Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අසාර්ථක සටන් පාඨ.

මේ වන විට ලොව පුරා රටවල් කිහිපයක ම මැතිවරණ උණුසුම ඉහළ යමින් පවතී. මැතිවරණයකට ඉදිරිපත් වන පුද්ගලයින් සිය නම හා ලකුණ ප්‍රචාරය කර ගැනීම පිණිස බොහෝ උපක්‍රම භාවිත කරන බව කවුරුත් දන්නා කරුණකි. එයිනුත් ඇතැම් ඡන්ද අපේක්ෂකයින් නොයෙක් ආකාරයේ සටන් පාඨ සිය ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා බව පෙනේ. මෙම සටන් පාඨය සිය අනන්‍යතාව හෙළි වන අන්දමින් මෙන් ම සිය අනාගත බලාපොරොත්තු ජනතාවට තේරුම් යන අන්දමින් ද නිර්මාණය කර ගත හැකි නම්, එය සාර්ථක ය. තව ද එහි දී අපේක්ෂකයා වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ පහසුවෙන් මතකයේ රැඳීමටත්, එක්වර ම කෙනෙකුගේ සිතට ඇතුළු වීමටත් ඊට හැකියාව තිබේ ද යන්න පිළිබඳ ය. 

මෙතුවක් මැතිවරණවලට සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපදයේ අපේක්ෂකවරුන් සතු ව නොයෙක් මාදිලියේ සටන් පාඨ තිබූ බව පෙනේ. “වොරන් ජී. හාඩිං” සිය කාර්යාලයේ දී ම මියගිය පසු 1926 වසරේ පැවැත්වුණු මැතිවරණයෙන් “කැල්වින් කූලිජ්” ජයග්‍රහණය කළේ ය. ඔහුගේ සටන් පාඨය වුයේ “කූලිජ් සමඟින් සැහැල්ලු වන්න” යන්න යි. 1952 දී “ඩ්වයිට් ඩී. අයිසන්හවර්”ගේ සටන් පාඨය වූයේ, “මම අයි.කේ.ට කැමතියි” යන්න යි. එය කොතරම් ජනප්‍රිය වූයේ ද කියතොත්, 1956 දී ඔහු නැවත තේරී පත් වන විට භාවිත කළ සටන් පාඨවලින් එකක් වූයේ ද “මම තවමත් අයි.කේ.ට කැමතියි” යන්නයි.

ඇපලෝ පබ්ලිෂර්ස්හි ප්‍රකාශක සහ කතුවැකි අධ්‍යක්ෂක “ජූලියා ඒබ්‍රමොෆ්” පවසන පරිදි සටන් පාඨයක් නම් වඩා කෙටි, අනුකම්පා සහගත මෙන් ම මතකයේ රැඳෙනසුලු එකක් ද විය යුතු ය. එහෙත් ඇතැම් අපේක්ෂකයින් මෙම නිර්වචනය නිවැරදි ව වටහා ගත් බවක් නොපෙනේ. 1936 දී ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ ප්‍රතිවාදියා වූ “ඇල්ෆ් ලන්ඩන්” භාවිත කළ “අපි මෙය ලන්ඩන් – ස්ලයිඩයක් බවට පත් කරමු” සහ “වොෂිංටනයෙන් ඉඩමක්” වැනි සටන් පාඨ අතිශයින් ප්‍රාථමික විය. තව ද, 1944 දී තෝමස් ඩිවේ යොදා ගත් “ඩිවේ නැත්තන් අපිත් නෑ” සහ ” පිණි එක්ක ඩිවේ” (Dew with Dewey) වැනි පාඨ ද එතරම් ජනප්‍රිය වූයේ නැත. එවැනි සටන් පාඨ අතරින් වඩාත් අසාර්ථක වූ පාඨ කිහිපයක් ද තිබේ.

1.”වෙන මොකුත් එපා, ටැෆ්ට්ට පුටුවේ ඉන්න විතරක් ඉඩ දෙන්න.” 

