Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යල කන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් විශේෂ වැඩ පිළිවෙලක් – සහතික මිලත් ප්‍රකාශ කරයි

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ගොවීන්ට සහ ගොවි සංගම් වලට අසාධාරණයක් ඇති නොවන අයුරින් වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවයි රජය පවසන්නේ.

මෙවර යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 1,500,000ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි එකතු කර ඇති අතර ඒ අනුව අදාළ වී තොග මිලදී ගැනීම සඳහායි රජය සැලසුම් කර ඇත්තේ.

නාඩු වී ‍කිලෝවක් සඳහා රුපියල් 50/-ක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52/-ක් ද, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55/-ක් ද වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙනවා

අදාළ කැබිනට් පත්‍රිකාව පහලින්..

2021 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම – මෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000ක පමණ සමස්ත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත. එම අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, පහත සඳහන් පරිදි 2021 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* නාඩු වී ‍කිලෝවක් රුපියල් 50/-ක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52/-ක් ද, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55/-ක් ද වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිල දී ගැනීම.

* සහතික මිලට අමතරව ප්‍රමිතියෙන් යුතු වී, ගොවීන්ගෙන් සෘජුවම මිල දී ගැනීමේදී සැකසීම හා ප්‍රවාහනය සඳහා වී කිලෝවකට රුපියල් 1.50ක් ගොවීන්ට ගෙවීම.

* දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ ප්‍රමිතියෙන් යුතු වී, ගොවි සංවිධාන හරහා මිල දී ගැනීමේදී සහතික මිලට අමතරව සැකසීම හා ප්‍රවාහනය සඳහා වී කිලෝවකට රුපියල් 1.50ක් එම ගොවි සංවිධානවලට ගෙවීම.

* තෙත වී වියළීමේ පහසුකම් ඇති වී මෝල් හිමියන් සහ ගොවි සංවිධාන හරහා වී මිල දී ගැනීමේදී තෙතමනය 14% සිට 22% දක්වා වී කිලෝවකට රුපියල් 8/-ක් සහතික මිලෙන් අඩු කර ගොවීන්ට ගෙවීමටත්, එවැනි වී තොග වියළා ප්‍රමිතියට සකස් කිරීම පිණිස වී කිලෝවකට රුපියල් 4/-ක් සහ ප්‍රවාහනය සඳහා රුපියල් 2/-ක් බැගින් එකී වී මෝල් හිමියන්ට සහ ගොවි සංවිධාන වෙත ගෙවීම.

* 2021 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීම මත වී අලෙවි මණ්ඩලයට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්ට බලය ලබා දීම.

About The Author