Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිංහ නාද නරි කෙඳිරිලි බවට හැරෙයි : චීනුන්ගේ අසුචි මිශ්‍ර පොහොර තොගයට මුදල් ගෙවීමට යයි

තවත් ඇණවුමක් භාර දීමට යන බවත් කියයි

දූෂිත බවට අනාවරණය වූ චීන කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් මතුව ඇති ආරවුලෙන් ‘ගොඩින් විසඳා ගැනීමට’ රජය තීරණය කර ඇති බව ‘Sunday times’ පුවත්පත වාර්තා කරනවා.

චීන සමාගමට අය විය යුතු මුදලින් සියයට 75ක මුදලක් ගෙවා ආරවුල විසඳීමට රජය සූදානම් වෙමින් සිටින බවත් මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් බවත් පුවත්පත වාර්තා කරනවා.

කෙසේ නමුත් විශේෂිතම කරුණ වන්නේ එම සමාගමෙන්ම නැවතත් පොහොර තොග මිලදී ගැනීමට ද රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබීමයි.

“මෙම ප්‍රශ්නය පදනම් කරගෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට අපට හැකියාවක් නෑ,” යැයි මහින්දානන්ද අමාත්‍යවරයා පවසා ඇති බවයි වාර්තාවන්නේ.

දැනට පවතින ගැටළුකාරී තත්වය වන්නේ මෙරට තුළ සිදුකළ සාම්පල පරීක්ෂාවෙන් අදාළ පොහොර තොගයේ අසුචි සහ අහිතකර ජීවින් අඩංගු බව තහවුරු වී තිබීමයි.

ණයවර ලිපිය විවෘත කළ බැවින් අදාළ පොහොර තොගය භාර ගත යුතු බව චීනය පවසනවා.

අදාල පොහොර තොගය නැවත රැගෙන ගොස් නිසි ලෙස පරීක්ෂා කර නව පොහොර තොගයක් එවීමට සමාගම එකඟ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා.

සාකච්ඡා සාර්ථක නම්, ඊළඟ නැව්ගත කිරීමේ ගාස්තුවලින් සියයට 50 ක් බෙදා ගැනීමට ලංකා රජය සූදානම් බව ද ඔහු දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මාසයකට වැඩි කාලයක් පැවති ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බව ද ඔහු පැවසු බව අදාළ පුවත්පත් වාර්තාවෙහි සඳහන්.

පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 446ක මිලකට මිලදී ගැනීම සඳහා ඇණවුම කර ඇති බවත්, මේ වනවිට එම මිල ඇමෙරිකානු ඩොලර් 900කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එම නිසා ගිවිසුම අවලංගු කිරීම අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පවසා තිබෙනවා.

මෙම තත්ත්වය සමග ඉදිරිපත් කර ගැනීම සඳහා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ පොහොර තොග පරීක්ෂා කිරීමටද ප්‍රථමව හදිසියේ ණයවර ලිපි විවෘත කළ පුද්ගලයා සොයාගත යුතුව ඇති බවයි.

එමෙන්ම මෙරට සුප්‍රසිද්ධ පරිසර විෂය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අදාල අසූචි මිශ්‍ර බව තහවුරුවී ඇත පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා රජයට පැහැදිලි අයිතියක් ඇති බවයි.

ඉන් නොනැවතී අදාල සමාගමට එරෙහිව වන්දි මුදල් අයකර ගැනීම සඳහා වන නඩුවක් ගොනු කිරීමේ හැකියාව ද පැහැදිලිවම ශ්‍රී ලංකා රජයට ඇති බව ඔහු පෙන්වා දෙනවා.

නමුත් වාර්තා වන ආකාරයට විවිධ හිතවත්කම් සහ දුෂිත ගණුදෙනු වලින් මෙම ගනුදෙනුව සමන්විත වන්නේ නම් නීතිමය තත්වයන් නිසි අයුරින් ක්‍රියාවට නැංවීමට මෙරට බලධාරීන්ට නොහැකිවනු ඇති.

About The Author