1908 දී විලියම් හොවාර්ඩ් ටැෆ්ට් සිය මැතිවරණය ජයග්‍රහණය කළේ රිපබ්ලිකන් පාක්ෂික ටෙඩී රුස්වේල්ට්ගේ සහයෝගයෙනි. එහෙත් 1912 වන විට ඔහුට එරෙහි වූ ටෙඩී, ටැෆ්ට් සිය ධූරයෙන් නෙරපා හැරීම පරම අරමුණ කර ගනිමින් “බුල් මූස්” නමින් නව පක්ෂයක් පවා පිහිටුවා ගත්තේ ය. මෙම සිදුවීමත් සමඟ ටැෆ්ට්ගේ සිතෙහි පැලපදියම් වූ මතය වූයේ ඇමරිකානු ජනතාව තමාට දැඩි සේ අකැමැත්තෙන් පසු වන බව යි. ඔහු මැතිවරණ ප්‍රචාරක මාවතේ ගමන් කිරීම පිළිකුල් කළේය. ඔහුට සැමවිටම අවශ්‍ය වූයේ ඔහුගේ නිදහස් කාලය තුළ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට යි. එසේ ම ඔහු වැඩ කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ ද නැති. එහෙයින් “ටැෆ්ට් හට සිය පුටුවේ වාඩි වී සිටීමට ඉඩ දෙන්න” යන පාඨය එක්තරා අකාරයකින් ජනතාව වික්ෂිප්ත කළේ ය. මන්දයත් රටට කිසිදු සේවයක් නොකරන පුද්ගලයෙකු නිකරුණේ පුටුව පමණක් රත් කරමින් සිටීම කිසිසේත් සතුටට කරුණක් නොවන බැවිනි. එහෙයින් ඔහුගේ දුර්වල ඡන්ද ව්‍යාපාරය හරහා ටැෆ්ට් හට ලැබුණේ ජනප්‍රිය ඡන්දවලින් 23% ක් පමණි. රූස්වෙල්ට් දෙවැනියා වූ අතර ජයග්‍රහණය කළේ ඩිමොක්‍රටික් පාක්ෂික වුඩ්‍රෝ විල්සන් ය.

2. “ඔබේ තෙත් සිහින සැබෑ කර ගන්න.”

1928 දී නිව්යෝර්ක් ආණ්ඩුකාර “අල් ස්මිත්”, ප්‍රධාන පක්ෂයෙන් ලබා දෙන ලද ප්‍රවේශ පත්‍රයකින් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ පළමු කතෝලිකයා බවට පත්විය.  ස්මිත් ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ “තෙත්” අපේක්ෂකයෙකු විය. එයින් අදහස් කළේ ඔහු එකල පනවා තිබූ තහනම් නියෝග කිහිපයකට ම විරුද්ධ බවය. මෙම තහනම් නියෝග වූයේ ඇල්කොහොල් භාවිතය, කතෝලික ආගම, සංක්‍රමණය ආදිය යි. ස්මිත්ගේ ආගම කතෝලික වූ බැවින් ඔහු සහ ඔහු අනුව ගිය කතෝලික බැතිමතුන්ගෙන් සියයට අනූ නවයක් ම ඉහත සඳහන් කරන ලද “තෙත්” සංකල්පය හිස දරා ගත් පුද්ගලයෝ වූහ. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අමතක වූ කරුණ වූයේ මෙම සටන් පාඨය අභ්‍යන්තරයෙන් ගම්‍යමාන වූ ලිංගිකත්වය යි. එහෙයින් කතෝලිකයෝ එම අදහස කෙසේ වටහා ගත්තත් එම ආගමට අයත් නොවූ රටේ බහුතරයකගේ සිතෙහි ඇඳුණේ ලිංගික සංසර්ගය සම්බන්ධ අදහසකි. මෙම හේතුව අනුව යමින් විය යුතු ආකාරයට ම ස්මිත් පරාජය විය. ජයග්‍රාහකයා වූයේ “සෑම භාජනයක් තුළම කුකුළු මස් හා සෑම ගරාජයක ම මෝටර් රථයක්” යන පොරොන්දුව මත ප්‍රචාරක කටයුතු ගෙන ගිය රිපබ්ලිකන් පාක්ෂික හර්බට් හූවර් ය.

3. “හූවර් සමඟ ආරක්ෂිත ව ක්‍රීඩා කරන්න”.

හූවර්ගේ ජනාධිපති ධුරයේ පළමු වසර තුළ, ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් වෙළඳපොළ කඩා වැටී රට මහා අවපාතයට ඇද වැටුණි. රැකියා මෙන් ම නිවාස ද නොමැති වූ ඇමරිකානුවන් හට රැකවරණය ලබා දුන් පැල්පත්වලින් පිරුණු නගරය “හූවර්විල්ස්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්විණි. ආර්ථික අවපාතයත් සමඟ හූවර්ගේ ජනප්‍රියත්වය ද බලා සිටියෙ දී කඩා වැටුණි. 1932 දී නැවත අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කල “හූවර් සමඟ ආරක්ෂිත ව ක්‍රීඩා කරන්න.” වැනි දියාරු සටන් පාඨ කිසිසේත් ම ප්‍රමාණවත් නොවී ය. මෙයට පෙර 1964 දී පමණ සිදු වූ සිවිල් යුද්ධය අතරතුර දී මැතිවරණයට ඉදිරිපත් වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ජනප්‍රියතම සටන් පාඨය වී තිබුණේ “යුද්ධය අතරමැද දී අශ්වයා වෙනස් නොකරන්න” යන්නයි. ඒ අනුව යමින් හූවර් ද සිය රූපමය දැන්වීම් ප්‍රචාරයේ දී අලියෙකු පිට නැඟි මිනිසෙකු බූරුවෙකුට පයින් ගසා එළවන ආකාරයේ දැන්වීමක් පවා යොදාගෙන තිබිණි. එහෙත් ඒ කිසිවකින් හුවර්ගේ අපේක්ෂිත අරමුණ ඉටු නොවිණි. 

