ගෝණුසු ප්‍රතිකාරය.
චීනයේ ජිනාන් නගරයේ පිහිටා ඇති රෝහලක් තුළ අපූරු ප්‍රතිකාරයක් සිදු වේ. එහි දී එම වෛද්‍යවරුන් භාවිතයට ගන්නේ මිය ගිය ගෝණුස්සන් ය. ගෝණුස්සන් ගැන කතා කරන විටත් අප බියෙන් ත්‍රස්ත වනුයේ උන්ගේ දළෙහි රැඳී තිබෙන අධික විෂ හේතුවෙනි. නියම ලෙස දෂ්ට කෙරුණේ නම් ගෝණුසු විෂ හේතුවෙන් කෙනෙකු මිය යාමට වුව ද හැකි ය. එලෙස මිය ගිය කුඩා දරුවෝ බොහෝ වෙති. මිය නොගියත් අදාළ ප්‍රදේශය අකර්මණ්‍ය කිරීමට එම විෂට හැකියාව තිබේ. එහෙයින් මළකුණක් වුවත් ගෝණුස්සෙකු ශරීරය මත තබා ගැනීම යනු දෙවරක් සිතා බැලීමට සිදු වන යෝජනාවකි.
එපමණක් නොව මෙම වෛද්‍යවරු අමු ඉඟුරු කැබලි ගෙන, පෙති කපා, ඒවා ද ගෝණුසු මළකඳ සමඟ එකට තබති. එලෙස ප්‍රතිකාර කෙරනුයේ මුහුණේ හෝ බෙල්ලෙන් ඉහළ පිහිටි ප්‍රදේශයේ හට ගන්නා රෝග සඳහා ය. විශේෂයෙන් ම මුහුණ ආශ්‍රිත ව හට ගන්නා පක්ෂගාත රෝගය සුව කිරීමට මේවා භාවිතයට ගන්නා බව පෙනේ.
විෂ සහ ශාක ප්‍රයෝජනයට ගත් පළියට මොවුන් හොර වෙදුන් ලෙස වරදවා සිතිය යුතු නැත. සියලු දෙනා සුදුසුකම් ලත් වෛද්‍යවරු වෙති. එක ම වෙනස වන්නේ ඔවුන් බටහිර වෛද්‍ය ක්‍රමය වෙනුවට සාම්ප්‍රදායික ක්‍රම යොදා ගැනීම ය. හැරත් මිය ගිය ගෝණුස්සෙකුගෙන් කවර අනතුරක් ද? ඉඟුරු පියලි කෑමට ගත හැකි නම් ඒවා මුහුණේ තැබුවා කියා සිදුවන විපතක් නැත.
කාම්බෝජයේ මුත්‍රා ප්‍රතිකාරය.
අප මින් පෙර ලිපියක දී පැහැදිලි කළ පරිදි ගව මුත්‍රා යනු ඉන්දියානුවන් විසින් භාවිතයට ගන්නා දෙයකි. එරට පමණක් නොව කාම්බෝජයේ ජනතාව ද මෙය ප්‍රතිකර්ම ක්‍රමයක් ලෙස අතිවිශාල ලෙස භාවිත කරනු දක්නට ලැබේ. එහෙත් ඊට හේතු වෙනස් ය.
ඉන්දියානුවන්ට නම් ගවයා යනු පූජනීය සත්ත්වයෙකි. ඔවුන්ගේ හින්දු සංස්කෘතිය හා සම්බන්ධ කොට ගත් විට ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනය යි. එම සත්ත්වයාගේ මුත්‍රා ද ඔවුන්ට වැදගත් වන අතර එහි ඖෂධීය ගුණයක් ඇති බව ද ඉන්දියානුවෝ පිළිගනිති. කාම්බෝජය පිළිබඳ සැලකූ විට එහි බහුතරයක් ජනතාව අතිශයින් දිළිඳු ය. ඔවුන්ට ජීවත් වීමට සිදු ව ඇත්තේ දිනකට ඩොලර් එකකටත් වඩා අඩු වියදමක් දරමිනි. එහෙයින් අසනීපයකට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යනු ඔවුන්ට අනුව මහත් පරිශ්‍රමයක් දරා කළ යුතු වියදමකි.
