්නේ. මැක්කාගේ පැවැත්ම තියෙන්නේ බල්ලාගේ ජීවිතය තියෙනකම් විතරයි.

කොටස් වෙළඳපොළේ සිදුවෙන්නේ කබ්රාල්ගේ සුපුරුදු සූදුව. මීට සතියකට කලින් ලෝකයේ අංක එකට තිබුණු කොටස් වෙළඳපොළ පවත්වාගෙන යන්න බැරිව වහන තත්වයක් ඇතිවෙන්නේ කොහොමද? එතකොට අදද හරි නැත්නම් එදාද හරි. ඔතන සිද්ධ වෙන්නේ ආණ්ඩුව මැදිහත්වෙලා කෘත්‍රිම තත්වයක් නිර්මාණය කිරීම. දැන් සිද්ධ වෙන්නේ ඔරොත්තු නොදෙන ඒ කෘත්‍රිම තත්වය පුපුරා යමින් තිබීමක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ සංඛ්‍යා දත්ත සැඟවීම, සංඛ්‍යා දත්ත ඇතුළේ කරන විජ්ජාව මගින් ආර්ථිකය ගොඩනගන්න බැරි බවයි. කොටස් වෙළඳපොළෙන් එන පණිවිඩය ඇත්ත යථාර්ථයට එන්න කියලයි. මේකෙන පාඩු සිද්ධ වුණේ මහා පරිමාණ ඩීල්කරුවන්ට නොවෙයි. අර්ථසාධක අරමුදල අරගෙන, ඉඩමක් විකුණලා සල්ලි අරගෙන බැංකු පොලී අඩු නිසා කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ අයට. මේ පිම්බීමට අහුවුණු නිසා කුඩා පරිමාණයේ කොටස් වෙළඳපොළට සම්බන්ධ වුණු අයගේ මුදල් ටික අද අහිමි වෙලා. ආණ්ඩුව කෘත්‍රිමව හදන බබල් එකේ ගොදුරු බවට පත්වෙන්න එපා කියලා පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”