එඩින්බරෝහි ආදිපාදවරයා වූ ද, එලිසබෙත් මහ රැජිනගේ ස්වාමියා වූ ද පිලිප් කුමරු 2021 අප්‍රියෙල් 9 වන දින වයස අවුරුදු 99 දී මිය ගියේය. බ්‍රිතාන්‍යයේ මහ රැජින වශයෙන් එලිසබෙත් රැජිනගේ රාජකාරි කටයුතුවල දී පිලිප් කුමරුන් හට වෙන් වූ කාර්යයභාරයක් නොතිබුණ ද මිය යන තුරු ම ඔහු ඇය වෙත අත්‍යවශ්‍ය, අඛණ්ඩ සහයෝගයක් ලබා දුන්නේ ය. කෙසේ වුවත් සිය කාලය තුළ දී ඔහු බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් බොහෝ අඩු ලුහුඬුකම් විඳි බව පෙනේ.
ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ රජුගේ පුතණුවන් වූ පිලිප් මවුන්ට්බැටන් කුමරුන් 1947 දී එවකට කුමරියක් වූ එලිසබෙත් සමඟ විවාහ විය. රාජකීය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් තිස්සේ විවාහ දිවිය ගත කළ යුවළ බවට පත් වන්නේ මේ දෙදෙනා ය. ඔහුගේ බිරිඳ ද දීර්ඝතම කාලයක් සේවය කළ බ්‍රිතාන්‍ය අධිරාජිණිය වන අතර එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය සහකරු විය. (සම්ප්‍රදායට අනුව, රැජිනකගේ ස්වාමිපුරුෂයා “රාජකීය සහකරු” පමණක් වන අතර ඔහු කිසි දිනෙක රජ වන්නේ නැත.)
වික්ටෝරියා රැජින හා ඇල්බර්ට් කුමරුගේ තුන් වන පරම්පරාවේ මුණුබුරු මිණිබිරියන් වූ මෙම රාජකීය යුවළ 1937 දී හයවන ජෝර්ජ් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් පැවැත්වුණු පවුලේ උත්සවය සඳහා පළමු වරට එක් ව ගමන් කළහ. 2012 දී සැලි බෙඩෙල් ස්මිත් විසින් පළ කරන ලද “එලිසබෙත් රැජින: නූතන රාජාණ්ඩුකාරියකගේ ජීවිතය” නමැති චරිතාපදානයේ ලියා ඇති පරිදි, 1939 ග්‍රීෂ්ම ඍතුවේ දී එලිසබෙත් කුමරිය සහ ඇගේ පවුලේ අය රාජකීය නාවික හමුදා අංගනය නැරඹීමට ගිය අවස්ථාවේ දී ප්‍රථම වරට පිලිප් කුමරුන් හමු වී තිබේ. එවකට ඇගේ වයස අවුරුදු දහතුනක් පමණක් විය. කෙසේ වුවත් ඒ වන විට ඩාර්ට්මූත් විද්‍යාලයේ ශිෂ්‍ය භටයෙකු වූ පිලිප් කුමරු හා එලිසබෙත් කුමරිය, දුටු මනතින් ම එකිනෙකා සමඟ ආදරයෙන් බැඳුණාහ.
දෙවන ලෝක සංග්‍රාමය අතරතුර, මධ්‍යධරණී හා පැසිෆික් සාගරයේ රාජකීය නාවික හමුදාව සමඟ එක් වූ පිලිප් කුමරුන් විශිෂ්ට සේවයක් ඉටු කළේ ය. එම කාලය තුළ පිලිප් – එලිසබෙත් සම්බන්ධතාව වඩාත් වර්ධනය වූ බව පෙනේ. 1946 දී ඔහු ස්කොට්ලන්තයේ බැල්මොරල්හි පිහිටි රාජකීය පවුලේ වතුයායේ දී එලිසබෙත් හට විවාහ යෝජනාවක් ගෙන ආ නමුත් හයවන ජෝර්ජ් රජුගේ බල කිරීම මත අදාළ විවාහ ගිවිස ගැනීමේ නිවේදනය ඔහුගේ වැඩිමහල් දියණිය 21 වන වියට පත්වන තෙක් කල් තබන ලදී.