එහෙත් නිවසේ ජීවත් වන ගවයාගේ මුත්‍රා ජනතාවට ලැබෙන්නේ නොමිළයේ ය. එලෙස බලන විට කාම්බෝජයේ සාමාන්‍ය ජනතාව ගවයින්ගේ පමණක් නොව නාගයින්ගේ සහ කැස්බෑවන්ගේ මුත්‍රා ද ඖෂධ ලෙස බීමට ගන්නා බව පෙනේ. එමඟින් රෝග සුව වන බවට තහවුරු වී නැතත්, අඩු ආදායම්ලාභීන් වන කාම්බෝජයේ වැසියන් හට වෙනත් විකල්පයක් නොමැත.
මඩ සත්කාරය.
කුඩා අවධියෙහි මඩෙහි දැඟලීමට ආශාවෙන් සිටිය ද වැඩිවිය පත් වූ පසු මඩ පමණක් නොව පස් හා වැසි ජලය ද අපට අපිරිසිඳු දේ බවට පත් වෙයි. අප නිවසින් පිටතට යන විට පාවහන් පලඳින්නේත් වැසි වසිනා විට කුඩය ඉස ලා ගන්නේත් එබැවිනි. එහෙත් අතරින් පතර වැස්සෙහි නැටීමට ආශා වැඩිහිටියන් ද නැතුවා නොවේ.
ඉන්දියානුවන් මෙන් ම චීන වැසියෝ ද කලක පටන් මෙම පස් හා ජලය එක් කොට ගත් මඩෙහි වටිනාකම පිළිබඳ දැන සිටියහ. අප දැන් සිමෙන්තියෙන් නිවෙස සැදුව ද, පෙර කාලයේ මැටි ආශ්‍රයෙන් නිවසේ බිත්ති ගොඩ නැඟුවේ මෙම වටිනාකම ශ්‍රී ලාංකිකයන්ට ද අවබෝධ වූ නිසාවෙන් බව නිගමනය කළ හැකි ය. මඩෙහි ඇත්තේ සිසිලන ගුණය යි. අලි ඇතුන්, ඌරන්, මී හරකුන් වැනි අධික දේහ උෂ්ණත්වයක් සහිත සතුන් මඩෙහි ලැග සිටීමට එය ද හේතුවකි.
මෙම සිසිලන ගුණය මිනිස් සිරුර වෙනුවෙන් යොදා ගත් පසු අභ්‍යන්තර රෝග, තැලීම්, පිළිස්සීම්, තුවාල, සැරව බිබිලි ආදී රෝගාබාධ හේතුවෙන් හට ගන්නා නිධන්ගත දැවිල්ල සුව කළ හැකි ය. වරක් මඩ ප්‍රතිකාරය ලැබූවන් රෝගය සුව වූ පසුවත් දිගින් දිගට ම එම ප්‍රතිකර්මය නැවත ලබා ගැනීමට උත්සාහ කරන්නේ එයින් ශරීරයට දැනෙන්නා වූ සනීපය නිසා ම ය. උණුසුම් දිනයක දියෙහි බැස සිටින්නට අප කෙතරම් කැමැති ද? මඩෙහි බැස සිටීම එයට ද වඩා සිසිල ගෙන දෙයි. චීනයේත් ඉන්දියාවේත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල දී පමණක් නොව, ඇතැම් සංචාරක හෝටල්වල දී ද මෙම මහඟු අවස්ථාව ලබා ගැනීමට පහසුකම් සලසා ඇත්තේ එහෙයිනි.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !