උතුරින් හා බටහිරින් මියන්මාරයටත් නැගෙනහිරින් ලාඕසයට හා දකුණින් පැසිෆික් සාගරයට මායිම් වී ඇති තායිලන්තය වර්ග කිලෝමීටර 513,120ක විශාලත්වයකින් යුතු ය. මෙයට සියවස් කිහිපයකට පෙර ඔවුන් වටා සිටි සියලු රාජ්‍යයන් ප්‍රංශ, බ්‍රිතාන්‍ය, පෘතුගාල ඕලන්ද ආදී සුපිරි ජාතීන්ට යටත් වී තිබුණ ද, කිසිදු දිනෙක විදේශ ජාතියකට යටත් නොවෙමින් සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගත් එක ම රාජ්‍යය තායිලන්තය විය. එරට ජනගහණයෙන් 95%ක් ම බෞද්ධයින් වන අතර අඩියෙන් අඩියට පන්සල් දක්නට ලැබේ. ඔවුන්ගේ ආණ්ඩුක්රමය ද යම්තාක් දුරකට බෞද්ධ ධර්මය මත පදනම් වන බව පෙනේ.
1932 වන තුරු තායිලන්තය තුළ පැවතුණේ සංකේතාත්මක ව්‍යවස්ථාවක් පමණි. ආදි රජවරුන්ගේ නීති සකස් කෙරුණේ බෞද්ධ උපදෙස්වලට අනුව ය. බෞද්ධ රාජ්‍යයන් තුළ ප්‍රකට ව තිබෙන චක්කවර්තී සීහනද සූත්‍රය තායිලන්ත රාජ්‍යයට ද මඟ පෙන් වූ බව පෙනේ. එවකට ඉන්දියාව මෙන් ම අසල්වැසි රටවල් තුළ ද පැවතුණේ එක ම නෛතික ක්රමයකි.
තායිලන්තය නිරපේක්ෂ රාජාණ්ඩුවේ සිට ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදයට මාරුවීම ඇරඹුනේ 1932 දී ය. ඒ, කුමන්ත්‍රණයක් මැඬපැවැත්වීම සඳහා එවකට රජ වූ ප්රජාදිපොක් රජු (VII වන රාම) විසින් කේතගත කරන ලද තාවකාලික ව්‍යවස්ථාවකට අත්සන් කිරීමත් සමඟ ය. ඒ අනුව දේශයේ ඉහළ ම බලය ජනසතු කෙරිණි. එනමුත් පසුකාලීන ව තායි ඉතිහාසය තුළ සම්පාදනය කෙරුණු ව්‍යවස්ථාවන් රජය පාලනය කිරීම සඳහා ජනතාවගේ උපකරණ ලෙසින් නොව, ජනතාව පාලනය කිරීම සඳහා රජයේ උපකරණ වශයෙන් සකස් කෙරිණි.
අද දක්වා තායිලන්තය තුළ ව්‍යවස්ථා 21ක් සම්පාදනය වී තිබේ. දළ වශයෙන් සෑම වසර හතරකට වරක් මතු වූ මිලිටරි කුමන්ත්‍රණ හේතුවෙන් එම රාජ්‍යයේ පවතින දේශපාලන අස්ථාවරත්වය පෙන්නුම් කෙරෙයි. කෙසේ වෙතත් අදාළ හමුදා රජය රාජාණ්ඩුව වෙත බලපෑමක් ඇති කරන බවක් පෙනෙන්නට නැත. සෑම සාර්ථක කුමන්ත්රණයකින් ම පසු බලයට පත් වන මිලිටරි පාලන තන්ත්රය, පවත්නා ව්‍යවස්ථා අවලංගු කර නව ඒවා ප්‍රකාශයට පත් කළේ ය.
