මිනිහෙක් රැවුල කප කපා ඉන්නවා. එයාගේ නෝනා බඩු පැක් කරනවා දීපාවලියට ගමේ යන්න. බුදු අම්මෝ ඒක නම් කටක් නෙවෙයි, කතුරක්. ඒ ගමේ ඉන්න සේරම ගැහැනුන්ටයි මිනිස්සුන්ටයි ෆෝන් එකෙන් කතා කරනවාද කොහෙද. ගමේ ගෙදරත් පුදුම සෙනඟක් නේ ඉන්නේ. පණහක් විතර. එයාගේ මහත්තයා පොලිසියේ ලොක්කෙක්. ඒත් මේ ගැහැනු මනුස්සයා ඒ මහත්තයාට කතා කරන විදිහ නම් අන්තිම කැතයි. ගැහැනු කෙනාගේ නම සුදා. හැබැයි තරහා ගියාම නම් සුද කැලේ. මොකද ඉතින් මෙයාට මෙච්චර ඩෝං ගිහින් තියෙන්නේ? ඇයි ඉතින් එයාගේ මහත්තයා අද එයා එක්ක යන්න එන්නේ නැතිව පොලිසියේ රාජකාරි වැඩකට යනවා නේ. හරි වැඩක් නේ. පැය විසි හතර ම රාජකාරියේ යෙදෙන රස්සා ඔහොම තමයි ඉතින්.
කොහොම හරි පොලිස් මහත්තයා, ඒ කියන්නේ බාස්කර් වැඩට ගියා. එතන කොල්ලෝ වගයක් බෝල ගහනවා. හදිසියේ ම බෝලය හිර කූඩුව ඇතුළට ගියා. කොල්ලෝ ටික බාස්කර්ට කියනවා බෝලය අරන් දෙන්න ලු. එහෙම කොහොමද කරන්නේ? මේක සෙල්ලම් කරන තැනක් නෙවෙයි නේ. ඒත් ළමයි මොනවා කරන්නද? බෝලය නැති ව බැහැ. එකයි ලු තියෙන්නේ. ඉතින් මේ හොඳ මහත්තයා එයාලට සල්ලි දෙනවා අලුත් එකක් ගන්න. පොලිසියේ රාජකාරි කළත් මනුස්ස ගති තියෙන මිනිහෙක්. දන්නවාද හිර කූඩුවේ ඉඳලා බෝලය අහුල ගත්තේ කවුද කියල? එයාගේ නම සුරුලි. රිමාන්ඩ් එකේ ඉන්නේ ගමේ දී හට ගත්තු හදිසි ආරවුලක් නිසා. ඒත් එයා නම් හිතන්නේ මිනිස්සු තමන්ට බොරු චෝදනා එල්ල කරලා කියලා. දැන් සුරුලිගේ කතාව…
සුරුලි පුංචි කාලයේ ඉඳලා ම මැරයා. කළොත් චණ්ඩිකමක් ම තමයි. එයාගේ තාත්තත් එහෙම නේ. කෙටියෙන් කියනවා නම් ඉස්කෝලේ මාස්ටරුත් මේ පොඩි කොල්ලට බයයි. ඇයි ඉතින් කොල්ලාට දඬුවම් කළොත් එහෙම ඒ තාත්තාගෙන් මැරුම් කන්න නේ වෙන්නේ. සුරුලි ජීවිතේට ඉස්කෝලේ යන්නේ නැහැ. හැමදාම කට්ටි පනිනවා. ඔය අතරේ දවසක් එයා මඟ යද්දී දකිනවා එක ගෙදරක කෝලහාලයක්. මිනිහෙක් ඇවිත් ගෙවල් කුලී ගෙව්වේ නැතිය කියලා ඒ ගෙදර හිටිය අම්මෙකුයි දුවෙකුයි පාරට ඇදලා දාලා, බඩුමුට්ටුත් කුඩු කරනවා. පව් අර පොඩි කෙල්ල. එයා හරි දුකින් හැම තැනම විසිරිලා තියෙන තමන්ගේ පොත්පත් ටික ආදරයෙන් අහුලගෙන පපුවට තුරුළු කර ගන්නවා. සුරුලිට මේකට හිතට හරි නැහැ. එයා ගිහින් අර කෙල්ලට පැන්සල අහුලලා දෙනවා. පේන විදිහට මේක තමයි සුරුලිගේ හිත තවත් කෙනෙක් වෙනුවෙන් උණු වෙච්ච පළවෙනි ම වතාව. ඉතින් එයාට මේ කෙල්ලගේ ඇඬුම බලාගෙන ඉන්න බැරිව අම්මවයි දුවවයි එක්කගෙන ඈත ගෙදරකට යනවා. එහෙ ඉන්නේ ආච්චි කෙනෙක් විතරයි.
