පළමුවන ලෝක යුද්ධයෙන් පරාජයට පත් වූ ජර්මනිය 1939 වසරේ සැප්තැම්බර් මස 01 වන දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ විශාල සංග්‍රාමයක් ඇරඹිණි. 1947 නොවැම්බර් 07 වන දින ජපානය ද ජර්මනියට සහයෝගය දීමෙන් පසු එය ලෝක යුද්ධයක් බවට පෙරළිණි. පසුව ඔවුනට ඉතාලිය, රුමේනියාව, හන්ගේරියාව, ෆින්ලන්තය, බල්ගේරියාව, ඉරාකය, තායිලන්තය යනාදී රටවල් ද එක් වූහ. අනෙක් පාර්ශවයේ ප්‍රධාන බලවත්තු තිදෙනෙක් සිටියහ. ඒ, සෝවියට් සංගමය, එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය යි. මිත්‍ර පාක්ෂිකයින් වූ ඔවුන් සමඟ චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ආදී බොහෝ රටවල් එක් වී සිටියහ.
පුරා වසර හයක් පමණ කෙරුණු දෙ වන ලෝක මහා සංග්‍රාමය අවසානයට ළඟා වෙමින් තිබිණි. බලවතුන් තිදෙනා එක් ව සාකච්ඡා කළ යුතු විය. ඒ සඳහා සුදුසු ම ස්ථානය ලෙස ඔවුන් තෝරා ගත්තේ සෝවියට් සංගමයට අයත් නිවාඩු නිකේතනයක් වූ “යෝල්ටාව” යි. ඒ අනුව එක්සත් ජනපදයේ ජනාධිපති “ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්”, බ්‍රිතාන්‍යයේ අගමැති “වින්ස්ටන් චර්චිල්” සහ සෝවියට් සංගමයේ නායක “ජෝසප් ස්ටාර්ලින්” යන තිදෙනා යෝල්ටාවට එක් වී යුද්ධයේ අවසානය හා පශ්චාත් යුධ සමයේ දී ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමුළුවක් පැවැත්වූහ. 1943 වසරේ දී පැවැත්වුණු “ටෙහෙරාන්” සමුළුවෙන් පසු, නැවත මෙවැන්නක් පැවැත්විය යුතු බවට යෝජනාව ගෙන එන ලද්දේ රූස්වෙල්ට් විසින් වුව ද, වඩා ශක්තිමත් යුධ හමුදාවක් සිටියේ ස්ටාර්ලින්ට ය. මෙම සාකච්ඡාව කළු මුහුදට අයත් වෙරළ තීරයේ පැවැත්විය යුතු බවට තීරණය කළේ එහෙයිනි. ඒ වන විටත් ඉතිරි බලවතුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හමුදාවකටවත් රයින් ගඟ තරණය කර ගත නොහැකි ව තිබිණි. එනමුත් රතු හමුදාව හෙවත් සෝවියට් හමුදාව සිටියේ ජර්මනියේ බර්ලින් නගරයට සැතපුම් හතළිහක දුරකින් පමණි.
බලවතුන් තිදෙනා
බලවතුන් තිදෙනා එක් ව සිටියේ පශ්චාත් යුධ කටයුතු සංවිධානය කිරීමේ අරමුණින් වුව ද තිදෙනාගේ යටි අදහස් වෙනස් විය. තිදෙනාගෙන් ශාරීරික ව වඩාත් දුර්වලයා රූස්වෙල්ට් වූ අතර ඔහුට අවශ්‍ය වූයේ ජර්මානු “යූ-බෝට්ටු” සිය රට වෙත පැමිණීම නවත්වන අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා ගැනීමට ය. මින් පසු තවත් යුද්ධයක් දියත් කිරීම නැවැත්වීම සඳහා ජර්මනිය බෙදීමටත්, අමතර ආරක්ෂාව සඳහා නැගෙනහිර යුරෝපය ආරක්ෂිත කලාපයක් ලෙස භාවිතා කිරීමටත් ස්ටාලින් යේජනා කළේය. ඔහුට අවශ්‍ය වූයේ ජර්මනියෙන් ද දඬුවම් වන්දි ගෙවීමක් ලබා ගැනීමට යි. මෙයට චර්චිල් දැඩි ව විරුද්ධ විය. ඔහු “යෝල්ටා සමුළුවට වඩාත්ම හදිසි හේතුව” ලෙස සැලකූයේ පෝලන්තයට නිදහස ලබා දීම යි.