4. “ඇඩ්ලායි සමඟ එස්ටේස් – විශිෂ්ටතමයෝ ය.”

1952 වසරේ දී “ඇඩ්ලායි ස්ටීවන්සන්” ප්‍රථම වරට අයිසන්හවර්ට එරෙහි ව තරඟ වැදීමේ දී ඔහු සතුව තරමක් ආකර්ශනීය සටන් පාඨයක් තිබිණි. එනම්, “ඇඩ්ලායි එක්ක දිග ගමනක් යමු” යන්න යි. 1964 දී “ලින්ඩන් බී. ජොන්සන්” ද එම පාඨය ම සාර්ථක ව අනුවර්තනය කරගනිමින් සිය නාමය සඳහා භාවිත කරන ලදී. එනම්, “එල්.බී.ජේ සමඟ දිගු ගමනක් යමු.” යනුවෙනි. 1956 සටනෙ දී ද ඔහු එය ම භාවිත කළ අතර, තවත් අලුත් පාඨ කිහිපයක් ද හඳුන්වා දුන්නේ ය. ඒ අතරින් “අපි ඇඩ්ලායි ගැන පිස්සු වැටිලා” යන ගීතය ද වැදගත් වේ. එහෙත් ඔහුගේ සහායකයා මැදිහත් වී සිය නාමය ද ඈඳා ගනිමින් “ඇඩ්ලායි සමඟ එස්ටේස් – විශිෂ්ටතමයෝ ය” යන සටන් පාඨය ජනප්‍රිය කරවීමට පියවර ගත්තේ ය. එය මඳක් විකාරරූපී අදහසක් විය. එමෙන් ම එහි කිසිදු අනුකම්පා සහගත හෝ ආකර්ෂණීය බවක් තිබුණේ ද නැත. එහෙයින් අයිසන්හවර්ගේ සෞඛ්‍යය තත්ත්වය සහ උප ජනාධිපති වශයෙන් සිටි රිචඩ් නික්සන් අනාගතයේ දී ජනාධිපති ධුරයට පත්වීමේ හැකියාව පිළිබඳව බරපතල ප්‍රශ්න කිහිපයක් තිබියදීත්, අයිසන්හවර් දෙවන වරටත් ස්ටීවන්සන්ට එරෙහි ව තරඟය ජය ගත්තේ ය. 

5. “හිත ඇතුළෙන් ඔහු නිවැරැදි බව ඔබ දන්නවා”.

1964 දී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ කොන්සර්වේටිව්වරයකු වූ “බැරී ගෝල්ඩ්වෝටර්” ය. එකල ඔහු හැඳින්වූ අන්වර්ථනාමය වී ඇත්තේ “ඒයූ එච්2ඕ” (AuH2O) ය. එනම්, රන් හෙවත් ගෝල්ඩ් හැඳින්වීම සඳහා “ඒයූ” සහ ජලය සඳහා “එච්2ඕ” යනුවෙනි. (රසායනික මූලද්‍රව්‍ය නාම සංකේතයන්.) 1964 දී ගෝල්ඩ්වෝටර් සිවිල් අයිතිවාසිකම් පනතට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඩිමොක්‍රටිකයින් සහ ඔහුගේම පක්ෂයේ විරුද්ධවාදීන් ද විසින් දක්ෂිනාංශික අන්තවාදීන්ගේ නායකයෙකු ලෙස ඔහු හඳුන්වා දෙන ලදී. ගෝල්ඩ්වෝටර්ගේ සටන් පාඨය වූයේ “හිත ඇතුළෙන් ඔහු නිවැරැදි බව ඔබ දන්නවා” යන්නයි. එහෙත් ජනතාව විසින් එම පාඨය අර්ථකථනය කර ගන්නා ලද්දේ අන්තවාදී අදහස්වලට අනුගත වීමක් වශයෙනි. එහෙයින් අදාළ සටන් පාඨය එතරම් සාර්ථක වූයේ නැත. මේ හැර ගෝල්ඩ්ස්ටයින් හට තවත් සටන් පාඨ පහක් පමණ තිබූ බව පෙනේ. එහෙත් අවාසනාවකට මෙන් ඔහු ජනතාව අතර ජනප්‍රිය කරවා තිබුණේ තමන් සතුව තිබූ අසාර්ථක ම පාඨය යි. ගෝල්ඩ්ස්ටයින්ට එරෙහි ව තරඟ වැදුණු ලින්ඩන් බී. ජොන්සන් ඔහු ම සාදා ගත් පාඨයකින් ඉහත සටන් පාඨයට පහර දුන්නේ ය. එනම්, “බඩ ඇතුළෙන් ඔහු ගෙඩියක් බව ඔබ දන්නවා” යනුවෙන් පවසමිනි. ජොන්සන් ජය ගත්තේ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author