“ආච්චියේ ඔයාට කවුරුවත් නැහැ. මෙයාලටත් කවුරුවත් නැහැ. ඒ නිසා ඔයාගේ ගෙදර මෙයාලව තියා ගන්න.”
ආච්චි කැමති වෙනවා. එදා ඉඳන් ඒ අම්මා එක එක කෑම ජාති හදලා, ගමේ ගෙවල්වලට විකුණලා කීයක් හරි හම්බ කර ගන්නවා. එතකොට කෙල්ල? එයා දවසක් අඬ අඬ ඉන්නවා ඉස්කෝලේ යන්න ඕනැයි කියලා. සුරුලිට නම් මොන ඉස්කෝල ද? ඒත් සුරුලි මේ ළමයා ව එක්කගෙන ගිහින් මාස්ටර්ට බාර දෙනවා, උගන්නන්න කියලා. මාස්ටර් ඉතින් හා කියලා නිකම් ඉන්නවා. කෙල්ලගේ නම මෛනා. එයා නම් ඉගෙන ගන්න දක්ෂයා. සුරුලි මෛනාට හරි ම ආදරෙයි. දවසක් එක මිනිහෙක් මෛනාව හපන්න බල්ලෙක් උසි ගන්නනවා දැකලා, සුරුලි ගිහින් මිනිහාගේ අත හපලා, කෙල්ලව අරගෙන ගෙදර යනවා.
“ගීත ගයමු එය විනෝදයකි
කෝ කෝ කියමින් සෙල්ලම් කිරීමට මම ඔබට උගන්වන්නම්
බලන්න මේ නයි බිත්තරයක්
කෝටු සෙල්ලමත් විනෝදයි…”
ඔය අතරේ දෙන්නාම දැනුම් තේරුම් ඇති වයසට ඇවිත්. සුරුලි ඉස්කෝලේ යන එක සම්පූර්ණයෙන් ම නවත්තලා. හැබැයි එයා තමයි මෛනාව ගේන ගෙනියන වැඩ සේරම කරන්නේ. අම්මාත් ඒකට අනුබල දෙනවා. එයාටත් ලෙහෙසියි නේ. සුරුලි මෛනාට පොකට් මනි පවා දෙනවා. කෝ සල්ලි? ඇයි සුරුලි මුට්ට කර ගහලා හම්බ කරන සොච්චම තියෙනවා නේ. දවසක් මෛනාට බඩ රිදෙනවා ලු. සුරුලි බය වෙලා දුවලා ගිහින් ආච්චිව බලෙන් ම උස්සගෙන ඇවිත් මෛනා ළඟින් තියලා කියනවා මොකද කියලා බලලා කියන්න ලු. ආච්චි වටේ ඉන්න පිරිමි සේරම එළවලා දානවා. ඊට පස්සේ රෙද්දකින් මෛනාගේ ඔළුව වහලා, ගෙදර එක්කගෙන යනවා. ආච්චි සුරුලිට කියනවා දවස් 15ක් – 20ක් යනකල් මෛනාව බලන්න එන්න එපා ලු. ඒකට එයාට මාර අප්සට්. කවුරු කිව්වත් සුරුලි අහන්නේ නැහැ. කොහොම හරි ට්‍රයි එක දෙන්නේ කෙලි පොඩ්ඩගේ මූණ ටිකක් බලා ගන්න තමයි. කෝ ඉතින් ඒකට ඉඩක්. හැම වෙලේම කවුරුහරි හෙනහුරෙක් පාත් වෙනවා නේ. කොහොම හරි මෛනාව නැකතට නාවන්න පොල් අතු මඩුව හැදුණෙත් මේ සුරුලිගේ අත්දෙකෙන් ම තමයි.