ඇතැම් පැතිවලින් නිරීක්ෂණය කරන විට පිලිප් යනු සාම්ප්‍රදායික තේරීමක් විය. ඔහුට රාජකීය පරම්පරාවක් තිබුණි. එනමුත් ස්මිත් ලියා ඇති පරිදි, වෙනත් ආකාරයකින් මෙම ප්‍රේම සම්බන්ධතාව මතභේදයට තුඩු දුන්නේය. බ්‍රිතාන්‍ය රජ මාළිගාවේ රාජ සභිකයන් සහ රාජකීය පවුලේ වංශාධිපති මිතුරන් මෙන් ම ඥාතීන් ද ඔහුට සැලකුවේ අශිෂ්ට විදේශිකයෙකු ලෙස ය. මන්දයත් ඔහු “ජර්මානු” හෙවත් “හුන්” ජාතිකයෙකු ලෙස හැඳින්වුණු බැවිනි. වික්ටෝරියා මහ රැජිනගේ කාලයේ දී බ්‍රිතාන්‍ය රාජකීය නිවසේ නාමය “සැක්ස් – කෝබර්ග් – ගෝතා” සිට “වින්ඩ්සර්” ලෙස වෙනස් කරන ලද්දේ ද ඔවුන් ජර්මානුවන් හා කිසිදු සම්බන්ධතාවක් නොමැති බව උළුප්පා පෙන්වීම සඳහා ය. කෙසේ වුවත් එලිසබෙත් රැජිනගේ සීයා වූ ලුවී කුමරු ද ජර්මානු ජාතිකයෙකු බව අමතක නොකළ යුතු ය.
මෙවැනි ජාතිකත්ව මතභේද තිබිය දීත්, ඔවුහු 1947 නොවැම්බරයේ දී විවාහ වූහ. විවාහයේ පළමු වසරවල දී ම මෙම යුවළ සිය නිළ නිවස වූ ලන්ඩන්හි “ක්ලැරන්ස් හවුස්” අලුත්වැඩියා කරගෙන, එහි පදිංචියට ගියේ රාජකීය පවුලේ අහුකොන් ඉවසීමට අකැමැති වූ බැවිනි. එපමණක් නොව ඔවුහු පිලිප් කුමරුන් රාජකීය නාවික හමුදා භටයෙකු ලෙස සේවය කරමින් සිටි මධ්‍යධරණි දූපතක් වන මෝල්ටාවේ ද කාලය ගත කළහ. ඔවුන්ට චාල්ස් සහ ඈන් යන දරුවන් දෙදෙනා ලැබුණේ ද මේ කාලයේ දී ය. එසේ වෙතත් එලිසබෙත්ගේ පිය රජුගේ සෞඛ්‍යය තත්ත්වයේ පිරිහීම සියල්ල වෙනස් කළේ ය. එලිසබෙත්ගේ රාජකාරි ටිකෙන් ටික වැඩි වූ අතර 1951 දී පිලිප් කුමරු ද නැවත ලන්ඩනයට පැමිණියේ ය.
1952 පෙබරවාරියේ දී එලිසබෙත් සහ පිලිප් එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ කෙන්යාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කළහ. එම සංචාරය නිම වීමට ද ප්‍රථම වයස අවුරුදු පණස් හයේ දී හයවන ජෝර්ජ් රජු මිය ගිය බව යුවළට දැනගන්නට ලැබිණි. සිය බිරිඳ වයස අවුරුදු 25 දී සිංහාසනයට පත් වීමත් සමඟ, පිලිප් කුමරුන් හට ද රැජිනගේ සහකරුගේ භූමිකාව ආරම්භ කිරීමට සිදු විය.
තම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමත්, මෑතක දී තම මවගේ පවුලේ වාසගම වන මවුන්ට්බැටන් (බැටන්බර්ග්හි ඉංග්‍රීසි අනුවාදය) යන නාමය සම්මත කර ගැනීම සඳහා ලැජ්ජා සහගත සටනක් දියත් කිරීමත් හැරුණු කොට ගෙවී ගිය කාලය මුළුල්ලේ ම පිලිප් කුමරුන් ගත කළේ කිසියම් “පාෂාණමය සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක්” බව කිව හැකි ය. බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලබා ගැනීමත් සමඟ “ග්‍රීසියේ කුමාරයා” ලෙස ඔහුට ලැබී තිබූ පාරම්පරික පදවිය ද අත්හැරීමට සිදු විය. මෙම තත්ත්වයට වග කිව යුතු වන්නේ ඔහුගේ නැන්දම්මා, මිත්තණිය වූ මේරි රැජින මෙන් ම එවකට අගමැති වූ වින්ස්ටන් චර්චිල් බව පෙනේ. කෙසේ වුවත් මෙම හුදෙකලා කිරීම හරහා පිලිප් කුමරුගේ තටු සිඳී ගිය බව පෙනේ.