තායිලන්ත නීතිය ව්‍යවස්ථාමය රාජාණ්ඩුවකට ඉඩ දී තිබේ. කෙසේ වෙතත්, අද වන තුරු ද වෙනස් වී තිබෙන්නේ ව්‍යවස්ථාදායකයේ ශක්තිය, තේරී පත් වූවන්ට එරෙහිව පත් කරන ලද ව්‍යවස්ථාදායකයන්ගේ ප්‍රතිශතය, රජතුමාගේ බලය සහ විධායකයේ ශක්තිය පමණි. මෙම පරාමිතීන් හරහා පාලන තන්ත්රයේ දේශපාලන මෙන් ම මිලිටරි ශක්තියත් රජුගේ සහ මාළිගාවේ සහයෝගයත් කොතරම් ද? යන්න පෙනී යයි. නිදසුනක් වශයෙන්, 1959 ප්රඥප්තිය මඟින් රජු හට විධායකය සහ ව්‍යවස්ථාදායකය කෙරෙහි නිරපේක්ෂ බලය ලබා දුන් අතර, ඒ හරහා ඔහුට ව්‍යවස්ථාදායකයට එරෙහි ව කුමන්ත්‍රණයක් සිදු කිරීමට හැකි විය.
රාජාණ්ඩුව.
වජිරලොන්කෝන් ( X වන රාම) රජු 2016 ඔක්තෝබර් 13 වන දින ඔහුගේ පියා වූ භූමිබෝල් අදුල්යාදෙජ් ( IX වන රාම) රජු අභාවප්‍රාප්ත වීමෙන් පසු රජකම භාර ගත්තේ ය. 2016 දෙසැම්බර් 1 සිට සීමිත රීතියකට අනුව ඔහු තායිලන්ත රාජ්‍යයේ නායකයා වන අතර රටේ “ප්‍රිවි කවුන්සිලයේ” රාජකාරි සඳහා සහය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ රාජ්‍යයේ ස්වෛරීභාවය ජනතාව වෙත පැවතිය ද, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය හරහා රජු එවැනි බලතල ක්‍රියාත්මක කරනු ඇති බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජුට ඇත්තේ ඉතා අල්ප බලයකි. නමුත් ඔහු තායි ජාතියේ ප්‍රධාන චරිතයක් සහ සංකේතයක් ලෙස පවතී. කෙසේ වෙතත්, රාජ්‍ය නායකයා වශයෙන් ඔහුට යම් යම් බලතල ලබා දී ඇති අතර රජයේ කටයුතුවල දී ඔහුට සැලකිය යුතු භූමිකාවක් හිමි වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජතුමා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ය. ඔහු බෞද්ධ විය යුතු අතර රටේ සියලු ආගම්වල ආරක්ෂකයා විය යුතුය. රජතුමා තම උරුමක්කාරයන් පත්කිරීමේ බලය, සමාව දීමට බලය සහ රාජකීය අවසරය වැනි සාම්ප්‍රදායික බලතල කිහිපයක් ද රඳවාගෙන සිටියි.
රාජ්‍ය උරුමය ලබා දෙන්නේ පියාගෙන් පුතාට පමණක් වන අතර එය පිරිමි පුද්ගලයින් මත පමණක් රැඳේ. සිංහාසනය සහ මෙම විශේෂිත විධිවිධාන 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන වගන්තිය යටතේ සඳහන් වේ.
සිංහාසනය පුරප්පාඩු වී රජතුමා උරුමක්කාරයෙකු පත් කර නොමැති අවස්ථාවක, ප්‍රිවි කවුන්සිලය මැදිහත් වනු ඇත. ඔවුන් 20 වන වගන්තිය යටතේ සිංහාසනයට අනුප්‍රාප්තිකයෙකු නම් කොට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය. මෙවැනි විටෙක දී පමණක් කුමරියකගේ නම ද ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ. අදාළ පුද්ගලයාට ජාතික සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු, එහි සභාපති විසින් අදාළ අනුප්‍රාප්තිකයා හට සිංහාසනයට නැඟීමට ආරාධනා කළ යුතු අතර එම අනුප්‍රාප්තිකයා රජු ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ය.
අගමැති.
1932 සිට තායිලන්ත රජයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා වන අතර සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ විශාලතම පක්ෂයේ හෝ විශාලතම සන්ධාන පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් වේ. අග්‍රාමාත්‍යවරයා එක්කෝ හමුදා නායකයෙකි. නැතහොත් හමුදාවේ හෝ මාළිගාවේ ප්‍රධානියෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එවැන්නෙකු තෝරාගනු ලබන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයකිනි.