“මෛනා, ඔබ මගේ හදවත සොරා ගත්තා
නොදනිමි කියන්න මට කුමක් වීදැයි
තනි නොකරනු මා මෙසේ
නොහැගේ නොසිතේ කිසිවක්…”
දවසක් රෑ සුරුලි මෛනා බලන්න ගිය වෙලාවේ එයා පාඩම් කරනවා. හදිසියේ ම කරන්ට් ගියා. අයියෝ… දැන් කොහොමද පාඩම් කරන්නේ. හරි වැඩේ. සුරුලි කල්පනා කරලා බැලුවා. ඊට පස්සේ ගත්තා ෆුට් සයිකලය. ඒකේ තියෙනවා නේ ඩයිනමෝවෙන් පත්තු වෙන ලයිට් එකක්. සුරුලි හති දාගෙන බයිසිකලය එක තැන පදිනවා. ඒ එළියෙන් මෛනා පාඩම් කරනවා. පැදපු පැදිල්ල කොච්චර ද කියනවා නම් එක පාරට ම චේන් එක කඩලා ගියා. දැන් ඉතින් මොකද වෙන්නේ. සුරුලි ළඟ ඒකටත් පිළියමක් තියෙනවා. එයා බෝතලයකට කණාමැදිරියෝ රොත්තක් අල්ලගෙන ඇවිත්. දැන් නම් සුරුලි මෛනාට ආදරය කරන බව ඉර හඳ වගේ පැහැදිලියි. මෛනාටත් මේ වෙලාවේ ඒක දැනුණා. ඒ නිසා එයා හෙමින් හෙමින් සුරුලිට ළං වෙලා දෙතොල් සිප ගත්තා.
සුරුලි ලොකු විශ්වාසයකින් ඉන්නේ මෛනාව තමන්ට බන්දලා දෙයි කියලා. ඒ අම්මත් මුලින් මුලින් නම් බොහෝම කැමැත්තෙන් තමා හිටියේ. දැන් නම් ටික ටික කැමති නැහැ වගේ. එයා සුරුලිට බණිනවා කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒකට එයාට හොඳට ම තරහා ගිහින් අර ගැහැනියට ගහනවා. ඔය ප්රශ්නය තමයි දුරදිග ගිහින් සුරුලි ව පොලිසියෙන් අල්ලගෙන ගියේ.
සුරුලිට මේ හිර කූඩුවේ ජීවිතය හරි යන්නේ නැහැ. එයාට ඕනේ කොහොමහරි මෛනා ළඟට යන්න නේ. ඔය අතරේ මෙයා රාමයියා කියලා පොලිස් නිළධාරියෙක් එක්කත් ප්‍රශ්නයක් ඇති කර ගන්නවා.
“සර්, ඔයා දන්නවා ද මෛනා කියන්නේ කවුද කියලා?”
“නැහැ නේ… කවුද? අලුත් පොලිස් ප්‍රධානියා ද? නැත්නම් අලුත් මහ ඇමති ද?”
“අයියෝ නැහැ. මෛනා තමයි මගේ ආත්මය. මගේ ජීවිතය. මගේ මුළු ශරීරයේ ම ඉන්නේ එයා.”
රාමයියා හිතුවේ සුරුලි එයාව විහිළුවකට ගත්තා කියලා. ඒ නිසා බණිනවා බොරු චෝදනාවක් හරි දාලා හිරේ දානවා කියලා. ඔය අතරේ පොලිසියේ උත්සවයක්. ඉතින් සුරුලිත් කොඩි වැල් දාන්න එහෙම උදව් වුණා. ටික වෙලාවකින් බලනකොට සුරුලි නැහැ. අතුරුදහන්. බලද්දී මෙන්න ඉනිමඟක් තියෙනවා තාප්පයට හේත්තු කරලා… හපොයි, මේ මිනිහා පැනලා ගිහින් නේද? දැන් මොකද කරන්නේ? රාමයියායි බාස්කරුයි බයිසිකලයක නැගලා සුරුලිගේ ගමට යනවා.
