Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විජේදාසගේ බෝම්බය නිශ්ක්‍රීය කිරීමට ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන විශේෂ මෙහෙයුමක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ සිදු කළ ප්‍රකාශයන් හේතුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විශේෂ මාධ්‍ය ක්‍රියාන්විතයක් දියත් කිරීමට උපදෙස් ලබා ලබා දී ඇති බව වාර්තා වනවා.

රජයේ මාධ්‍ය ආයතන සහ රජයට හිතවත් මාධ්‍ය යොදා ගනිමින් මෙම මාධ්‍ය ක්‍රියාන්විතය මේ වන විටත් ආරම්භ කර අවසන්.

මේ සඳහා මූලික උපදෙස් ලබා දී තිබෙන්නේ පුද්ගලික නාලිකාවක ප්‍රධාන තනතුරක් හොබවන පුද්ගලයෙක්.

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය දා (15) නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති  මාධ්‍ය හමුවේ දී  විජේදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට පසුදින දුරකථන ඇමතුමක් ලබාදී පහත්, නින්දිත සහ අශෝභන අයුරින් වෙව්ලමින් බැන වැදුණු බව පවසමින් විජේදාස රාජපක්ෂ මහතා එදින ම සිය නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මෙම සිද්ධිය සමග දේශපාලන කරළියේ බරපතළ ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වූ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම ආගමික සංස්ථාව නියෝජනය කරන ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් ද මේ සම්බන්ධ අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ ඇතිවූයේ ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයක්.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගේ කීර්ති නාමයට ඉන් බරපතල අභියෝගයක් එල්ල වූ අතර තම පක්ෂයේම මන්ත්‍රීවරයෙකුට දුරකථනයෙන් අමතා තර්ජනය කිරීම සහ බැනවැදීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බවට එල්ල වූ චෝදනා හේතුවෙන් මෙහි බරපතලකම තවත් උත්සන්න වුණා.

මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත්, ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ කීර්ති නාමය නැවත වර්ධනය කිරීම සඳහාත් විශේෂ මෙහෙයුමක් දියත් කිරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබෙන්නේ මේ අතරතුරයි.

එහිදී පුද්ගලික නාලිකාවකට සම්බන්ධ ආයතන ප්‍රධානියකු සහ ජනාධිපති මාධ්‍ය  අංශයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර රජයේ මාධ්‍ය ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අමතා මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු මාධ්‍ය මෙහෙයුම පිළිබඳව උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී ඔවුන් තීරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ මහතා අමතමින් ඊට පෙර දින අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු පිළිබඳ විමසා සිටීමට ප්‍රධාන හේතුව එතුමාගේ දරුවන් විවේචනය කරමින් සහ සම්බන්ධ කරගනිමින් විජේදාස රාජපක්ෂ මහතා අවස්ථාවාදී දේශපාලනයක නිරත වූ බව සහ පියෙකු ලෙස තම දරුවන්ට බැණ වැදීම හෝ අපහාස කිරීම හමු⁣වේ කලබල වීම සහ එලෙස සිදු කළ පාර්ශවයෙන් ඒ බව විමසීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය බවත් මතුකරමින් විශේෂ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමටයි.

පියෙකු ලෙස තම දරුවන් පිළිබඳ වෙනත් පාර්ශවයන් විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සංවේදී වීමේ ජනාධිපතිවරයාගේ මානුෂිය ගුණයත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවන් විවේචනය කරමින් දේශපාලනය කිරීම විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදුකළ අශෝභන දේශපාලන භාවිතාවක් ලෙසත් සඳහන් කරමින් ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. 

ඒ සඳහා ආණ්ඩුවට හිතෛෂී භික්ෂූන් කිහිප නමක සම්බන්ධ කරගැනීමට තීරණය වී ඇති අතර එහි නාම ලේඛනයක්ද සකස් කර මාධ්‍ය ආයතන වෙත යොමුකර තිබෙනවා.

අනතුරුව එම ප්‍රවෘත්තිය සඳහාම ප්‍රමුඛත්වය ලබා දෙමින් අවශ්‍ය හඬ පට එම භික්ෂූන් වහන්සේගෙන් ලබා ගැනීමට කණ්ඩායම් යොදවා  ඇති අතර ඇතැම් භික්ෂූන් වහන්සේ කිසිත් ⁣නොදැන කඩදාසියක ලියා ගත් කරුණු කැමරාව ඉදිරියේ සිට කියවු අයුරුද දක්නට ලැබුණා.

තමන්ට හිතවත් භික්ෂූන් ලවා එලෙසින් හඬ පට එක් රැස් කරගන්නා අතර වාරයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් ලවා එක දිගට මෙම කරුණ පිළිබඳවම සාධාරණීකරණය කරමින් කතා කිරීමට උපදෙස් ලැබී ඇති අතර වරාය ව්‍යාපෘතියේ බලපෑමට වඩා දරුවන්ට පරිභව කිරීම හේතුවෙන් පියෙකුට ඇති වන වේදනාව සහ තරහව ජනාධිපතිවරයෙකු වුවද ආදරණීය පියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇති වන බව පෙන්වා දෙමින් තර්ක ගොඩනංවන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.

මීට අමතරව විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව සහ ඔහුගේ දේශපාලන භාවිතයට එරෙහිව විශේෂ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාන්විතයක්ද ආරම්භ කර තිබෙන අතර විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය යහපාලන සමයේ සිදු කළ විවේචන හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගය පක්ෂයේ පාක්ෂිකයන් තුළ ඇති විරෝධතාවයද උපකාරී කරගනිමින් විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයේ වලංගු භාවය අභියෝගයට ලක් කිරීමට පහසු වනු ඇති බවද ඔවුන්ගේ විශ්වාසය වී තිබෙනවා.

සැබවින්ම විජේදාස රාජපක්ෂ ජනාධිපතිගේ දරුවන්ට අපහාස කළාද?

අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ වරාය නගර ව්‍යාපෘතිය මගින් එහි භුමියේ පාලනය සහ බලතල චීනයට ලබාදීම හරහා රටේ ස්වෛරීභාවය අහිමිව යන බවයි.එමෙන්ම එය වෙනම රටක් ලෙස නිර්මාණය වනු ඇති බවද ඔහු එහිදී පවසනවා. රට කන ඇමරිකන් පුරවැසියන් දෙදෙනකු විසින් වරින් වර ශ්‍රී ලංකාවේ පාලනය දරමින් කටයුතු කරන බවත්, ඔවුන් සිය දරුවන්ට වෙනත් රටවල සුරක්ෂිත ව ජීවත් වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී සහ එම රටවල පුරවැසිභාවය ද ලබාදී ඇති බවද පවසන විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ  එහි අවසාන ප්‍රතිඵලය වන්නේ එවැනි හැකියාවක් නැති මෙරට ජනතාවගේ දරුවන්ට ජීවත්වීමට පවා රටක් අහිමි වන බවයි.

ජනාධිපතිවරයා පඹයකු බවත් රට කාලය කරන්නේ මිස්ට(ර්) 20% හෙවත් බැසිල් රාජපක්ෂ මහතා බවත් ඔහු එහිදී පවසනවා.

කෙසේ නමුත් විජේදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය  ජනාධිපතිවරයා විසින් ඔහුගේ දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකල ප්‍රකාශයක් ලෙස තේරුම් ගෙන ඇති බවයි විජේදාස රාජපක්ෂ මහතාම සඳහන් කරන්නේ.

About The Author