විධායක ශාඛාවේ ප්‍රධානියා වන අගමැතිවරයා තායිලන්ත කැබිනට් මණ්ඩලයේ නායකයා ද වේ. එබැවින් ඕනෑ ම ඇමතිවරයෙකු පත් කිරීම හෝ ඉවත් කිරීම සඳහා ඔහුට අයිතියක් ඇත. රජයේ වඩාත් දෘශ්‍යමාන සාමාජිකයා ලෙස අගමැතිවරයා විසින් විදේශ රටවල් නියෝජනය කෙරෙන අතර ඔහු ස්වදේශික රජයේ ප්‍රධාන ප්‍රකාශකයා ද වේ.
කැබිනට් මණ්ඩලය
තායිලන්ත කැබිනට් මණ්ඩලය හෝ තායිලන්ත අමාත්‍ය මණ්ඩලය යනු රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකුගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කවුන්සිලයකි. කැබිනට් අමාත්‍යාංශ 20ක් ඇත. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වගකිව යුතුය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ට වෙනත් රටවල මෙන් පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වීමට අවශ්‍ය නැත.
තායිලන්තයේ ජාතික සභාව
තායි රජයේ ව්‍යවස්ථාදායක ශාඛාව (තායිලන්ත පාර්ලිමේන්තුව) ප්‍රථමයෙන් පිහිටුවන ලද්දේ 1932 “තාවකාලික” ව්‍යවස්ථාවෙනි. තායිලන්තයේ ජාතික සභාව ද්වි පාර්ශ්වික ව්‍යවස්ථාදායකයක් වන අතර එය නිවාස දෙකකින් සමන්විත වේ. එනම්, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යි. ජාතික සභාවේ සාමාජිකයෝ 750ක් සිටිති.
සෙනෙට් සභාව
ව්‍යවස්ථාදායක ශාඛාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය ප්‍රථම වරට පිහිටුවන ලද්දේ 1946 දී ය. කෙසේ වෙතත්, එහි ඉතිහාසයේ වැඩි කාලයක් සෙනෙට් සභාව හමුදාවේ සහ ප්‍රභූ පැලැන්තියේ බලකොටුව විය. වත්මන් සෙනෙට් සභාවේ සාමාජිකයින් 150කි. සාමාජිකයින් 76 දෙනෙකු තේරී පත් වන අතර පළාත් 75කින් එක් පළාතකට අවම වශයෙන් එක් අයෙකු පත් කෙරේ.
මන්ත්‍රී මණ්ඩලය
තායිලන්ත රජයේ ප්‍රාථමික ව්‍යවස්ථාදායක සභාව වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යි. සභාවට සාමාජිකයන් 500 දෙනෙකු ඇතුළත් ය. මන්ත්‍රීවරුන් 375ක් සෘජුව ම රට පුරා තනි ආසන ඡන්ද කොට්ඨාසවලින් තෝරා පත් කර ගනු ලැබේ. අනෙක් සාමාජිකයන් 125දෙනා තෝරා ගනු ලබන්නේ පක්ෂ ලැයිස්තු හරහා “සමානුපාතික නියෝජනය” භාවිතා කරමිනි. මෙම ක්‍රමය “මිශ්‍ර සාමාජික බහුතරය” ලෙස හැඳින්වේ. ඡන්දදායකයෙකුට ඡන්ද දෙකක් ඇති අතර, එකක් මැතිවරණ කොට්ඨාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ද අනෙක පක්ෂයක් වෙනුවෙන් ද භාවිත කළ යුතු ය.
මෙම සභාව මෙහෙයවනු ලබන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා වන අතර ඔහු ජාතික සභාවේ සභාපතිවරයා ද වේ. ඔහුට නියෝජ්‍ය කථිකයන් දෙදෙනෙකුගේ සහාය ලැබේ.