ඒ අතර සුරුලි ගිහින් මහ විනාශයක් කරන්නයි හදන්නේ. එයා කෙල්ලගේ ගෙයි දොරකොඩට වෙලා ඉන්නවා. ඒත් අර අම්මා දොර අරින්නේ නැහැ. කෙල්ලව බලන්න හෙට උදේ මනමාලයෙක් එනවා ලු. ඒ නිසා සුරුලි ගෙට එන්න හැදුවොත් එයා දුවට ගිනි තියනවා ලු. සුරුලි ඇතුළට යන්නේ නැහැ. ඒත් උදේ වෙනකල් ම ඉන්නවා. ඔන්න උදේ අර කට්ටිය ආවා කියමුකෝ. මොනවද ඉතින් සුරුලි උන්ට ගහලා පන්නනවා. ඒ අතරේ කෙල්ලත් ඇතුළේ ඉඳන් වළි. අර අම්මා දොර ඇරපු ගමන් කෙල්ල දුවලා ගිහින් සුරුලි ව බදා ගන්නවා. ඊට පස්සේ දෙන්නා එක්ක යන්න යනවා. ඔය අතරේ පොලිසියේ මහත්තුරු දෙන්නට අහු වුණු නිසා කමක් නැහැ කියලා හිතලා හතර දෙනත් එක්ක නගරයට ම යන්න පිටත් වෙනවා.
රාමයියා සුරුලිගේ අතයි තමන්ගේ අතයි එකතු කරලා මාංචු දාලා තියෙන්නේ. ඒ නිසා සුරුලිගෙයි මෛනාගේ ප්‍රේම කතාවලටයි, පෙම් ආලිංගනවලටයි ඔක්කෝට ම රාමයියාටත් සම්බන්ධ වෙන්න වෙලා. එයා ඉතින් වැඩිහිටියෙක් නේ. මිනිහාට මාර අවුල්. එක වතාවක් සුරුලිට මුත්‍රා කරන්න ඕනේ වෙලා, අන්තිමට කලිසම ගලවන්න වුණෙත් රාමයියාට ම තමයි. නැතිව ඉතින් මංචු ගලවන්න යැ. නගරයට යන අතරේ හම්බ වුණු තැනකින් කෑම කන්න උත්සාහ කරද්දී සුරුලි කරන විකාර වැඩවලට තරහා ගිහින් බාස්කර් එයාට බණිනවා.
“උඹ හිතාගෙන ඉන්නේ පොලිසියට ගියාම උඹට නිදහස ලැබෙයි කියලාද? මම උඹව මාස 6කට හිරේ යවනවා. එතකොට මේ මෝඩ කෙල්ලට වෙන්නේ හිඟා කන්න තමයි.”
ඇත්ත නේන්නම්. කෙල්ලට ඕකට මාර දුකයි. එයා පිටිපස්සට ගිහින් අඬනවා. ඔය අතරේ එතනට ආව මිනිහෙක් මානව හිමිකම් එකට දන්වනවා කියලා අර පොලිසියේ මහත්තුරු දෙන්නාව බය කරල, සුරුලිගේ මාංචු ගලවනවා. ඇයි ඉතින් ඒ කොල්ලාට කන්නවත් නිදහසක් නැහැ නේ. සුරුලි දුවලා යනවා කෙල්ල අඬන තැනට. ඊට පස්සේ රාමයියා අහක බලනකල් ඉඳලා ටක් ගාලා පැන ගන්නවා. දෙන්නත් එක්ක පණ එපා කියලා දුවන අතරේ හදිසියේ ම මෛනාගේ කකුලේ ඇණයක් ඇනෙනවා. සිහියත් නැති වෙනවා. සුරුලි මහ පුදුමාකාර ආදරවන්තයෙක්. එයා පුංචි කාලේ වගේ මෛනාව කරේ තියාගෙන දොස්තර කෙනෙක් ළඟට ගෙනියනවා. හැබැයි ඒ මනුස්සයා දත් දොස්තර කෙනෙක්. සුරුලිට බෝඩ් කියවන්න අකුරු තේරෙන එකක් යැ. කමක් නැහැ කියලා ඒ දොස්තරත් බෙහෙත් දානවා. ඊට පස්සේ ඩිස්පෙන්සරියෙන් අරන් එන්න කියලා බෙහෙත් තුණ්ඩුවක් දෙනවා. සුරුලි ළඟ ඉතින් සල්ලි නැහැ නේ. එයා දොස්තරගෙන් ම සල්ලිත් ඉල්ලගෙන බෙහෙත් ගේන්න යනවා.
