2022 අගෝස්තු 10

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවුන් සාන් සූ කී හට සිදු වූයේ කුමක් ද?

පසුගිය වසරේ මියන්මාරයේ පැවැත්වුණු මැතිවරණයෙන් බලයට පත් වූ ජනතා නායක අවුන් සාන් සූ කී සහ ඇගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට මියන්මාරයේ සම්පූර්ණ අධිකාරී බලය ඉහළ හමුදාපතිට ලබා දී ඇති අතර රට තුළ වසරක හදිසි නීතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ය.

මෙයට මාස කිහිපයකට පෙර සූ කී මහත්මිය නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්.එල්. ඩී.) නම් වන පක්ෂය විසින් අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. එහෙයින් එම පක්ෂය ප්‍රකාශ කරනුයේ අත්තනෝමතික ව ඇති කරගෙන තිබෙන හමුදා පාලනය පිළිගැනීම සඳහා ජනතාව කිසිසේත් සූදානම් නොමැති බව යි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ලියන ලද ලිපියක සූ කී මහත්මිය ද කියා සිටින්නේ මෙම දුෂ්ඨ මිලිටරි ක්‍රියා කලාපය නිසා රට ආඥාදායකත්වයට යට වී ඇතැයි යන්න යි.

මෙම අභාග්‍යසම්පන්න සිදුවීම වූයේ පසුගිය සෙනසුරාදා දින ය. කෙසේ වෙතත් මියන්මාර හමුදාව කියා සිටින්නේ අවසන් මැතිවරණයේ දී සිදු වූ වංචා සහගත ක්‍රියාවලියට විරෝධය දැක්වීම පිණිස ජනතාව එක් වී, අණ දෙන නිලධාරී, මින් අවුන්ග් හේලින්ග් හට රටෙහි බලය පැවරූ බව යි. මේ වන විට සොල්දාදුවන් එහි අගනුවර වන “නයි පයි තව්” සහ ප්‍රධාන නගරය වන “යැන්ගොන්”හි වීදිවල රැඳී සිටිති.

මෙයට පෙර ද එනම්, 2011 වසර වන තෙක් බුරුමය ලෙස හැඳින්වෙන මියන්මාරය ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන ලදී. කෙසේ වෙතත් නුදුරු දිනෙක ම හමුදාවට එරෙහි ව ජනතාවගෙන් විරෝධතාවක් එල්ල වනු ඇති බව සිතිය හැකි ය. මන්දයත් කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ පවා මියන්මාර ජනතාවගෙන් 80%ක පමණ ප්‍රතිශතයක් සුකීගේ පක්ෂය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උනන්දු වී තිබූ බැවිනි.

අන් රටවලින් ලද ප්‍රතිචාර.

ඇමරිකා එක්සත් ජනපදය මෙම කුමන්ත්‍රණය හෙළා දැක ඇති අතර මෑත මැතිවරණවල ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමණයට බාධා කිරීමට දරන ඕනෑ ම උත්සාහයකට තමන් විරුද්ධ බව පවසා තිබේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, ඇන්ටනි බ්ලින්කන් විසින් සියලු රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එසේ ම ඔහු කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාමය සහ සංවර්ධනය සඳහා වූ ඇමරිකානු අභිලාසයන් තුළ බුරුමයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තම රට නැඟී සිටින බව යි. එහෙයින් මියන්මාර හමුදාව මෙම ක්‍රියා වහා ම නතර කොට, ජනතා ඡන්දයෙන් බලයට පත් වූ සුකී මහත්මිය හට සිය තනතුර නැවත ලබා දිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ අදහස යි. 

එක්සත් රාජධානියේ අගමැති, බොරිස් ජොන්සන් ද මෙම දරුණු කුමන්ත්‍රණය සහ අවුන් සාන් සූ කීගේ නීති විරෝධී සිරගත කිරීම හෙළා දුටුවේය.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය, මාරිස් පේන් පවා මියන්මාරයෙන් ඉල්ලා සිටියේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස යි. තව ද නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින සියලුම සිවිල් නායකයින් සහ අනෙකුත් අය වහාම නිදහස් කළ යුතු බව ද ඇය කියා සිටියා ය.

රටෙහි තත්වය කුමක්ද?

අද වන විට මියන්මාරයේ ප්‍රධාන නගරවල ජංගම අන්තර්ජාල දත්ත සම්බන්ධතා සහ සමහර දුරකථන සේවාවන් කඩාකප්පල් වී ඇති අතර, රාජ්‍ය විකාශක එම්.ආර්.ටී.වී. ආයතනය පවසන්නේ එය තාක්ෂණික ගැටලුවක් බව යි. නයි පයි ටව් නගරය සමඟ ඇති සන්නිවේදනය අඩු වී ඇති හෙයින් එහි තත්ත්වය තක්සේරු කිරීම ද දුෂ්කර වී තිබේ.

රටේ විශාලතම නගරය සහ අගනුවර වන යැන්ගොන්හි දුරකථන මාර්ග සහ අන්තර්ජාල සම්බන්ධතාව සීමිත බව පෙනේ. බොහෝ සැපයුම්කරුවන් ඔවුන්ගේ සේවාවන් කපා හැර තිබේ. බී.බී.සී. වැනි ජාත්‍යන්තර විකාශනයන් ද අවහිර කර ඇති අතර දේශීය නාලිකා ගුවන් ගත වී නොමැත.

