අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් ඉකුත් පෙබරවාරි 12 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි ආණ්ඩුවට සම්බන්ධ භික්ෂු කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා,
ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් අදාළ භික්ෂුන් වහන්සේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ද ඉල්ලා ඇති බව සඳහන්.
ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.
බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බවට අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය වැරදි බව සඳහන් කරන උන්වහන්සේ , නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බව ද සදහන් කර තිබෙනවා.
ඉන් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව ඇතැයිද පෙන්වා දෙන උන්වහන්සේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳ පනවන ලද නීති බව සිහිපත් කර සිටිනවා.
බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද බරපතළ ප්‍රකාශයක් ලෙසයි උන්වහන්සේ අර්ථකථනය කර ඇත්තේ.
එසේ හෙයින් අධිකරණ අමාත්‍යවරයා 2021 පෙබරවාරි මස 12 වැනි දින පාර්ලිමේන්තුවේ සිදු කර තිබෙන එම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට