Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අයවැය මගින් ජනතවට ලබාදුන් මේ වන විටත් ක්‍රියාත්මක සහන ගැන දැනගන්න

රාජ්‍ය හා පෞද්ගලික අංශ​යේ සේවයන්ට 6.25% පොලියට සහ දේපොළ මත නිවාස ණය වෙනුවෙන් 7% පොලියට සහන ණය ලබාදීම ඇතුළු අයවැය යෝජනා රැසක් මේ වන විටත් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන නිවාස මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100කට උපරිමයකට යටත්ව ණය ලබාදෙනු ඇති.ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් 6.25% සහන පොලියට මෙම නිවාස ණය නිකුත් කිරීමට නියමිතයි.

එසේම මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව දේපළ උකසට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවෙන් 7% සහන පොලියක් අයකිරීමේ වැඩසටහනද මේ වන විටත් ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය සදහන් කරන්නේ.

සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය බලය නිපදවීම, ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන යටතේ රජයේ සේවකයන්ට 4%ක පොලියකට සූර්ය පැනල ලබාගැනීමේ ණය මුදලක් නිකුත් කිරීමටද ආරම්භ කෙරෙනවා. රුපියල් හත් ලක්ෂ පනස්දහසකට උපරිමයකට යටත් මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලසීමාව වසර 10ක්.

එසේම කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රජයේ සේවකයකු මරණයට පත්වුවහොත් අග්‍රහාර රක්ෂණ පහසුකම යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ලබාදීම සහ කොරෝනා නිසා රෝහල්ගත වන රාජ්‍ය සේවකයන්ට දින 10ක කාලයක් වෙනුවෙන් දිනකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීම ද සිදුවනවා.

‘තුරුණු දිරිය’ වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකයින්ට 4%ක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක් දක්වා කඩිනම් ණය නිකුත් කිරීමද ආරම්භ කර තිබෙනවා.

එසේම ‘කිරිශක්ති’ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව කිරි ගවයන් මිලදී ගැනීම සහ අභිජනනය ඇතුළු ආශ්‍රිත කටයුතු වෙනුවෙන් ණය නිකුත් කිරීම ද සිදුකෙරෙනවා.