ඔය අතරේ පොලිස් මහත්තුරු දෙන්නා කෙල්ලව හොයා ගන්නවා. සුරුලි පැනලා ගිය නිසා බාස්කර්ට මාර කේන්තියි. එයා අර කකුලෙන් ලේ ගලන කෙල්ලව මහ පාර දිගේ ඇදගෙන යනවා, ඒක දැකලා සුරුලි එයි කියලා හිතාගෙන. ඇත්තට ම සුරුලි එනවා තමයි. රාමයියා නම් බාස්කර්ට කියනවා ඔය වැඩේ එච්චර සුබ නැහැ කියලා. මොකද කෙල්ලට මොනවා හරි වුණොත් කෙළින් ම මානව හිමිකම් එකෙන් ඇවිත් මේ දෙන්නාව අල්ලගෙන යයි. සුරුලිත් හිතේ තරහට බාස්කර්ට පලු යන්න බණිනවා.
“මම මෛනාව මලක් වගේ බලා ගත්තේ. උඹ එයාව බල්ලෙක් වගේ ඇදගෙන යනවා. පොඩි කාලේ ඉඳන් අම්මා කිව්වේ මෛනා මගේ කියලා. ඒත් දැන් වෙන කාටද දෙන්න හදනවා. ඒකයි මම පැනලා ගියේ එයාව එක්කගෙන එන්න. කියන්න, මම කරපු එක ම වැරැද්ද ආදරය කරන එක නේද?”
කතාව සම්පූර්ණ ඇත්ත. රාමයියා බාස්කර්ව ෂේප් කර ගන්නවා, නගරෙට ගෙනියනකල් සද්ද නැතිව ගිහින්, පස්සේ අල්ල ගනිමු කියලා. ඊට පස්සේ හතරදෙනා එක්කම නගරයට යන්න බස් එකේ නගිනවා. ටික දුරක් යද්දී හදිසියේ ම ඩ්‍රයිවර් අහක බලන්න ගිහින් බස් එක පාරෙන් එළියට පැනලා පල්ලමට විසි වෙනවා. දැන් බස් එක තියෙන්නේ වැටෙන්න ඔන්න මෙන්න අඩමානේ. කෙල්ලයි කොල්ලයි කොහොමහරි එළියට ආවා. පොලිස් මහත්තුරු දෙන්නා ඇතුළේ. රාමයියා උදව් ඉල්ලනවා.
“ඒ මොකටද මට කතා කරන්නේ? ඇයි ඔයාලා අපිට හිරේ දාන්නනේ හැදුවේ.”
“පිස්සුද සුරුලි, මේ මිනිස්සු මැරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. විකාර කියවන්නේ නැතිව ගිහින් බේර ගන්න.”
ඔන්න ඉතින් මෛනාගේ කීමට සුරුලි පොලිස් මහත්තුරු දෙන්නාව බේර ගන්වා. ඒ දෙන්ට කියා ගන්න දෙයක් නැහැ. එයාලා වැඳලා සමාව ඉල්ලනවා මේ තරම් හොඳ කෙනෙක් ගැන වැරදියට හිතාගෙන හිටියාට.