එලිසබෙත්ගේ සීයා වන ඇල්බර්ට් කුමරු වික්ටෝරියා රැජින හා විවාහ වීමට පෙර රට පාලනය කිරීම වෙනුවෙන් ඇය වෙත විශාල බලපෑමක් කර .තිබූ අතර, සියලු ආකාරයේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික කරුණු පිළිබඳ උපදෙස් ද ලබා දී තිබිණි. රැජිනගේ පෞද්ගලික ලේකම්වරයා සහ කළමනාකරු ලෙස කටයුතු කර තිබුණේ ද ඇල්බර්ට් කුමරු ය. ඔහු විසින් කළ සියලු සේවයන් සඳහා ප්‍රතිඋපකාරයක් වශයෙන් 1857 දී වික්ටෝරියා රැජින ඇල්බර්ට් කුමරුන් විවාහ කර ගත්තා ය. විවාහයෙන් පසු ද ඔහු සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වූයේ නැත.
එනමුත් පිලිප් කුමරුගේ තත්ත්වය ඊට වෙනස් විය. ඔහු එලිසබෙත් රැජිනගේ රාජකාරි කටයුතුවලින් බැහැර කරන ලදී. එහෙයින් ම ඔහු සිය නිළ නාමය ලබා ගත්තේ ද නැත. ස්මිත් මෙසේ ලියයි. “එසේ තිබිය දීත් පිලිප් කුමරුන් රාජකීය පවුල තුළ තමාගේ ම කියා ස්ථානයක් සොයා ගන්නා අතර ම තම බිරිඳට ද සම්පූර්ණ සහයෝගය දැක්වීමට අධිෂ්ඨාන කර ගත්තේ ය.” ඔහු ඉතා දක්ෂ පෝලෝ ක්‍රීඩකයෙකු විය. එහෙයින් සිය කාලය තුළ දී ක්‍රීඩාව, අධ්‍යාපනය, වනජීවී සංරක්ෂණය සහ පරිසරය වැනි කාරණා වෙනුවෙන් කැප වූ සංවිධානවලට අනුග්‍රහය දැක්වීය. විශේෂයෙන් ලෝක වනජීවී අරමුදල (WWF) වෙත ඔහුගේ විශේෂ සහයෝගය ලැබිණි.
පිලිප් කුමරු ස්වභාවයෙන් ම අනෙකා හිනැස්සවීමට කැමැති පුද්ගලයෙකු විය. එහෙයින් වසර ගණනාවක් පුරා ඔහුගේ ප්‍රසිද්ධ සහකාරිය හැම විට ම සිනහවෙන් තැබීමට උත්සාහ කළේ ය. සැබැවින් ම මෙය එලිසබෙත් හට විශාල සහනයක් වූ බව පෙනේ. පිලිප් කුමරුන් මුර භටයෙකු ලෙස පෙනී සිටිමින් රැජින හිනස්සවන ආකාරය පිළිබඳ ඡායාරූපයක් ද මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබේ. “ඇගේ එක සිනහවක් වෙනුවෙන් මා ඕනෑම දෙයක් පුද කිරීමට සූදානමින් සිටිමි” යනුවෙන් පිලිප් කුමරුන් පවසා තිබිණි.
ඔහු අතින් කියවුණු මතභේදාත්මක ප්‍රකාශයන් කිහිපයක් ද තිබුණු බව පෙනේ. තව ද රාජකීය සහකරු වශයෙන් පිලිප් කුමරුගේ භූමිකාවේ තිබූ යම් යම් අඩුපාඩුකම් ද සමාජයට රහසක් නොවී ය. “මින්ට් උපදේශක කමිටුවේ සභාපති වීම මගේ අභිලාසය නොවේ.” ඔහු 1992 දී ස්වාධීන පුවත්පතට පැවසීය. “මට WWF (World Wild Fund) හි සභාපති වීමට ද අවශ්‍ය නොවී ය. එනමුත් ඔවුහු මගෙන් එය භාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. මට බොහෝසෙයින් අවශ්‍ය වන්නේ නාවික හමුදාවේ රැඳී සිටීමට පමණි.”
2011 දී එළඹුණු ඔහුගේ 90 වන උපන්දිනය දා, එලිසබෙත් රැජින සිය සැමියාට රාජකීය නාවික හමුදාවේ ප්‍රධානියා වන “උසස් අද්මිරාල් සාමිවරයා” යන පදවිය ලබා දුන්නේ, ඇය වෙනුවෙන් ඔහු කළ පරිත්‍යාගයන් සියල්ලට ම ත්‍යාගයක් වශයෙනි.
2017 අගෝස්තු මාසයේ දී පිලිප් කුමරුන් නිළ වශයෙන් සිය රාජකීය සේවයෙන් විශ්‍රාම ගියේය. මිය යන විට ඔහු සහ එලිසබෙත් රැජින විවාහ වී වසර 74කට ආසන්න කාලයක් ගත වී තිබිණි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්