ඉදිරි දිනවල දී රට තුළ මූල්‍යමය අර්බුදයක් ඇති වනු ඇති බවට අපේක්ෂා කර ඇති හෙයින් යන්ගොන්හි ජනතාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල පෙළ ගැසී සිටිනු දක්නට ලැබේ. එනමුත් මියන්මාර බැංකු සංගමය පවසා සිටින්නේ ඔවුන් විසින් සියලු මූල්‍ය සේවාවන් තාවකාලිකව නවතා දමා ඇති බව යි.

මැතිවරණයේ දී සිදු වූයේ කුමක්ද?

සූ කී මහත්මියගේ සිවිල් රජය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස බොහෝ දෙනා විසින් විස්තර කරනු ලැබූ තීරණාත්මක ඡන්දය පැවැත්වූයේ නොවැම්බර් මස 8 වන දින ය. එම මැතිවරණයෙන් එන්.එල්.ඩී. පක්ෂය ලබා ගත් ආසන ප්‍රමාණය 83% කි. එය 2011 වසර දක්වා පැවැති මිලිටරි පාලනය අවසන් වීමෙන් පසු පැවැත්වුණු දෙවන මැතිවරණය යි.

එහෙත් හමුදාව විසින් එම ප්‍රතිඵලය විවාදයට ලක් කර ඇති අතර, ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මෙම මැතිවරණ වංචාව සම්බන්ධයෙන් තමන් “පියවර ගන්නා” බවට හමුදාව විසින් මෑතක දී තර්ජනය කර තිබිණි. එහෙයින් නුදුරු දිනෙක දී ම හමුදා කුමන්ත්‍රණයක් සිදු වනු ඇති බවට භීතියක් පැතිර ගියේ ය. එනමුත් මැතිවරණ කොමිසම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

අවුන් සාන් සූ කී යනු කවුද?

අවුන් සාන් සූ කී යනු මියන්මාරයේ නිදහස් වීරයා වූ ජෙනරාල් අවුන් සාන්ගේ දියණිය යි. ඔහු 1948 දී මියන්මාරය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් නිදහස ලැබීමට මොහොතකට පෙර ඝාතණයට ලක් විය.

ඇය 1989 සිට 2010 දක්වා වසර 15කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ ගත කළාය. සූ කී මහත්මිය වරෙක මානව හිමිකම් සඳහා ආලෝකයක් ලෙස සලකනු ලැබිණි. 1991 වසරේ නිවාස අඩස්සියේ සිටිය දී ම ඇය වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද අතර ඇය බල රහිතයන්ගේ බලය පිළිබඳ විශිෂ්ට උදාහරණයකැයි සලකනු ලැබුවා ය.

වසර 25කට පසු 2015 නොවැම්බරයේ දී පැවැත්වුණු පළමු මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්.එල්.ඩී.) පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට සූ කී මහත්මිය සමත් වූවා ය.

මේ වන විට 75 හැවිරිදි වියේ පසුවන සූ කී ජනාධිපති බවට පත් වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් වළකා තිබේ. ඊට හේතුව වන්නේ ඇගේ දරුවන් විදේශීය ජාතිකයින් වීම ය.

මෑත වසරවල දී, ඇගේ නායකත්වය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් වී ඇත්තේ එරට වෙසෙන මුස්ලිම් රෝහින්ග්‍යා සුළුතරය නොසලකා හැරීම හේතුවෙනි. 2017 වසරේ දී රාඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට එල්ල වූ මාරාන්තික ප්‍රහාර නිසාවෙන් ඇති වූ හමුදා මර්දනය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියෝ අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. ඒ හරහා සිදු වූ ස්ත්‍රී දූෂණය, මිනීමැරීම සහ ජන සංහාරය නැවැත්වීම සඳහා සූ කී විසින් කිසිවක් නොකළ බවට ජාත්‍යන්තරය චෝදනා කළේ ය. එනමුත් ඇයගේ සමීපතමයන් විසින් විස්තර කරන පරිදි සූ කී මහත්මිය රෝහින්ග්‍යා වැසියන් කෙරෙහි එතරම් අනුකම්පාවක් නොදක්වන බෞද්ධ බහුතරය අතර ජනප්‍රිය වී ඇත.

ස්වභාවයෙන් ම මුරණ්ඩු චරිතයක් ලෙස ප්‍රසිද්ධ ව සිටින අවුන් සාන් සුකී මහත්මිය හා එම පක්ෂයේ හිසට තුවක්කුවක් තබා සහයෝගයෙන් කටයුතු කිරීමට අපහසු ය. ඇගේ සගයා වන ජනාධිපති වින් මයින්ට් යනු හදිසි නීතියක් පැනවීමට ව්‍යවස්ථාව යටතේ බලය පවරන ලද එකම පුද්ගලයා වේ. එහෙත් මේ වන විට ඔහු ද ඇය සමඟ රඳවාගෙන ඇත. එහෙයින් මේ මොහොතේ හමුදාවේ ක්‍රියාකලාපය නොසැලකිලිමත් එකක් ලෙස පෙනෙන අතර එමඟින් මියන්මාරය අනතුරුදායක මාවතකට යොමු කරනු ඇති බව විචාරකයින්ගේ අදහස යි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.