Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැටුප් ප්‍රමාද විනැයි ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් සභාපති ප්‍රාණ ඇපයට ගනී

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ අප්‍රේල් මාස වැටුප ගෙවීම නියමිත දිනට වඩා දින කිහිපයක් ප්‍රමාද වීම හේතුවෙන් බව පවසමින් සේවක පිරිසක් විසින් එහි සභාපතිවරයා නිවාස අඩස්සියට ගැනීමේ සිදුවීමක් හේතුවෙන් අද උණුසුම් තත්වයක් නිර්මාණය වුණා.

ඔවුන් පැවසුවේ තම අප්‍රේල් වැටුප මේ මස 23 වනදා ගෙවීමට පාලනාධිකාරිය කටයුතු කළයුතු බවයි.

එමෙන්ම යම් ප්‍රමාදයක් ඇත්නම් ඒ බව වහා සේවකයන්ට හෙළිකළ යුතු බවයි ඔවුන්ගේ අදහස වුණේ.

මෙහිදී සේවකයින් විසින් සභාපතිවරයා ඔහුගේ කාමරයේ සිර කිරීමත් සමග තත්වය වඩා උණුසුම් මුහුණුවරක් ගත් අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසියද එම ස්ථානයට පැමිණියා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පිරිසක් රැස්ව සිටින බවට ලද තොරතුරකට අනුව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිරිසක්ද එම ස්ථානයට පැමිණීමත් සමග තත්වය වඩා සංකීර්ණ වුණා.

කෙසේ වෙතත් සියලු පාර්ශව මැදිහත් වීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස විසිර ගියා.

ඒ අද දිනය තුළ වැටුප් ලබා දෙන බවට සභාපතිවරයාගෙන් ලද පොරොන්දුවක් මතයි.

කෙසේ වෙතත් මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා සඳහන් කළේ මේ වන විටත් වැඩබිම්වල සේවකයින්ගේ වැටුප් ගෙවා අවසන් බවයි.

ඇතැම් රාජ්‍ය ආයතන විසින් නියමිත මුදල් ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාදයක් ඇති වුවද අද දිනයේම එම වැටුප් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවද ඔහු සඳහන් කළා.

මෙම විරෝධය ආණ්ඩු විරෝධී මතවාද පෝෂණය කිරීම වෙනුවෙන් යම් පිරිසක් සිදුකල කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා.

About The Author