කිසිදු අමාත්‍ය ධුරයක් හා නොමැති විශාලතම පක්ෂයේ නායකයා විපක්ෂයේ නායකයා බවට පත්වනු ඇත. එරට විපක්ෂ නායක යනු සැලකිය යුතු බලපෑමක් කළ හැකි ප්‍රබල තනතුරකි. ඔහුට කැබිනට් මණ්ඩලයේ සහය ලැබේ.
2007 වසරේ පැවැති මැතිවරණයෙන් පසු පීපල්ස් පවර් පක්ෂය (පී.පී.පී.) වැඩිම ආසන දිනා ගත්තේ ඩිමොක්රටිකයින් හා චාර්ට් තායි පක්ෂයට පසු ය. කෙසේ වෙතත්, 2008 දී ඇති වූ දේශපාලන අර්බුදයෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුවෙන් පසු, පී.පී.පී., චාර්ට් තායි හා මධ්‍යස්ථ ප්රජාතන්ත්රවාදී පක්ෂ ද අගමැතිවරයාගේ සහ පක්ෂ විධායකයින් කිහිප දෙනෙකුගේ ද දේශපාලනය වසර පහකට තහනම් කරන ලදී. කැබිනට් සංයුතිය වෙනස් විය. පී.පී.පී.යේ අනුප්‍රාප්තිකයා බොහෝ ආසන රඳවාගෙන සිටිය ද, ඉතිරි හවුල්කරුවෝ ඉවත් වී, ඩිමොක්රටික් නායකත්වයෙන් යුත් රජයකට බැඳුණහ.
එන්.සී.පී.ඕ. විසින් 2014 මැයි 22 වන දින සිදු කළ කුමන්ත්රණයෙන් පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව අහෝසි කරන ලදී. වර්තමානයේ, එන්.සී.පී.ඕ විසින් පනවන ලද තායිලන්තයේ අතුරු ව්‍යවස්ථාවට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් නොමැත. ව්‍යවස්ථාදායක බලය එන්.සී.පී.ඕ විසින් පත් කරන ලද ජාතික ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරේ.
අධිකරණය
තායිලන්තයේ නීති පද්ධතියට සාම්ප්‍රදායික තායි හා බටහිර නීතිවල මූලධර්ම මුසු කර තිබේ. සාම්ප්‍රදායික “තායි” නීති යනු ඛමර් අධිරාජ්‍යයා විසින් භාවිත කරන ලද හින්දු – බ්‍රාහ්මණ නීතිවල ප්රතිඵලයකි. එනමුත් තායි නීති පද්ධතිය සම්පාදනය කර ඇත්තේ කුමන මූලාශ්‍රයක් හරහා ද යන්න සොයා ගත නොහැකි ය.
2014 තායිලන්තයේ අතුරු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය යටතේ, ඕනෑම පරිපාලන, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය පරිදි ඉටු කිරීමට අග්‍රාමාත්‍යවරයාට සහ එන්.සී.පී.ඕ නායකයාට පූර්ණ බලයක් ලැබුණු අතර, අදටත් එය නීතිමය හා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්යක් ලෙස සලකනු ලැබේ.
කෙසේ වෙතත් තායිලන්ත රජයේ සේනාධිනායකයා වන වත්මන් රජුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුළ තිබෙන්නේ එතරම් පහන් හැඟීමක් නොවේ. ලොව පුරා මෙතරම් දරුණු අන්දමින් කොවිඩ් 19 වසංගතය පැති යද්දීත් පසුගිය වසර අග භාගයේ දී ඔහු තවත් කාන්තාවන් විසි දෙනෙකු සමඟ සොනෙන්බීච්හි පිහිටි තරු පන්තියේ හෝටලයක විනෝද වෙමින් සිටියේ ය. ඔහුගේ එම අදූරදර්ශී ක්‍රියාවෙන් පසු එරට කොවිඩ් ආසාදිතයින්ගේ සැලකිය යුතු වැඩි වීමක් ද දක්නට ලැබිණි. එනමුත් ව්‍යවස්ථාදායකය ඔහුට විරුද්ධ ව කිසිදු පියවරක් ගෙන නැත.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්