Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෞදි ආර්ථික සහ සැලසුම් ඇමති ජනපති හමුවෙයි

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡා පැවති ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන් ඇඟලුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා එහිදී සඳහන් කර තිබේ.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපීය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

About The Author