“මෙතැන් පටන් සිතෙහි බර
නැතිව යාවි නැතිව යාවි
ඔබේ හදවතින් ම මා අමතන්න
කණගාටුව අතුරුදන් වේවි…”
හතරදෙනාම නගරයට ගියා. රාමයියාගේ නෝනා බය වෙලා අනතුර නිසා. එයා සුරුලිට කතා කරන්න ඕනේ කිව්ව නිසා රාමයියා ෆෝන් එක දෙනවා.
“අම්මා…”
ම්හ්… එහා පැත්තෙන් කතාවක් නැහැ. සුරුලි ආයෙ ආයෙ අම්මා කියනවා. ඒත් සද්ද නැහැ. පස්සේ රාමයියා හේතුව කියනවා.
“අපට දරුවෝ නැහැ. මගේ නෝනා ඒ ගැන හරි වේදනාවෙන් ඉන්නේ. ඔයා අම්මා කිව්වාම එයාට හුඟක් දුක හිතිලා. එයා අඬනවා.”
කවුරුවත් හිතුවාද මේ පොලිස් ඇඳුමට වැහිලා ඉන්න රාමයියාගේ හිත ඇතුළේ මේ තරම් වේදනාවක් කකියන බව? කොහොමහරි බාස්කර් සුරුලිව පොලිසියට බාර දීලා කෙල්ල ව ගෙදර එක්කගෙන යනවා. හෙට මෛනා සහ සුරුලි අතර විවාහය සිද්ධ වෙන්නයි ලැහැස්තිය. හෙට උදේ වෙන්න තියෙන පැය කිහිපය විතරක් කෙල්ලගේ ආරක්ෂාවට තමයි බාස්කර් එයාව එක්කගෙන ගියේ. නැතුව මහ පාරේ නිදි කරවන්න යැ. ඒත් බාස්කර්ගේ නෝනා ඕක ගත්තේ වැරදි විදිහට. මොකද එයා දීපවාලියට ගෙදර යන්න බැරි වුණු එක ගැන තරහින් නේ ඉන්නේ. ඒ නිසා සුදා බාස්කර්ට චෝදනා කරනවා වෙන ගැහැනියක් ගෙනල්ලා කියලා. මෛනායි බාස්කරුයි කොයි තරම් උත්සාහ කළත් සුදාට ඒක තේරුම් කරවන්න ම බැහැ. බැරිම තැන බාස්කර් බණිනවා ඕන තැනක පළයන් කියලා. සුදා ඒ රෑ ම ගෙදරින් යනවා. ඉතින් බාස්කර්ට පුළුවන්ද අර කෙල්ලත් එක්ක තනියම ඉන්න? එයා පොලිසියට ගිහින් පුටුවක් උඩ නිදා ගන්නවා.
පහුවදා බාස්කරුයි රාමයියා යි සුරුලි ව නිදහස් කරගෙන එක්කගෙන යනවා බන්දන්න. මෛනා බාස්කර්ගේ ගෙදරට වෙලා මංගල්ලෙට ලැහැස්ති වෙනවා ඇති. අතර මඟ දී එයාලා දකිනවා මිනිස්සු ගොඩක් කෝච්චි පාරක් ළඟට එකතු වෙලා මොකක්දෝ බලනවා, කම්මුලෙත් අත තියාගෙන. බාස්කර්ට සැකයි ඊට තිබුණු තරහට සුදා මොකුත් කරගෙන ද කියලා. ඒ නිසා රාමයියාව යවනවා බලන්න.
අයියෝ… මෛනා…
කඩු කිණිසි පාරවල්වලින් කපලා කොටලා දාපු මෛනා…
ප්‍රභූ සලමොන්ගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන්, ඉම්මාන්ගේ සංගීතයෙන් හා අමලා පාවුල් (මෛනා), විධාර්ථ් (සුරුලි), සේතු (බාස්කර්) ආදීන්ගේ රංගනයෙන් හැඩ ගැන්වුණු “MYNAA” 2010 වසරේ දී පෙම්වතුන් වෙනුවෙන් ම පිළිගැන්වුණු චිත්‍රපටයකි.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්‍රී නෝනා (PHOTO)
මම කවුද?