1945 පෙබරවාරි 4 වන දින, යෝල්ටාවේ පිහිටි, දෙවන සාර්වරයා වූ නිකලස්ගේ ගිම්හාන නිවහන වූ “ලිවඩියා” මාළිගාව තුළ දී සමුළුව ආරම්භ විය. දින අටක් තිස්සේ මිත්‍ර පාක්ෂික නායකයින් සහ ඔවුන්ගේ ඉහළ හමුදා හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යය මණ්ඩලය “කේවියර්”, “වොඩ්කා” සහ වෙනත් මත්පැන් පානය කරමින් සුරුට්ටු සහ සිගරට් දුමාරය මධ්‍යයේ සාකච්ඡා කළහ. මාලිගාවෙන් පිට වන තුරු ම ලෝක ධනවතුන්ගේ මුදල් එතරම් වැදගත් වූයේ නැත. මන්දයත් ඔවුනට එහි දී ජීවත් වීමට සිදු වූයේ සාමාන්‍යය පහසුකම් සහිත ව වීම ය. ඔවුන් මැක්කන් අරක් ගත් ගුදිරි මත නිදා ගත්හ. කැසීම ඉවසා ගත නොහැකි ව, ගුදිරිවලට ඩී.ඩී.ටී. ඉසීමට නියම කළහ. මාලිගය පැරැණි වූ හෙයින් හොඳින් ක්‍රියා කරන වැසිකිළි තිබුණේ කිහිපයක් පමණි. බොහෝ පිරිසක් නවාතැන් ගෙන සිටි හෙයින් මෙය බරපතල ගැටලුවක් විය. නානකාමර ද නඩත්තු කොට නොතිබිණි. එහෙයින් නෑමට පමණක් නොව වැසිකිළි යාමට පවා බාල්දි රැගෙන දිගු පෝළිම්වල තැපීමට සිදු විය. මෙම තත්ත්වයට මුහුණ දුන්නේ නිළධාරීන් පමණක් නොවේ. ලෝක බලවතුන් ද බොහෝ දුක් අනුභව කළ බව පෙනිණි. එක්සත් ජනපදයේ ජෙනරාල් ලෝරන්ස් කූටර් පැවසුවේ යුද්ධය හැරුණු විට යෝල්ටා සමුළුවේ දී වැඩිපුර ම සාකච්ඡාවට බඳුන් වූ මාතෘකාව ‘වැසිකිළිය’ වූ බව යි.
සමුළුව අවසන් වන විට, තිදෙනා ජර්මනිය කොන්දේසි විරහිත ව යටත් කර ගැනීමටත් රට බෙදීමට හා බර්ලිනයේ අගනුවර ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ සෝවියට් හමුදා විසින් පාලනය කෙරෙන කලාප හතරකට බෙදීමටත් තීරණය කර තිබිණි. ඒ සඳහා ඔවුහු එක් ව ගිවිසුමකට අත්සන් තැබූහ. ජර්මානුවන්ගෙන් බලාපොරොත්තු විය යුතු වන්දි ගෙවීම් හැකි තාක් දුරට මුදලින් ලබා ගැනීමට ද එකඟ වූහ. ජපානය ආක්‍රමණය කිරීමෙන් ඇමරිකානු ජීවිත මිලියනයක් පමණ අහිමි විය හැකි බවත්, තවමත් පරමාණු බෝම්බය අත්හදා බලා නොමැති බවත් උපදේශකයින් අනතුරු ඇඟවූ හෙයින් ජර්මනිය යටත් වීමෙන් මාස තුනක් ඇතුළත ජපානයට පහර දෙන බවට රූස්වෙල්ට් ස්ටාර්ලින්ගෙන් රහසිගත පොරොන්දුවක් ලබා ගත්තේය. 1905 “රුසෝ-ජපන්” යුද්ධයෙන් අහිමි වූ භූමි ප්‍රතිසංස්කරණය කිරීමටත් ආරක්ෂක මණ්ඩලයේ සෝවියට් සංගමයට නිෂේධ බලය ලැබෙන්නේ නම්, ඉන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට සහාය දීමටත් ස්ටාර්ලින් එකඟ විය.
