සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවන ලෙසත්, මෙරටට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව ගැන වගබලා ගත යුතු බවත් මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත උපදෙස් ලබාදී ඇත.
ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති රැස්වීමකදීය. ඉදිරියේදී ඇරඹෙන සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලූ ඇමැතිවරයා පොලිසිය කරන කටයුතුවල පහසුව සඳහා හඳුනාගත් ස්ථාන 26ක කන්ටේනර්වලින් නිම කළ කාර්යාල පහසුකම් සකසා ගන්නා ලෙසද උපදෙස් තිබේ.
එමෙන්ම වැල්ලේ ධාවනය කළ හැකි බීච් රෝවර් රථ වැඩි කළ යුතු බව පැවසූ ඇමැතිවරයා රටේ ප්‍රතිරූපය නැංවීම හා ආරක්ෂා කර ගැනීමේ විශාල කාර්යයක් සංචාරක පොලිස් කොට්ඨාසයට ඇති බවද පැවසීය.
වර්තමාන සමාජයට නොගැළපෙන නීති පද්ධතියක් ඇති නිසා අපරාධකරුවන් නීතියේ හිඩැස්වලින් රිංගා නැවත සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බවද හෙතෙම කීවේය.
එම නිසා විදේශ රටවල් මෙන් එම අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණ විධික්රම භාවිතය පිළිබඳ සොයා බලන ලෙසද ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නවීන තාක්ෂණය උපරිම ලෙස භාවිත කිරීම මගින් අපරාධ මැඬලීම කඩිනමින් සිදුකළ හැකි බවත් ඒ සඳහා නවීන උපකරණ මෙන්ම අන්තර්ජාලය භාවිත කළ හැකි බවත් ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
© චාමර පල්ලේගෙදර – අරුණ
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්