විවාදය
යෝල්ටාවේ විශාලතම විවාදය ඇති වූයේ නැගෙනහිර යුරෝපයේ ඉරණම පිළිබඳ ය. සෝවියට්වරුන් විසින් ස්ථාපනය කරන ලද තාවකාලික කොමියුනිස්ට් ආධිපත්‍යය යටතේ පැවති රජයට, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානුවන්ගේ පිටුබලය ඇතිව පෝලන්ත රජයෙන් පිටුවහල් කරන ලද ප්රජාතන්ත්රවාදී නායකයින් ඇතුළත් කර ගැනීම සඳහා ලිහිල් කරන ලද නීති කිහිපයක් ද ගිවිසුමේ අඩංගු විය. නැගෙනහිර යුරෝපයේ සෝවියට් හමුදාව වාඩි ලා ගෙන සිටින රටවල් තුළ නිදහස් ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම සඳහා ද ගිවිසුමෙන් ඉල්ලා සිටිනු ලැබිණි.
මේ සියලු කාරණා පිළිබඳ කතා කළ ද, එහි දී සාකච්ඡාවට බඳුන් නොවූ එක ම කාරණය වූයේ රූස්වෙල්ට්ගේ සෞඛ්‍ය තත්ත්වය යි. ඔහුගේ දෑස් කෙතරම් ඇතුළට ගිලී තිබුණේ ද යන්න කියතොත් ඔහු සොම්බි අවතාරයක් සිහි ගැන්වූ බව වින්සන් චර්ච්ල්ගේ වෛද්‍යවරයා පැවසී ය. කෙසේ වුවත් මෙයින් මාස දෙකකට පසු රූස්වෙල්ට් මිය ගිය අතර “හැරී ටෲමන්” ඔහුගේ තැන ගත්තේ ය.
කෙසේ වුවත් ගිවිසුමේ සඳහන් ඇතැම් කරුණු එලෙසින් ම ඉටු නො වන බව පෙනිණි. ප්‍රථම වරට අප්‍රේල් 25 වන දා සැන් ෆ්රැන්සිස්කෝහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ සම්මේලනය රැස්වන විට, එය නියෝජනය කළ රටවල් දුසිම් ගණනක් අතරේ මෙම මහා සංග්‍රාමයට මුල් වූ පෝලන්තය සිටියේ නැත. එනම්, ගිවිසුමෙහි වූ පරිදි ස්ටාර්ලින් පෝලන්තය සමඟ සමාදාන වී තිබුණේ නැත. සම්මේලනයේ මැදිහත් වීමෙන් අප්‍රේල් අග දී ඉතාලියත් මැයි මස දී ජර්මනියත් මිත්‍ර හමුදාවට යටත් වූහ. පෝලන්තයට අදාළ පොරොන්දුව ඉටු නොකළ ද එක්සත් ජනපදය විසින් අගෝස්තු 06 වන දින හිරෝෂිමාවටත් අගෝස්තු 09 වන දින නාගසාකියටත් පරමාණු බෝම්බ හෙළීමෙන් දින දෙකකට පසුව එකඟ වූ පරිදි සෝවියට් සංගමය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඉන් සතියකට පසු එනම්, 1945 අගොස්තු 15 වන දින මෙතුවක් පැවැති දෙ වන ලෝක සංග්‍රාමය නිමා කරමින් ජපානය ද මිත්‍ර හමුදාවට යටත් විය. පෙර දී මුහුද හත් ගව්වක් තියා අමුඩ ගැසීමක් මෙන් පෙනුණ ද, පශ්චාත් යුධ සමයේ ගැටලුවකින් තොර ව ප්‍රශ්න විසඳා ගැනීමට “යෝල්ටා” සමුළුව අතිශයින් වැදගත් හේතුවක් වී තිබිණි.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්